මීගමුව කලපුව සංවර්ධන ව්‍යාපෘතියේ මුදල් වංචාව සීඅයිඩී අත්අඩංගුවට ගත් සරත් ගුණරත්න රිමාන්ඩ්

Jan 03, 2017 09.10am
feature-top
මීගමුව කලපුව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියෙන් රුපියල් එක්‌කෝටි විසි ලක්‌ෂයක්‌ වංචා කළැයි කියන චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ හිටපු නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා ලබන 09 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලාල් බණ්‌ඩාර මහතා ඊයේ (02 දා) නියෝග කළේය.

සැකකාර සරත් ගුණරත්න මහතා අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (02 දා) පෙරවරුවේ ඉදිරිපත් වූ අතර පසුව ඒ මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලදී.

මීගමුව කලපුව සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වෙන්කළ රුපියල් එක්‌කෝටි විසි ලක්‌ෂයක්‌ වංචා කිරීමේ චෝදනාව මත හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ ඉන්පසුවය.

මීගමුව කලපුව සංවර්ධන ව්‍යාපෘතියේදී සිදුවූ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මුලින්ම විමර්ශනය කරනු ලැබුවේ බරපතළ වංචා විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසම විසිනි.

පසුව මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලදී.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය කරගෙන යැමේදී සිදුවූ මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් එහි සභාපතිවරයා සහ අධ්‍යක්‌ෂ මණ්‌ඩල සාමාජිකයන් තිදෙනකු මීට පෙර අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

එහිදී සැකකරුවන් තිදෙනකු මේ වන විට ඇපමත මුදාහැර ඇති අතර එක්‌ සැකකරුවෙක්‌ තවමත් බන්ධනාගාරගත කර සිටියි.

මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට පැමිණෙන ලෙස අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව අවස්‌ථා දෙකකදීම සරත් ගුණරත්න මහතාට දැනුම් දී තිබුණ ද ඔහු ඒ සඳහා ඉදිරිපත් වූයේ නැත.

අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව තුන්වැනි වරට කළ දැනුම් දීමකට අනුව හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් විය.

මීගමුව කලපුව සංවර්ධනය සඳහා වෙන් කළ රුපියල් මිලියන 300 කට අධික මුදලක්‌ පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා මෙන්ම වෙනත් පෞද්ගලික කටයුතු සඳහා යොදාගත් බවට හිටපු නියෝජ්‍ය ඇමැතිවරයාට චෝදනා එල්ල වී තිබේ.



දිවයින පුවත්පත ඇසුරෙනි

More News »