2019 ලෝක කුසලානයේදීත් නායකයා මැතිව්ස්මයි

Jan 20, 2017 09.02am
feature-top
දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකා පිල ලැබූ ටෙස්ට් තරගමාලා පරාජය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේදී ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා අදහස් පළ කරමින්. ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා ද මෙහි සිටී.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙත් ජොෂ්ඨ ක්‍රීඩකයකු වන ශ්‍රි ලංකා පිලේ නායක ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වය වසර 2019 එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාව නිමාවනතුරු වෙනස් නොවනු ඇතැයි ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා කියයි.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගමාලාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3-0ක දරුණු පරාජයක් ලැබීමෙන් පසුව මැතිව්ස්ගේ නායකත්වය දැඩි ලෙස විවේචනයට ලක්වීමත් සමග ඔහු නායකත්වයෙන් ඉවත් කරනු ඇති බවට පළවූ ඇතැම් මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් තිලංග සුමතිපාල මහතා එසේ කීවේ ඊයේ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ටෙස්ට් පරාජය පිළිබඳ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සහ ජාතික තේරීම් කමිටුවේ අදහස් පළ කිරිමට මේ මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජාතික තේරිම් කමිටුව එක්ව දකුණු අප්‍රිකාවේ සිටින ශ්‍රි ලංකා කණ්ඩායමේ නායක මැතිව්ස්, පුහුණුකරු ග්‍රෙහැම් ෆෝර්ඩ් සහ කළමනාකරු රංජිත් ප්‍රනාන්දු මහත්වරු සමග අන්තර්ජාලය මගින් පසුගියදා මේ පරාජය පිළිබඳ පසු විපරමක් කළ අතර එහි දී එළැඹෙන විස්සයි20 සහ එක්දින තරගමාලාවට ශ්‍රි ලංකා කණ්ඩායම සූදානම් කිරීම සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කොට තිබිණි.

‘එවැනි සාකච්ඡාවක් හැරුණුවිට කණ්ඩායමේ නායකත්වය වෙනස් කිරීමක් පිළිබඳ අප කිසි මොහොතක සාකච්ඡා කළේ නෑ. මැතිව්ස් තමයි 2019 ලෝක කුසලාන තරගාවලියටත් සුදුසුකම නායකයා. නමුත් ඒ බව එයාත් අවබෝධ කරගෙන ඒ අනුව කටයුතු කළ යුතුයි. කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමේ වගකිම තියෙන්නේ මැතිව්ස්ටයි. කොහොමවුණත් ටෙස්ට් තරගමාලාවට වඩා එක්දින හා විස්සයි20 තරගාවලියේදී දකුණු අප්‍රිකාවේ තණතීරු මීට වඩා වෙනස් වේවි. ‘ සුමතිපාල මහතා කීවේය.

ටෙස්ට් තරගමාලාවේදී ශ්‍රී ලංකා පිල අසාර්ථක වූවත් පැයට කිලෝමීටර් 145ක පමණ වේගයකින් පන්දු යැවූ ළහිරු කුමාර ඇතුළු වේගපන්දු බලඈණීය සාර්ථක වීම සතුටුදායක කරුණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා කීවේය.
‘පසුගිය මාස තුනක පමණ කාලයක සිට අපේ ක්‍රීඩකයන්ගේ මානසික පසුබෑම් වගේ දේවල් මේ වනවිට සෑහෙන්න නිරාකරණය වී තිබෙනවා. විශේෂයෙන් කණ්ඩායමේ ඉහළ දස්කම් නැංවීමට බඳවාගත් සයිමන් විලිස් පැමිණීමෙන් පසුව එය බොහෝ දුරට හොඳ අතට හැරිලයි තියෙන්නේ. ඉතින් අපි විශ්වාස කරනවා ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දුර්වලතා මඟ හරවා ගෙන නැවත නිවැරැදි මාර්ගයට පිවිසේවි කියලා.’ ඔහු කීවේය.

‘කොහොමවුණත් අපිට ඉන්න දක්ෂතම ක්‍රීඩකයන් 20ක් අතරින් තමයි හොඳම 11 දෙනා තෝරාගත්තේ. පරාජය වෙන්න බය නම් අපිට ජයග්‍රහණය කරා යන්න අමාරුයි. මේ ටෙස්ට් තරගමාලාවේදී ඉනිම් 3කදීම ලකුණු 150ට වඩා රැස් කිරීමට කණ්ඩායම අසමත්වීම එකඟ වෙන්න බැරි කාරණාවක් තමයි. ඒක තමයි අපිට තියෙන කණගාටුව. අපේ ක්‍රීඩකයන් පිතිහරඹයේදී දුර්වලතා පෙන්නුවා විතරක් නෙවෙයි උඩ පන්දු රැකගෙන දකුණු අප්‍රිකානු පිලට පීඩනයක් දැමිය හැකි අවස්ථාවලුත් අපි අහිමි කරගත්තා. ඇත්ත කතාව නම් දකුණු අප්‍රිකාවේ පන්දුව ඉහළට ඉලිප්පෙන (Bouncy) එකටයි, වේගවත්භාවයටයි (Pacy ) මුහුණ දෙන්න පුළුවන් කණ්ඩායමක් අපිට හිටියේ නැති එකයි. අපි මේක කොහොමහරි හදාගන්න ඕනා. එහෙම නැතිව ඉන්දියාවෙන් ගේන්නද...?’ සුමතිපාල මහතා එසේ විමසා සිටියේය.

‘එක් එක්කෙනාගේ අඩුපාඩු හොය හොයා ඉන්නවාට වඩා ඉදිරියේදී අපේ ක්‍රීඩකයන්ගේ දස්කම් මතු කරගන්නේ කොහොමද කියලයි අපි අවධානය යොමු කරන්න ඕනා. කණ්ඩායමේ පුහුණුකරු විදිහට ග්‍රෙහැම් ෆෝර්ඩ්ගේ භූමිකාව ගැන අපි සෑහීමකට පත්වෙනවා.’ ක්‍රිකට් සභාපතිවරයා එසේ කීවේය.

ටෙස්ට් තරගමාලාවට අපි තේරුවේ හොඳම කණ්ඩායම
- තේරීම් කමිටු ප්‍රධානී සනත් ජයසූරිය

තරුණ ක්‍රීඩකයන් පිරිසක් සමග ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව වැනි වේගවත් තණතීරු සහිත රටවලදී මෙවැනි පරාජයන්ට මුහුණපෑමට සිදුවන බවත්, කණ්ඩායමක් ලෙස දස්කම් අතරට සේන්දු වීමට ඔවුන්ට කාලය අවශ්‍ය බවත් ක්‍රිකට් තේරිම් කමිටු ප්‍රධානී සනත් ජයසූරිය මහතා පවසයි.

දකුණු අප්‍රිකාව හමුවේ තරග 3-0කින් ටෙස්ට් තරගමාලාවට පරාජය වීම පිළිබඳ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට සහ තේරිම් කමිටුවට සිය අදහස් ප්‍රකාශ කිරිමට ඊයේ කැඳවූ මාධ්‍ය හමුවට එක්වෙමින් ජයසූරිය මහතා මේ බව කියා සිටියේය.

‘අපි අනාගතය ගැන හිතලයි තරුණ ක්‍රීඩකයන් පිරිසක් කණ්ඩායමට ඇතුළත් කළේ. නමුත් ඔවුන්ට දස්කම් ඔප් නංවා ගැනීමට කාලය අවශ්‍යයි. ඒ නිසා අපිට මෙවැනි පරාජයන් ඉවසීමෙන් විඳ දරාගත යුතු වෙනවා. අපි පටන් ගත්තා විතරයි. ටෙස්ට් තරගමාලාවට අපි හොඳම කණ්ඩායම ලබා දුන්නා. නමුත් අපි සැලසුම් කළ පරිදි කිසි දෙයක් සිදුවුණේ නෑ. අපි නිතරම කතා කළේ ඉදිරියෙන් සිටින පිතිකරුවන් 4 දෙනාගෙන් කවුරුහරි කෙනෙක් දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කොට ලකුණු 100ක් රැස් කරාවි කියලයි. අපිට හැමෝගෙන්ම ලකුණු බලාපොරොත්තු වෙන්න බැරි බව ඇත්ත. ඒත් පිතිකරුවන් 2ක් හෝ 3දෙනෙක් දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කරාවි කියලයි අපි විශ්වාස කළේ. නමුත් එය සාර්ථක වුණේ නෑ.‘ ජයසුරිය මහතා සඳහන් කළේය.
ටෙස්ට් තරගමාලාවේ පරාජයෙන් පසුව මැතිව්ස්ගේ නායකත්වය පිළිබඳ එල්ලවන විවේචන ප්‍රතික්ෂේප කළ තේරිම් කමිටු ප්‍රධානියා මේ මොහොතේ සිදුකළ යුතු වන්නේ නායකත්වයට සහයෝගය ලබාදීම බව කියා සිටියේය.

