මාතෘ භූමියට එරෙහි අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා

Mar 07, 2017 09.31am
feature-top
රජය පිළිබඳ දේශපාලන ප්‍රතිවාදීන් ඇතැම් වෙබ් අඩවි සහ මාධ්‍ය ඔස්සේ ලෝකය පුරා විවිධ වැරදි ප්‍රචාරයන් ගෙන යන අතර එම අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස තමා සියලු විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. ඉන්දුනීසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපතිවරයා ඊයේ (6) පස්වරුවේ ඉන්දුනීසියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ සුහද හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.

 මාතෘ භූමියේ නිදහසත්, ස්වාධීනත්වයත් රැකගනිමින් සංවර්ධිත රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනඟන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා රටේ ස්ථිර සාර සාමයක් ස්ථාපිත කරමින් නැවත යුද්ධයක් ඇති නොවන ලෙස සියලු ජනතාව අතර සහෝදරත්වය සහ සහජීවනය ගොඩනැඟීම වත්මන් රජයේ වැඩපිළිවෙළ බව ද කියා සිටියේය.

අද ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙළ මුළු ලෝකයේම පිළිගැනීමට ලක්ව ඇති අතර ඒ සියලුදෙනාගේ සහයෝගයෙන් රටේ සංවර්ධන වැඩපිළිවෙළ කඩිනම් කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලාංකීය රාජ්‍ය නායකයකුට ඉන්දුනීසියාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා ලැබුණේ වසර 40කට පසුව බව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා වසර 44කට පසුව රුසියානු රජයෙන් ලැබුණු නිල ආරාධනයක් පරිදි තමා තවත් සති දෙකකින් රුසියාවේ නිල සංචාරයක නිරත වන බව සඳහන් කළේය.

ඉන්දුනීසියානු රජය ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය අගය කළ ජනාධිපතිවරයා නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙට්‍රික් ටොන් 5000ක් පරිත්‍යාග කරමින් දැක්වූ ස‍හයෝගය ද කෘතවේදීව සිහිපත් කළේය.

ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී මෙම හමුව සිදුවූ අතර ජනාධිපතිවරයාගේ පැමිණීම සංකේතවත් කරමින් තානාපති කාර්යාල පරිශ්‍රයේ නා පැළයක් ද රෝපණය කෙරිණි.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »