පැරට් ෆිෂ් මත්ස්‍යයින් ඇල්ලීමට තහනමක්

Jan 26, 2017 10.46am
feature-top
පැරට් ෆිෂ් හෙවත් ගිරව් යනුවෙන් හදුන්වන මත්ස්‍ය විශේෂය ඇල්ලීම තහනම් කිරීම පිළිබඳ ධීවර අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ.
 
ධීවර ප්‍රජාව, පරිසර සංවිධාන සහ සංචාරක කර්මාන්තය ආශ්‍රිතව කටයුතු කරන පිරිස් විසින් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් සිදුකරන ලද ඉල්ලීම් හේතුවෙන් ඒ පිළිබඳ අවධානය යොමුව ඇති බව ධීවර අමාත්‍යංශය පවසයි.
 
ශ්‍රී ලංකාව වැනි ඝර්මකලාපීය රටවල නොගැඹුරු මුහුද ආශ්‍රිතව සිටින මෙම අලංකාර මත්ස්‍ය විශේෂය සාමාන්‍යයෙන් අඩි තුනේ සිට අඩි හතරහමාරක් දක්වා වැඩෙන අතර ඇතැම් විට මිනිසෙකුගේ උසට වඩා වැඩුණු අවස්ථාද දක්නට ලැබෙන බව සඳහන් වේ.
 
කොරල් පර ආශ්‍රිතව බහුලව වෙසෙන ගිරව් මසුන් නැරඹීම සඳහා සංචාරකයින් විශාල වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණීම හේතුවෙන් සංචාරක කර්මාන්තයටද මෙම මසුන්ගෙන් විශාල ආකර්ශනයක් ලැබෙන බව ධීවර අමාත්‍යංශය ප‍්‍රකාශ කරයි.
පරිසර හිතකාමී මත්ස්‍යයෙකු ලෙස ද සැලකෙන පැරට් ෆිෂ් හෙවත් ගිරව් මසුන් ඇතැම් ධීවරයින් විසින් ඇල්ලීම හේතුවෙන් මේ වන විට වද වී යාමේ තර්ජනයකට මුහුණ පා ඇති බව ද වාර්තා වෙයි.
 
කෙසේ වෙතත් ඒ අනුව මෙම මසුන් ඇල්ලීම තහනම් කිරීම පිළිබඳ අමාත්‍යංශයේ අවධානය යොමුව ඇති අතර ඒ පිලිබඳව ධීවර ප්‍රජාව සමඟ සාකච්ඡාවක් අද (26) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව ධීවර අමාත්‍යංශය සඳහන් කළේය. 


අද දෙරණ ඇසුරෙනි

More News »