මිනීමැරුම් නඩු තුනක විත්තිකරුවෝ 3ක් එල්ලුම් ගස්

Feb 17, 2017 09.19am
feature-top
විත්තිකරුවන් නොමැතිව අධිකරණයේ දිගහැරෙමින් තිබූ මිනීමැරුම් දෙකක් ඊයේ (16) විභාගයට ගත් කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය චුදිතයින් දෙදෙනාටම මරණීය දඬුවම නියම කරමින් විවෘත වරෙන්තු නිකුත් කරන ලදී.

මෙසේ මරණීය දඬුවම් නියම කළේ වර්ෂ 2005 මාර්තු මස 05 වෙනි දින බණ්ඩාර කොස්වත්තේ පදිංචිව සිටි සුබසිංහ මුදියන්සේලාගේ ජයන්ත ප්‍රේමසිරි නමැත්තාට කැත්තකින් කොටා ඝාතනය කළා යැයි ඔහුගේ බිරිය සිරිවැඩි නයිදෙලාගේ ලීලාවතී සහ 1997 මාර්තු මස 12 වෙනි දින කුරුණෑගල පොලිස් වසමේ පදිංචිව සිටි මහින්ද පරාක්‍රම ජයරත්න ඝාතනය කිරීම සම්බන්ධයෙන් සරන්ඩුහේවගේ ජයන්ත රත්නපාල යන විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩු දෙකම මහාධිකරණයට යොමුකොට තිබුණි.

මෙහිදී පැමිණිල්ල ඉදිරිපත් කළ රජයේ නීතිඥ ළහිරු ජයමාන්න මහතා අධිකරණය හමුවේ කියා සිටියේ විත්තිකරුවන් දැනට ජීවතුන් අතර නැති බවට පොලිස් වාර්තාවලින් හෙළිදරව් වී තිබෙන බැව් කියා සිටියේය. මේ අනුව විත්තිකරුවන් නොමැතිව නඩුව විමසා තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබීය. විත්තිකරුවන් වෙනුවෙන් කිසිදු නීතිඥ මහතෙක් පෙනී නොසිටියේය.

කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය මහව නාගොල්ලාගම මිනීමැරුම් නඩුවේ චූදිත සමරසිංහ බ්‍රාහ්මනලාගේ කුමාරදාස (52) නැමති අයට ද මරණීය දණ්ඩනය පෙරේදා (15) නියම කරනු ලැබුවාය.

2008 මැයි මස 04 වැනි දින හෝ ඊට ආසන්න දිනයක දී මහව නාගොල්ලාගම ලිපිනයේ පදිංචි සමරසිංහ බ්‍රාහ්මනරාලලාගේ වසන්ත කුමාර රත්නායක (48) නැමැත්තාට උදැල්ලකින් පහරදී මරා දැමී යැයි එම ලිපිනයේම පදිංචි බ්‍රාහ්මනරාලලාගේ කුමාරදාස නැමති අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව කුරුණෑගල මහාධිකරණයට යොමු කොට තිබුණි.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »