සංහිඳියාව වෙනුවෙන් රජයේ කැපවීම ඉමහත්

Mar 06, 2017 10.17am
feature-top
ජගත් මානව හිමිකම් කවුන්සලයේ දී කුමන වාර්තා ඉදිරිපත් කළ ද යුක්තිය සහ සංහිඳියාව වෙනුවෙන් ශ්‍රී ලංකා රජය මහත් කැපකිරීම් සිදු කරමින් සිටින බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ශෙයිද් රාද් අල් හුසේන් කුමරු විසින් නිකුත් කර තිබෙන නවතම වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා ඒ බව සඳහන් කළේය.

වගවීම ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් මූලෝපායක් නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය, සංහිඳියාව සහ ස්ථාවරභාවය උදාකිරීම සඳහා තිබූ මහඟු අවස්ථාව අහිමිවීමේ අවදානමක් ඇති බවත් සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය සහ සංහිඳියාව හා ජාතික සමඟිය පිළිබඳ කාර්යාලය වැනි ආයතනය රජය ආරම්භ කර ඇතත් ඒවා ප්‍රයෝජනවත් නොවන බවත් එම වාර්තාවේ අන්තර්ගත කර තිබේ. කෙසේ වුවද නොයෙකුත් ගැටලු මධ්‍යයේ මෙරට තුළ සංහිඳියාව ඇතිකිරීම සඳහා වත්මන් රජය දැවැන්ත ප්‍රයත්නයක නිරත වෙමින් සිටින බව පෙන්වාදුන් විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා ඊට විරුද්ධව අන්තවාදී පිරිස් කටයුතු කරමින් සිටින බවද ඔවුන් සමඟ සටන් කරමින් මේ ගමන ඉදිරියට යමින් සිටින බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ යුක්තිය සහ සංහිඳියාව පිළිබඳ ප්‍රගතිය ගැන සෑහීමකට පත්විය නොහැකි බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ කාර්යාලය ප්‍රකාශ කර තිබෙන අතර අතීතයේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කිරීම සඳහා විදේශීය විනිසුරුවරුන්ගෙන් සමන්විත හයිබ්‍රිඩ් අධිකරණයක් ස්ථාපිත කළ යුතු බවද ඒ සඳහා පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමේ අවශ්‍යතාව ද පෙන්වා දී තිබේ.

ඊට අමතරව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ මහ කොමසාරිස්වරයා සිය යෝජනා මඟින් අනුමත කරන ලද නිර්දේශ ක්‍රියාවට නැංවීම සඳහා උපදෙස් ලබා දීමටත්, අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීම සඳහාත්, මානව හිමිකම් තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහාත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයක් මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා ආරාධනා කරන ලෙස ද නිර්දේශ මඟින් ඉදිරිපත්කර ඇත.


දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »