රිමාන්ඩ් එකේ ඉන්න රේගු ලොක්‌කාගේ උසස්‌වීම ගැන පරීක්‍ෂණයක්‌
Jan 08, 2017 09.39am

රාජකාරි පිස්‌තෝලයෙන් වෙඩි තබා පුද්ගලයකුට මරණීය තුවාල සිදු කළේ යෑයි චෝදනා ලද නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරයකු රිමාන්ඩ් භාරයේ සිටිද්දීම රේගු අධ්‍යක්‍ෂ තනතුරට උසස්‌ කිරීම සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

මෙම උසස්‌ කිරීමේදී විෂමාචාර ක්‍රියාවක්‌ සිදුව ඇතිද යන්න පිළිබඳව පරීක්‍ෂණයක්‌ කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ශ්‍රී ලංකා නිදහස්‌ රජයේ වෘත්තීය සමිති සංගමය වෙත ලිතව දැනුම්දී ඇත්තේ එම සංගමය විසින් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම අනුවය.

අපරාධ නඩුවක චූදිතයකු රේගු අධ්‍යක්‍ෂ තනතුරට උසස්‌ කිරීමේදී සිදුවූ විෂමාචාරය පිළිබඳ නිරීක්‍ෂණ හා නිර්දේශ ඉදිරිපත් කරන ලෙසට රාජ්‍ය සේවා කොමිෂන් සභාවද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම්දී තිබේ.

චෝදනා ලත් රේගු අධ්‍යක්‍ෂවරයා අනිවාර්ය නිවාඩු යවන ලෙසට මුදල් අමාත්‍ය ලේකම්වරයා විසින් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට දැනුම්දී ඇතත් අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එය ප්‍රමාද කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස්‌ රජයේ වෘත්තීය සමිති සංගමයේ ප්‍රකාශකයෙක්‌ 'දිවයින ඉරිදා සංග්‍රහය' ට ප්‍රකාශ කළේය.

සැකකාර රේගු අධ්‍යක්‍ෂවරයා 2016.02.10 දින බත්තරමුල්ල ආසිරි උයනේදී සිය රාජකීය පිස්‌තෝලයෙන් උදිත සංජීව ඇල්විටිගල නමැත්තාට වෙඩි තබා මරණීය තුවාල සිදු කර ඇතැයි ද එම චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්‌ත්‍රාත්වරයා විසින් 2016.02.11 දින සැකකරු රිමාන්ඩ් භාරයට පත් කළ බවද රේගු වෘත්තීය සංගමය ජනාධිපතිවරයාට කළ පැමිණිල්ලේ දැක්‌වේ.

හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුවේදී ද තුවාලකරු විසින් සැකකරු හඳුනාගෙන ඇතැයි පවසන එම සංගමය රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සැකකරුගේ සුවදුක්‌ බැලීමට බන්ධනාගාරයට ගොස්‌ ඇතැයිද සඳහන් කරයි.

නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ ලෙස රක්‍ෂිත බන්ධනාගාරගත වූ සැකකරු 2016.03.16 දින ඇප ලබා පැමිණියේ රේගු අධ්‍යක්‍ෂ තනතුරට උසස්‌වීම් ලබා බවද පවසන රේගු සංගමය ඇප ලබා පැමිණි දාට පසුදින ඔහු නව පත්වීමේ වැඩ භාරගත් බවද ජනාධිපතිවරයාට පැමිණිලි ඇත.

මේ පිළිබඳ වහා සොයා බලන ලෙස රේගු වෘත්තීය සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති අතර පරීක්‍ෂණ නිම වනතුරු ඔහු අනිවාර්ය නිවාඩු යවන ලෙසද ඉල්ලා ඇත.

(සිළුමිණ පුවත්පත ඇසුරෙනි)

Ads here
340 x 60