නීති විරෝධී ඉඩම් ගොඩකිරීමකට ජනපති උපදෙසින් තිත

Jan 05, 2017 09.04am
feature-top
ජාඇල, දඬුගම ප්‍රදේශයේ ස්ථාන දෙකක නීති විරෝධී අයුරින් සිදුකෙරුණු ඉඩම් ගොඩකිරීම් දෙකක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි නතර කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ ප්‍රදේශවාසීන් විසින් ජනාධිපතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පියවර ගෙන ඇති බවයි.

මහා පරිමාණයෙන්  ජාඇල, දඬුගම ප්‍රදේශයේ ඉඩම් ගොඩ කිරීම් සිදුවන බවට පසුගිය තුන්වන දින ජනාධිපතිවරයා වෙත පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව වහාම එම ස්ථානයට ගොස් විමර්ශන කටයුතු සිදුකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා වෙත උපදෙස් ලබාදී තිබේ.
 
අදාළ උපදෙස් වලට අනුව මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරීන් සහ ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිළධාරීන් ජාඇල පොලීසිය සමඟ එම ස්ථාන වෙත ගොස් විමර්ශන කටයුතු සිදුකර ඇති බව වාර්තා වේ.

අනතුරුව එම අනවසර ඉඩම් ගොඩ කිරීම් වහාම නවතා දැමීමට පියවර ගෙන තිබේ.

මුතුරාජවෙල කඩොලාන පාරිසරික පද්ධතියට හානි පමුණුවමින් විශාල භූමිභාගයක සිදුකෙරුණු මෙම අනවසර පහත් බිම් ගොඩ කිරීම සිදුකළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

පරිසරයට සහ ජෛව විවිධත්වයට හානි වන අයුරින් සිදු කෙරෙන මෙම අනවසර ඉඩම් ගොඩ කිරීම් වලට එරෙහිව පවතින නීති රීති යටතේ උපරිම දඩුවම් ලබාදීමට ජනාධිපතිවරයා මීට පෙරද උපදෙස් ලබාදී තිබුණි.

අද දෙරණ ඇසුරෙනි

More News »