‘මේ වෙලාව අපි නායකත්වය ගැන විවේචනය කරන්න ඕන වෙලාවක් නෙවෙයි. මේ වෙලාව අපි නායකත්වයට සහයෝගය ලබා දිය යුතු වෙලාවක්. විශේෂයෙන් තරග සංචාරයක් අතර මැද ඒ විදිහේ ප්‍රකාශ නිකුත් කිරීමෙන් නායකයා පත්වෙන තත්ත්වය ගැන හිටපු නායකයෙක් හැටියට මම හොඳින්ම දන්නවා. අඩුපාඩු හදාගෙන ඉදිරියේදී පැවැත්වෙන විස්සයි20 තරගාවලියත්, එක්දින තරගාවලියත් හොඳින් කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීමයි අපි කළ යුත්තේ.‘ ඔහු එසේ කීවේය.
මේ ටෙස්ට් තරගමාලාවේදී පැයට කිලෝමීටර් 140 ට වැඩි වේගයකින් පන්දු යවන ළහිරු කුමාර වැනි පන්දු යවන්නන් සිටියදී ඔහුට පෙර පැයට කිලෝමීටර් 120ක තරම් අඩු වේගයක් සහිත නායක මැතිව්ස් පන්දු යැවීමට පියවර ගැනීම අවධානයට ලක්වූ කරුණක් වූ අතර ඒ පිළිබඳ අදහස් පළ කළ තේරීම් කමිටු ප්‍රධානි සනත් ජයසූරිය මහතා කියා සිටියේ ඒ පිළිබඳ නිශ්චිතව කිසිවක් පැවැසිය නොහැකි බවය.

‘මම දන්නෙ නෑ හරියටම ඇයි එහෙම කළේ කියලා. සමහර වේගපන්දු යවන්නන් ඉන්නවා පන්දුව තරමක් පරණ වුණාට පස්සේ පන්දු යැවීමට කැමැති අය. සමහර විට ළහිරුත් එසේ පන්දු යැවීමට කැමැත්තක් දැක්වූවාදැයි දන්නෙ නෑ.’ ඔහු එසේ කීවේය.

දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගමාලාවේ පළමු තරගයේදී කුසල් ජනිත් පෙරේරා අංක 3 ස්ථානයෙන් පිටියට යැවීමත්, අංක 7 ස්ථානයේ හොඳින් ක්‍රීඩා කරන ධනංජය ද සිල්වා දෙවැනි ටෙස්ට් තරගයේ සිට අංක 4 ස්ථානයෙන් පිටියට යැවීමත් දැඩි විචේනයට ලක්වූ කරුණක් වී තිබිණි.

‘කණ්ඩායම ශ්‍රී ලංකාවෙන් යද්දී අපි කතා කරලා තිබුණේ කුසල් ජනිත් අංක 3 ස්ථානයෙන් යවලා එයාට නිදහසේ සුපුරුදු ආකාරයෙන් ලකුණු රැස් කිරීමට අවස්ථාව උදා කර දෙන්නයි. නමුත් එය අසාර්ථක වුණු නිසා තමයි ධනංජයව උඩට ගත්තේ. එයා අංක 7 ස්ථානයෙන් පිටියට ආවට පස්සේ පසුපෙළ කඩුලු ඉතිරි නොවීමෙන් ලකුණු රැස් කිරීම අසිරුයි කියලා එයා කියලා තිබුණා. ඒ නිසා තමයි මේ වගේ තීරණයක් ගත්තේ. සමහර තීරණ හරි යනවා. සමහර තීරණ වරදිනවා.’ ජයසූරිය මහතා කීවේය.

දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »