සැප රියකින් ගංජා ප්‍රවාහනය කළැයි තිදෙනෙක් මුන්දලමේදී දැලේ

Feb 14, 2017 09.31am
feature-top
කොළඹ මට්ටක්කුලියේ සිට මුන්දලමට නොදුරු උඩප්පුවට විකිණීමට කේරළ ගංජා තොගයක් ගෙන ආ තුන්දෙනෙක් එම කේරළ ගංජා තොගයක්, ඒවා ප්‍රවාහනය කළ සුඛෝපබෝගී වාහනයක් සහ ජංගම දුරකථන හයකුත් සමග අත්අඩංගුවට ගැනිමට මුන්දලම පොලිසියේ නිලධාරි කණ්ඩායමක් සමත්වි ඇත.

උඩප්පුව ආසන්නයේ පිහිටි පිංකට්ටියේදී මෙම කේරළ ගංජා තොගයත් සමග අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් යාපනයේ පලාලි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, අවුරුදු 24,37 සහ 48 වයස්වල පසුවෙන ඔවුන් කොළඹ මට්ටක්කුලියේ රහසිගත ස්ථානයක් කේන්ද්‍රකරගෙන කේරළ ගංජා තොග පිට ප්‍රදේශවල සිල්ලරට ගංජා විකුණන ස්ථානවලට බෙදාහරින අයව බවත් පොලිස් පරීක්ෂණවලදි හෙළිවී තිබේ.

උඩප්පුව ප්‍රදේශයේ එසේ සිල්ලරට ගංජා විකුණන තිප්පොළකට ගංජා සපයන මෙම සැකකරුවෙක් පිළිබඳ තොරතුරක් හෙළිකරගත් මුන්දලම පොලිසියේ නිලධාරීන් පිංකට්ටියේ ගංජා සිල්ලරට විකුණන්නෙක් ලෙස ජංගම දුරකථනයෙන් කතාකර හාද වී ගංජා කිලෝ 2ක් ඇනවුම්කර පිංකට්ටියට ගෙන්වාගෙන එහිදි මෙසේ පොලිස් අත්අඩංගුවට ගැනුණි.

මෙම ගංජා ප්‍රවාහනය කළ සුඛෝපබෝගි වාහනය දෛනික කුලී පදනම යටතේ එවැනි වාහන කුලියට දෙන ස්ථානයකින් ලබාගෙන ඇති වාහනයක් බවත්, එම පොලිස් පරීක්ෂණවලදි වැඩිදුරටත් හෙළිවී ඇත. මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ තුනක් වශයෙන් සැකකරුවන් තක්සේරුකර තිබේ.

පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.ඒ.චන්ද්‍රසේන, සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහත්වරුන්ගේ උපදෙස් පරිදි මුන්දලම පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක සමන් ඒකනායක මහතා ප්‍රමුඛ උ.පො.ප. මෙන්දිස්, පො.සැ. අමිත්, පො.කො. සැම්සන්, පො.කො. ඉර්ෂාඩ්, පො.කො. ජයවර්ධන, පො.කො. ප්‍රේමරත්න, පො.කො. කුමාර, පො.කො.රි. රත්නායක, පො.කො.රි. ප්‍රියදර්ශන නිලධාරීහු වැටලීමසිදු කළහ.

දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »