ජනාධිපති කොමිසමක් පත්කර විනිවිදභාවයෙන් කටයුතු කරනවා

Jan 26, 2017 10.45am
feature-top
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කළේ විනිවිද භාවයෙන් සහ කඩිනමින් වැරදිකරුවන් නීතිය ඉදිරියට පැමිණවීමට විනා සොරුන් රැකීමට නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

බැඳුම්කර සිද්ධියේ සියලු විමර්ශන කටයුතු මේ කොමිසමෙන් සිදු කළ හැකි බවත් එමඟින් ජනතාවගේ සිත්වල ඇතිවී තිබෙන කුකුස ඉවත් කිරීමට හැකිවනු ඇති බවත් ජනාධිපතිවරයා පැවැසීය.

ජනාධිපතිවරයා එසේ සඳහන් ක‍ළේ නාරාහේන්පිට අභයාරාමයේ දී ඊයේ(25)දා පැවැති අවුකන ප්‍රතිමා අනුරුව විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.

බෙල්ලන්විල රජමහා විහාරාධිපති මහාචාර්ය බෙල්ලන්විල විමරතන නායක හිමියන්ගේ අනුශාසනාවේ ඇතුළත්වූ බැඳුම්කර සිද්ධියට සම්බන්ධ කරුණක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙම අදහස් දැක්වීම සිදු කළේය.

ගෙවීගිය දෙවසරක කාලයක් තුළ ඇතිවූ සිදුවීම්වලට පිළිතුරු සෙවීමෙන් පසු ඊට පෙර වසර හත අටක සිදුවූ වංචා, දූෂණ, අක්‍රමිකතා සම්බන්ධයෙන් ද සොයා බැලීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ද ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට තවත් ජනාධිපති කොමිසමක් පත් කරන බව ද ජනාධිපතිවරයා පැවැසීය.

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ධූරයෙන් ඉවත් කළේ තමා බවත් එසේම ලෝකය පිළිගන්නා ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා එම තනතුරට පත් කර ගත්තේද, නියමිත ලෙස කටයුතු කරන විගණකාධිපතිවරයා පත් කර ගත්තේද තමා බව අනාවරණය කළේය.

ලෝක ධර්මතාවට විරුද්ධ කිසිවකුටත් තමා හිස නොනමන බව ද තමා හිස නමන්නේ ජනතාවට පමණක් බව ද කී ජනාධිපතිවරයා වැරදිකරුවන්ට නීතිය හමුවට පැමිණවීමේ දී ආණ්ඩු පක්ෂයේ ද විරුද්ධ පක්ෂයේ ද කියා භේදයක් නොවන බව පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 'ඉහළම නීති විශාරදයන්ගේ උපදෙස් මත මා මේ ජනාධිපති කොමිසම පත් කළා. ඉන් බාහිරව පරික්ෂණයක් සිදු කළේ නම් වසර දෙක තුනක් ගත විය හැකියි. කෝප් කමිටු වර්තාව නීතිපතිවරයා වෙත ලැබීමෙන් පසු පොලිස්පතිවරයා මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තා ලබා ගනිමින් ඒ සඳහා වගඋත්තරකරුවන්ට නඩු පැවරීමට වසර දෙක තුනක් ගත විය හැකියි. මීට පෙර අග්‍රාමාත්‍ය කාර්යාලය කළ පරීක්ෂණයෙන් සිවිල් පරික්ෂණයක් ලෙස සිදු වෙනවා. මේ පරික්ෂණ දෙක සඳහාම වසර ගණනක් ගත වෙනවා. ගැසට් නිවේදනයක් නිකුත් කර විනිශ්චකාරවරුන් මඟින් තෙමසක් තුළ ජනාධිපති කොමිසම හරහා මේ සඳහා විසඳුමක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මෙය යට ගැසීමට අවශ්‍ය නැහැ. මම පැවැති ආණ්ඩුවෙන් එළියට පැමිණියේ දූෂණ වංචා වැරදි පාලනය නිසයි. ඒ පාලනයෙන් එළියට පැමිණ තවත් එවැනි ආණ්ඩුවක් හදන්න මට අවශ්‍ය නැහැ. හොරකම් කවුරුත් කළත් හොරකමමයි. හොරු රකින්න අවශ්‍ය නැහැ. මම මේ රටේ ජනතාව කෙරේ විශ්වාසය තබනවා. එසේම පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 225 දෙනා අතරින් වැරදිකරුවන්ට දඬුවම් දීමට සත්‍ය ලෙස අවශ්‍යතාව ඇති සියලු දෙනාට එක්වන ලෙස මා ඉල්ලා සිටිනවා' යැයිද අවධාරණය කළේය.

දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »