සල්සපුනා හි සුරේන් ඇමති සැබෑ ජිවිතය ගැන කියයි...
Jan 08, 2017 09.42am

අද අපි ගෙවන්නේ නොයෙක්‌ හේතු කාරණා නිසා මැති ඇමැතිවරුන් ගැන කතා කරන්න අකමැති කාලයක්‌ වුණත් ඉඳහිට මහජනතාවගේ කතාබහට ලක්‌වන ඇමැතිවරුත් ඉන්නවා. පාර්ලිමේන්තුවේ ඇමැතිවරයෙක්‌ නොවුණත් මෙයා ගැන අද දවසේ හුඟ දෙනෙක්‌ ප්‍රසාදයෙන් කතා කරනවා. ඒ රහස දැනගන්න අපි දිනපතා රාත්‍රි 8.30 ට සිරස නාලිකාවේ විකාශනය වන සල්සපුනා නාට්‍යයේ සුරේන් ඇමැතිගේ චරිතයට පණපොවන රනිල් කුලසිංහ එක්‌ක ටිකක්‌ කතා කළා.

සල්සපුනා නිසා රනිල් හැමෝගෙම කතාබහට ලක්‌වෙලා. ඒ ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තටම ගොඩක්‌ සතුටුයි ගොඩක්‌ අය කියනවා මම එහි ඇමතිගේ චරිතයට උපරිම සාධාරණයක්‌ ඉටුකරනවා කියල.

ඒ කියන්නේ සුරේන් ඇමතිට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ඔව් නොහිතපු විදියේ ප්‍රතිචාර ලැබෙනවා. නාට්‍යය විකාශනය වෙලා මාස හතරක්‌ යන්න කලින් රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවටත් මගේ නම යෝජනා වුණා.

මේ කාලෙ ඇමැතිවරුන්ට හරියට ප්‍රශ්න. සුරේන් ඇමතිට ඒ වගේ ප්‍රශ්න නැද්ද?

කිව්වම විශ්වාස කරන්න නාට්‍යයක චරිතයක්‌ වුණාට ඇමති කෙනකුට වඩා මට ප්‍රශ්න තියෙනවා.

සුරේන් ඇමතිට ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පුළුවන්ද?

ජනතාවගේ ප්‍රශ්නවලට මැදිහත් වෙලා විසඳලා දෙනවා. ඒත් මේ ඇමති පෞද්ගලික ප්‍රශ්න වලදී ෆේල්.

සැබෑ ජීවිතේදි රනිල් සුරේන්ට සමානද

පොඩි පොඩි සමානකම් නැතුවමත් නෙමෙයි. ඒත් ඇමති

වගේ සීරියස්‌ නෑ.

ඔබේ රංගන ජීවිතය ඇරඹෙන්නේ දූවිලි මල් නාට්‍යයෙන්.

නෑ. විමලරත්න අධිකාරි මහත්මයගේ ඉසිවරුන කියන නාට්‍යයේ පුංචි චරිතයකිනුයි මම ෆීල්ඩ් එකට ආවෙ. ඒත් ප්‍රේක්‍ෂකයන් අතරට ගියේ දූවිලි මල් නාට්‍යයේ භානුගේ චරිතය හරහා.

එහි ඔබ ධනවත් තරුණියකට බලෙන් ආදරය කරනවා. සැබෑ ජීවිතයේත් ඔබේ හැසිරීම් එහෙමද?

අයියෝ නෑ, මගේ හැසිරීම ඉතා සතුටුදායකයි. සැබෑ ජීවිතේ දී මම කාගෙවත් ආදරය බලෙන් ලබාගන්න උත්සාහ කරලත් නෑ. කරන්නෙත් නෑ.

ඇත්තටම ඔබේ පෙම්වතිය කවුද?

එයා ගැන විස්‌තර වෙන දවසක කියන්නම්.

රනිල් කියන්නේ ආදරයෙන් පැරදුන චරිතයක්‌ කියල කිව්වොත්

මම ඒක පිළිගන්නෙ නෑ. පෙම්වතෙක්‌ විදියට මම හැමදාම දිනුම්. මගේ ඒ සාධාරණ දිනුම හරහා පරාද වෙච්ච අය ඇති. ඒත් මට ඒවා අදාළ නෑ.

දාමරික චරිතයකින් කරලියට ආපු රනිල් දැන් ඇමතිවරයෙක්‌. ඊළඟට කවුරු වෙයිද?

ඒක තීරණය වෙන්නෙ මට ලැබෙන නිර්මාණය අනුවනෙ. කොහොම වුණත් හොඳ චරිත හරහා රසිකයො අතර රැඳෙන්න උත්සාහ කරනව.

චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්‌ වෙන්න ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් යටතේ ගුරුහරුකම් ලැබුව කියලත් ආරංචියි

මගේ තාත්තා නර්ථන ගුරුවරයෙක්‌. ඒ නිසා පුංචි කාලෙ ඉඳල කලාව අත්විඳින්න ලැබුණා. ඒ අතරේ මහේන්ද්‍ර පෙරේරා සහ අනෝජා වීරසිංහ දෙපළ යටතේ වැඩිදුර හැදැරීම් කළා.

අද වෙනකොට අධ්‍යක්‍ෂවරයෙක්‌ වීමට තිබූ අදහස අතහැරලද

කොහෙත්ම නෑ. අදටත් මම කොච්චර අවිවේකී වුණත් පිටපත් ලියමින් ඒ බලාපොරොත්තුව ඉටුකරගන්න වෙහෙසෙනවා.

රංගනයට යොමුවුණේ අධ්‍යක්‍ෂවරයෙක්‌ වෙන්න පාර කපා ගන්නද?

නෑ. මම අධ්‍යක්‍ෂවරයෙක්‌ වෙන්න ඇවිත් රංගන ශිල්පියෙක්‌ වුණ කෙනෙක්‌. දූවිලිමල් අධ්‍යක්‍ෂ ආර්.කේ. අලුත්වීදියගේ මට කිව්වා අධ්‍යක්‍ෂවරයෙක්‌ වෙන්න රඟපෑම අත්‍යවශ්‍ය දෙයක්‌ කියලා. ඔහු මගේ වැඩිමල් සහෝදරයා බව ක්‍ෂේත්‍රයේ කවුරුත් දන්නෙ නෑ.

ජනප්‍රියත්වය නිසා හිස උදුම්ම ගෙන කියලත් සමහරු කියනවා.

මම ගැන දන්නෙ නැති අය එහෙම කියනවා ඇති. ඇත්තටම ඒ ගැන කනගාටුයි. මම ළඟින්ම ආශ්‍රය කරන අය කියන්නෙ දැන්වත් නළුවෙක්‌ විදියට හැසිරියන් කියල. ඒත් මම හැමදාමත් රනිල් කුලසිංහම තමයි.

අලුත් නාට්‍ය කීපයකට ආරාධනා ලැබුණා කියලත් ආරංචියි.

දැනට පිටපත් තුනක්‌ ලැබිලා තියෙනවා. ඉදිරියේදි කාල වේලාව තෝරගෙන ඒ සඳහා යොමුවෙනවා.



(දිවයින පුවත්පත ඇසුරෙනි)

Ads here
340 x 60
Rs. 10000/-