ඩාවෝස් සංචාරය අවසන් අගමැති දිවයිනට

Jan 23, 2017 09.31am
feature-top
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැති ලෝක ආර්ථික සමුළුවට සහභාගි වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ශ්‍රී ලංකාවට ලබා ගත් වාසි රැසක් සමගින් ඊයේ (22)රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

ජී.එස්.පී.ප්ලස් සහනය ශ්‍රී ලංකාවට ලැබීමෙන් පසු ස්විට්සර්ලන්තයට ගිය අගමැති වික්‍රමසිංහ මහතා හමු වූ ලොව ප්‍රකට සමාගම් කිහිපයක්ම ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්ත පළ කළේය.

ලෝක ප්‍රකට නොවාර්ටිස් ඖෂධ සමාගම, මයික්‍රොසොෆ්ට් සමාගම, අලිබාබා සමාගම, හින්දුජා ව්‍යාපාරය, ආර්සලර් මිටාල් සමාගම සහ ජී.ඊ. ප්‍රවාහන සමාගම ඒ අතර වේ.

නෝර්වේ, වියට්නාමය සහ පාකිස්තානය යන රටවල අගමැතිවරුන් සමඟ ඩාවෝස් නුවරදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ජා පැවැත්වූ අතර එම රටවල් සමග ආර්ථික, වෙළෙඳ සහ සමාජයීය ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට එහිදි එකඟතාව පළ විය.

නවසීලන්තයේ වෙළඳ ඇමතිවරයා සහ ඉන්දියාවේ ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ ද අගමැති වික්‍රමසිංහ මහතා මෙහිදි සාකච්ජා පැවැත්විය.

ජපාන සහයෝගිතා බැංකුව ශ්‍රී ලංකාව පිළිබඳ වර්ගීකරණය ඉහළ නැංවීමට ඩවෝස් නුවරදී එකඟතාව පළ කළේය.

ඩවෝස් නුවර දී අගමැති වික්‍රමසිංහ මහතා හමු වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රි ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ඇති වෙමින් පවතින ධනාත්මක ප්‍රගතිය අගය කළේය.

මුදල් අමාත්‍ය රවි කරුණානායක, ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම සහ ඩිජිටල් යටිතල පහසුකම් සහ විදුලි සංදේශ ඇමැති හරීන් ප්‍රනාන්දු මහත්වරුන් ද මේ සංචාරයට එක් වූහ.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »