සිහිසුන් කර භාණ්ඩ පැහැරගන්නා සැකකරුවකු අත්අඩංගුවට

Jan 06, 2017 09.25am
feature-top
කිරි හා සිසිල්බීමවලට මත් පෙති දමා සිහිමුර්ජා කර පුද්ගලයන් සතු මුදල් ඇතුළු දේපළ කොල්ලකන ලදැයි කියන හතළිස් හැවිරිදි දෙදරු පියකු යතුරුපැදියක් සමඟ සොරාගත් දේපළ අත්අඩංගුවට ගත් බව මීගමුව කොට්ඨාසයේ නීතිය බලගැන්වීමේ ඒකකය කියයි.

පොලිසිය මෙවැනි සිද්ධීන් දෙකකට අදාළව රුපියල් 1,20,000 ක් වටිනා රන් අභරණ උකසට තබා තිබියදී හා අලෙවි කර තිබියදී සොයාගෙන තිබේ.

සැකකරු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු විවාහකයකු බවත්, මෙම කොල්ලකෑම් සඳහා යතුරුපැදියක් උපයෝගී කරගෙන තිබෙන බවත් විමර්ශනවලදී හෙළිවී තිබේ.

සිද්ධියට අදාළ සැකකරු කටුනායක හා අවට ගම්වල යතුරුපැදියෙන් සැරිසරමින් හොඳට ඇඳ පැළඳ ගත් පුද්ගලයන් සමඟ කුළුපගවී යතුරුපැදියේ නංවාගෙන ආපනශාලාවල ආවරණය සහිත කාමරවලට ගෙන ගොස් හොර රහසේ කිරි වර්ගවලට හා සිසිල්බීමවලට මත්පෙති දමා සිහි මුර්ජා වූ පසුව ඔවුන්ගේ වටිනා දෑ කොල්ලකා පලාගොස් තිබෙන බව වැඩිදුරටත් හෙළිවී ඇත.

මේ පිළිබඳව සිද්ධීන් දෙකක් පොලිසියට වාර්තා වී තිබේ. පොලිසිය රන් අභරණ අනුරාධපුරය ප්‍රදේශයේ බැංකුවලට උකස් කර තිබියදී සොයාගෙන ඇත. මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියලාල් දසනායක, සහකාර පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ, සහකාර පොලිස් අධිකාරි ජයන්ත අතුකෝරළ යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත මීගමුව කොට්ඨාසයේ නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගිහාන් මනෝහර යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත සැකකරු හා දේපළ සොයාගෙන විමර්ශන සිදුකරන ලද්දේ පොලිස් සැරයන්වරුන් වන එම්. රවුෆ් (63188), ඩැනී පෙ‍ෙර්රා (51744), චන්දන (7000), චමිත් (86671) සහ පොලිස් රියැදුරු ජයසේකර (15448) යන ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.

සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »