නිදහස් අධ්‍යාපනය මෙන්ම අධ්‍යාපනයේ නිදහසත් ඕනෑ

Feb 14, 2017 08.58am
feature-top
“මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට අරලියහග මැදුරට එන්න කිව්වා. මම එහෙ යනකොට මහාචාර්ය කාලෝ ෆොන්සේකාත් අරලියගහ මැදුරට ඇවිල්ලා හිටියා. සයිටම් එකේ ශිෂ්‍යයන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන්න කියලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලෝට කිව්වේ මං ඉස්සරහා පිට. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලෝ ෆොන්සේකාව වෛද්‍ය සභාවේ සභාපති කළේ සයිටම් එකේ සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීමේ පොරොන්දුව මත බව මම එදා දැනගත්තා”

ඉහත සඳහන් වන්නේ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් පසුගිය දිනක මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවක සයිටම් ආයතනය සම්බන්ධව ඇති වූ අහඹු කතාවක කොටසකි.

සිසුන් 10දෙනෙකුට ශිෂ්‍යත්ව ලබාදෙන ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස එම සිසුන් 10දෙනාට අරලියගහ මැදුරට ගෙන්වා ශිෂ්‍යත්ව 10 ලබාදුන් බව සයිටම් ආයතනයේ අධ්‍යක්ෂවරියක් පසුගියදා මාධ්‍යයට හෙළිදරව් කළේ අර කියන ලද කතාවෙන් දින කිහිපයකට පසුව ය.

ඒ අතරතුර සයිටම් ආයතනයට විශාල බැංකු ණය මුදලක් ලබා දී ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කළේ ය. ආයෝජන මණ්ඩලයේ ලියාපදංචි කරන ලද සයිටම් ආයතනය හෙවත් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආශීර්වාදය යටතේ පිහිටුවන ලද ආයතනයක් බව කවුරුත් දනිති.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීම පිළිබඳව වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය කාලෝ ෆොන්සේකාට ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් නොමැති බව සෞඛ්‍ය ඇමතිවරයාව සිටිය දී අරලිය මැදුරේ ඇති වූ අර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා කියන කතාවෙන් පැහැදිලි ය. කාලෝට පමණක් නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ද මේ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම පිළිබඳ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් තිබෙන්නට පුළුවන්කමක් නැත.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහයෝගයෙන් කටයුතු කළා පමණක් නොව ඔහුව නැවත බලයේ පිහිටුවීම සඳහා ක්‍රියා කළ ආයතනයක් බව කවුරුත් දනිති. එහෙයින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රශ්නයක් තිබුණේ නම් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීමට ඉඩලබාදුන් රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එසේ කටයුතු කරන්නේ නැත.

කොතලාවල ආරක්ෂක විද්‍යාලය වෛද්‍ය උපාධි පිරිනමන ආයතනයක් වන අතර නියමිත සුදුසුකම් ඇත්නම් මුදල් ගෙවා එහි වෛද්‍ය විද්‍යාව හැදෑරීමට අද කිසිදු බාධාවක් නැති බව කවුරුත් දනිති. ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ආශීර්වාදය ඇතිව ආරම්භ වූ එම පාඨමාලාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එදා විරුද්ධ වූයේ නැත. සායනික පුහුණුව සඳහා රෝහලක් ද නොමැති එම ආයතනයට රජයේ වෛද්‍ය නිලධාරි සංගමය විරුද්ධ නොවූයේ ප්‍රතිපත්තියක් ලෙස එවැනි වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරිමට තමන් එකඟ නිසා ය. එසේ නොවේනම් වෛද්‍ය නිලධාරි සංගමයට මෙන්ම උසාවි නියෝගය ක්‍රියාත්මක නොකරන බව අද කියන මහාචාර්ය කාලෝ ෆොන්සේකාට එයට එදා විරුද්ධ වන්නට තිබුණි.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පෙනි සිටින බව කියන මහින්ද රාජපක්ෂට තමාගේ ආශිර්වාදය යටතේ එම වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළ බව අද අමතක වී තිබේ.රාජපක්ෂගේ ආණ්ඩුවේ හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරයා වූ එස්. බී. දිසානායක මාධ්‍යයට පැවසූ පරිදි මේ තරම්ම මතකය පිළිබඳූ ප්‍රශ්නයක් රාජපක්ෂ මහතාට ඇත්නම් ස්නායු පිළිබඳ වෛද්‍යවරයෙක් හමුවිම සුදුසු ය.

සයිටම් ආයතනයෙන් උපාධිය ලැබූ අයවලූන් වෛද්‍ය සභාවේ ලියා පදිංචිකරන ලෙස දුන් අධිකරණ නියෝගය නොසලකන බව කාලෝ ෆොන්සේකා මහාචාර්යවරයා දැන් ද කියයි. වෙනත් කරුණක් සම්බන්ධයෙන් රූපවාහිනි මාධ්‍ය සාකච්ඡාවක දී තමාව පොමනේරියෙන් බල්ලෙකු ලෙස හඳුන්වාගත් මහාචාර්ය ෆොන්සේකා සුදුසු වෛද්‍යවරයෙක් හමුවී තමන්ට වැළඳි ඇති රෝගය හඳුනාගැනීම අධිකරණයේ පමණක් නොව වෛද්‍ය වෘත්තියේ ද ගෞරවය ආරක්ෂා වීමට හේතුවනු ඇත.

ප්‍රතිපත්තියක් මත නොව මහින්ද රාජපක්ෂගේ සයිටම් විරෝධය මගින් ඔහුගේ දේශපාලන අවස්ථාවාදයේ නිරුවත වසාගන්නට නොහැකි තරමට ප්‍රදර්ශනය කෙරී ඇත. කාලෝ ෆොන්සේකා හා රාජපක්ෂගේ මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ප්‍රතිපත්තියක් මත නොව සයිටම් එකට විරුද්ධ වන්නේ තම සේවාවට ඇති වෙ‍ළෙඳපොළ ඒකාධිකාරිය පවත්වාගැනීමට බව ඉතා පැහැදිලි ය. ඉන්දු ලංකා නිදහස් වෙ‍ළඳ හා සේවා ගිවිසුමට ද රජයේ වෛද්‍ය නිලධාරි සංගමය විරුද්ධ වන්නේ අර කියන ලද ගිවිසුමට අනුව ඉන්දියානු වෛද්‍යවරු සේවා වෙළඳ පොළට ඇතුළු වුවහොත් රෝගින්ව සූරාකෑමට ඉඩ ලැබී ඇති තම වෘත්තීය ඒකාධිකාරය තර්ජනයට ලක්වන බැවිනි. සේවා වෙළඳපොළට වැඩි වැඩියෙන් වෛද්‍යවරුන්ට පිවිසීමට ඉඩ ලැබෙන්නේ නම් රෝගින් ප්‍රාණ ඇපයට තබා පටු වුවමනාවන් ඉටුකරගැනීමට වෛද්‍ය නිලධාරි සංගමයට ඉඩ ලැබෙන්නේ නැත. එහෙයින් වෛද්‍ය වෘත්තියේ ප්‍රමිතියවත් රෝගීන්ට ඇති ආදරය නිසාවත් නොව මොවුන් විරුද්ධ වන්නේ වැඩි වැඩියෙන් වෛද්‍යවරු වෙළඳ පොළට ඇතුළු වීම තම වෘත්තිය ඒකාධිකාරියට තර්ජනයක් වන නිසා ය..

රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සමඟ එක් වී සයිටම් විරෝධි සටන ඉදිරියට ගෙන යන බවට පෙරටුගාමි සමාජවාදි පක්ෂය පසුගිය දා ප්‍රතිඥා දුන්නේ ය. ඒ අනුව සයිටම් විරෝධයට දේශපාලන නායකත්වයක් සැපයිමට පෙරටුගාමි සමාජවාදි පක්ෂය දැන් ඉදිරියට පැමිණ ඇති බව පෙනේ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් නිරන්තරයෙන් පාරට දක්කමින් තම දේශපාලනය නඩත්තු කරගන්නා සුළු ධනේශ්වර දේශපාලන සංවිධානයක් වන පෙරටුගාමි සමාජවාදි පක්ෂය අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත්කරන බවට චෝදනා කරයි. යමක් වෙළඳ භාණ්ඩයක් බවට පත් වන්නේ ප්‍රාග් ධනයේ තර්කනයට අනුව ය.

ප්‍රාග් ධනයේ තර්කන නියාමය බලරහිත කිරීමේ සූත්‍රයක් නැති බව මාක්ස් වරෙක පැවසී ය. ඔහු පෙන්වා දෙන ආකාරයට ප්‍රාග්ධනය ගමන් කරන න්‍යාමයන් දෙකක් ඇත. ප්‍රාග්ධනය ගැඹුරට කා වැදීම එයින් එක් න්‍යාමයකි. අනික් න්‍යාමය වන්නේ ප්‍රාග්ධනය පළලට පැතිරීම ය. ප්‍රාග්ධනය ගැඹුරට කා වදිනවා යනුවෙන් අදහස් වන්නේ මෙතෙක් ප්‍රාග්ධනයට හසු වූ භාණ්ඩ ප්‍රාග්ධනයේ ග්‍රහනයට දැඩි ලෙස හසුවිම ය. මෙතෙක් ප්‍රාග්ධනයට හසු නොවූ භාණ්ඩ ප්‍රාග්ධනයට හසුවීම ප්‍රාග්ධනය පළලට පැතිරෙනවා යනුවෙන් අදහස් වේ. එය හසු වන්නේ ගංවතුරට මෙතෙක් හසු නොවූ ප්‍රදේශ යටවෙන ආකාරයට ය.

අප කුඩා කාලයේ මුදල් අයකර උගන්වන ටියුෂන් පංති තිබුණේ නැති බව අපේ පරම්පරාවේ අය දනිති. එහෙත් පසු කාලීන්ව එය ප්‍රාග්ධනයට යට වී වෙළඳ භාණ්ඩයක් බවට පත් වූ බව අපි දනිමු. අනිකූත් විෂයයන්ට අදාළව අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් ව තිබෙන අතර වෛද්‍ය විද්‍යා විෂය පමණක් වෙළෙඳ භාණ්ඩයක් විමෙන් ගැලවෙන්නේ නැත. ඔවුන් කියන ආකාරයට වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් වීම ආචාර ධාර්මික ප්‍රශ්නයක් නම් වෛද්‍ය සේවාවන් මුදලට සැපයීම සම්බන්ධයෙන් ආචාර ධාර්මික ප්‍රශ්නයක් මතු නොවන්නේ ද?

අපේ කැමැත්ත අකැමැත්ත කෙසේ වෙතත් මේ වන විට මේ රටේ අධ්‍යාපනය පමණක් නොව සෞඛ්‍ය සේවාවද වෙළඳ භාණ්ඩයක් වි හමාර ය. ධනවාදි ලෝකයේ එය ලෝක පරිමාණවම ප්‍රාග්ධනයේ තර්කණයට හසු වී ඇති බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. ලංකාවේ ද මුදල් ගෙවා ටියුෂන් හරහා ළමයින් වැඩි වැඩියෙන් සමත් වී වෛද්‍ය උපාධිය ලබාගැනිමට යොමු වන්නේ නම් ටියුෂන් ගිය ආකාරයටම මුදල් ගෙවා හෝ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගැනීමට ඉඩකඩ තිබිය යුතු ය. ඒ අනුව නිදහස් අධ්‍යාපනය පමණක් නොව අධ්‍යාපනයේ නිදහස ද ශිෂ්‍යයන්ට අහිමි කිරිමට කිසිවෙකුට අයිතියක් නැත. ඒ අනුව නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් තවත් කොටසකගේ අධ්‍යාපනයේ නිදහස නැතිවිමට ඉඩ නොතැබිය යුතු ය.

ධනවාදය මෝරා නොගිය සමාජයක, සමාජවාදය යනු සුළු ධනේෂ්වර මනෝවිකාරයක් වන අතර නිදහස අහෝසි කළ සමාජයකින් එය කෙළවරවන බව අපගේ අත්දැකීම ය. එහෙයන් අධ්‍යාපනයේ හා සෞඛ්‍ය සේවාවේ නිදහස ආරක්ෂා කරණ අතරම සමාජ සාධාරණත්වය සඳහා නිදහස් අධ්‍යාපනය මෙන්ම සෞඛ්‍ය ද පවත්වාගෙන යෑම ද රජයේ වගකීමක් වියයුතුව ඇත.

දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »