දකුණු අප්‍රිකාවට එරෙහි ඉදිරි තරගවලට මැතිව්ස් නෑ

Jan 24, 2017 09.05am
feature-top
දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි තරගවලට නායක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා නොකරනු ඇත.

දකුණු අප්‍රිකාවට එරෙහිව පෙරේදා පැවැති දෙවැනි ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අත්කර දෙමින් තරගමාලාව සම කිරීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් අවසාන ඕවරයේදී හයේ පහර දෙකක් එල්ල කළේය.

කෙසේ වෙතත් මේ ජයග්‍රහණයෙන් ශ්‍රී ලංකා කඳවුරුට පාඩුවක්ද සිදුවීමේ අවදානම මතුව තිබෙන්නේ මැතිව්ස් ආබාධයකට ලක්වීම හේතුවෙනි. තරගයේ අවසන් ඕවරයට පෙර ‍ඕවරයේදී දුවද්දී දැවී යාමෙන් බේරීමට මැතිව්ස් පිතිකරු සීමාවට පිවිසීමට දැරූ උත්සාහයේදී ඔහුගේ දකුණු වළලුකරයට ආබාධ සිදුව තිබේ.

“ආබාධය දරුණුයි. මා හිතන්නේ සති දෙකකට පමණ මට ක්‍රීඩා කරන්න බැරිවේවි” යනුවෙන් මැතිව්ස් තරගයෙන් පසුව කියා සිටියේය.

ලකුණු 113ක දකුණු අප්‍රිකානු ඉලක්කය පන්දු දෙකක් ඉතිරිව තිබියදී ජය ගැනීමේදී මැතිව්ස් නොදැවී ලකුණු 54ක් රැස් කළේය.

තෙවැනි හා අවසාන විස්සයි20 තරගය හෙට (බදාදා) කේප්ටවුන්හි පැවැත්වීමට නියමිතව ඇති අතර ඉන්පසුව දෙපිල අතර තරග පහකින් සමන්විත ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගමාලාව ආරම්භ වීමට නියමිතය. හෙට තරගයේදී දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇත.

පෙරේදා තරගයේ වමතින් දඟ පන්දු යවන ජොන්-ජොන් ස්මට්ස් එවූ අවසාන ඕවරයේ පළමු පන්දුවට මැතිව්ස් දැවැන්ත පහරක් එල්ල කළ අතර හයිනෝ කුන් එම උඩ පන්දුව රැක ගැනීමට අසමත් විය.

මැතිව්ස් ලකුණක් ලබා ගත්තේ නැත. ඊළඟ පන්දුවට හයේ පහරක් එල්ල කළ මැතිව්ස් ඊට පන්දු දෙකකට පසුව තවත් හයේ පහරක් එල්ල කරමින් තරගය අවසන් කළේය.

“මට දුවන්න බැරි නිසා හයේ පහර එල්ල කරන්න මට සිදුවුණා.” මැතිව්ස් කියා සිටියේය.

කෙසේ වෙතත් සංචාරයට පෙර නායක මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා සිටි පරිදි සිය පෞද්ගලික ‍හේතුවක් මත නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව නිවේදනයක් නිකුත් කරමින් ඊයේ ක්‍රිකට් ආයතන සඳහන් කළේය. ඔහුට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අනුමැතිය ලබාදුන් බවත් එම නිවේදනයේ දැක්වෙයි.

මේ අතර ආබාධවලට ලක්වී සිටින වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ද ඊ‍යේ ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතව තිබිණි.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »