පුරාවිද්‍යා පුරප්පාඩු පුරවන්න ජනපති උපදෙස්

Jan 25, 2017 09.21am
feature-top
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දෙයි. පුරාවිද්‍යාත්මක ස්ථානවල ආරක්ෂාව සහ පුරාවිද්‍යා ‍කටයුතු පිළිබඳ පවතින බාධාවන් ඉවත් කර ඒවා විධිමත් කර ගැනීම සඳහා මෙම කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

පුරාවිද්‍යා ස්ථාන හා පුරාවස්තු ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් තවත් විශේෂ සාකච්ඡාවක් ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එහිදී මෙම උපදෙස් ලබාදෙනු ලැබීය.

පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව සඳහා සිවිල් ආරක්ෂක බළකාය යෙදවීමට ජනාධිපතිවරයා පසුගියදා උපදෙස් දුන් අතර එම කටයුතුවල ප්‍රගතිය ද මෙහිදී විමසා බැලිණි.

හඳුනාගත් පුරාවිද්‍යාත්මක ස්ථානවල ආරක්ෂාව සඳහා මේ වන විටත් සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන් යොමුකර තිබෙන බව සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

ඔවුන්ගේ නේවාසික ගැටලු විසඳීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර එම සාමාජිකයනට පුරාවිද්‍යාව පිළිබඳ දැනුමක් ලබාදීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාව ද යෝජනා කෙරිණි.

උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල පිහිටි පුරාවිද්‍යා ස්ථාන හඳුනාගනිමින් ඒවායේ ආරක්ෂාව සඳහා සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම පිළිබඳ ද සාකච්ඡාවට ලක්විය. රටේ ඓතිහාසික උරුමයන් ආරක්ෂා කර ගනිමින් ඒවා මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී මහා සංඝරත්නයේ ප්‍රශංසාවට ලක්වූහ.

පුරාවිද්‍යා ක්ෂේත්‍රයට අදාළ ගිහි පැවිදි පිරිසක් මේ සාකච්ඡාවට එක්ව සිටියහ.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »