විරුසර ප්‍රතිලාභ කාඩ්පත සියලුම ආරක්ෂක අංශවලට

Jan 02, 2017 09.53am
feature-top
සියලු වරප්‍රසාදවලින් යුත් විරුසර ප්‍රතිලාභ රණවිරු කාඩ්පත ඉදිරියේදී ත්‍රිවිධ හමුදාව, පොලිසිය, විශේෂකාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු බලකාය යන සියලුම ආරක්ෂක අංශ ආවරණය වන පරිදි ලබාදීමට රජය තීරණය කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාව මත රුවන් වි‍ජයවර්ධන අමාත්‍යවරයා විසින් ඔහුගේ සංකල්පයකට අනුව බිහිකරන ලද මෙම රණවිරු විරුසර වරප්‍රසාද කාඩ්පත ඒ ආකාරයෙන් සමස්ත සියලුම ආරක්ෂක අංශවලට ලබාදීමට මෙසේ තීරණය කර ති‍ෙබ්.

රජයට වැඩි බරක් නොවී දෙස් විදෙස් පෞද්ගලික ආයතනවල දායකත්වයෙන් දැනට ආරම්භ කර ඇති මෙම රණවිරු විරුසර වැඩපිළිවෙළ පියවර ගණනාවක් ඉදිරියට ගොස් ඇත. මෙම වැඩපි‍ළිවෙළ හරහා දශක තුනකට වැඩි කාලයක් මේ රටේ දරුණු යුද්ධය නිමකර රටට නිදහස ලබා ගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ රණවිරුවන් හට වරප්‍රසාද විශාල ප්‍රමාණයක් ලැබී තිබේ.

රණවිරු විරුසර කාඩ්පත හරහා රණවිරුවන්ට පමණක් නොව ඔවුන්ගේ මාපියන්, දූදරුවන් සහ බිරින්දෑවරුන්ට මේවනවිටත් එම වරප්‍රසාද ලබාගැනීමේ අවස්ථාව උදාවී තිබේ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මෙම වැඩපිළිවෙළ ආරම්භ කර කෙටි කාලයක් තුළ රණවිරුවන් පනස්දහසකට එම වරප්‍රසාද හිමිකම් ලබාදී ඇත.

තම මාසයකින් පමණ ආරම්භ වන එම වැඩපිළිවෙළේ දෙවෙනි පියවරේදී රණවිරුවන් ලක්ෂ දෙකකටත් තුන්වන පියවරේදී සමස්ත ත්‍රිවිධ හමුදාව සහ ඉහත සඳහන් සෙසු සියලු ආරක්ෂක අංශවලටත් ලබාදීමට තීරණය කර ඇති බව ද අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි. මේ වනවිට මෙම වරප්‍රසාදවලට දෙස් විදෙස් ඉහළ ගණයේ ව්‍යාපාරික ආයතන සහ සංවිධාන සීයකට වැඩි ප්‍රමාණයක් දායකත්වය ලබාදීමට ඉදිරිපත්වී සිටී. ඒ අතරින් ආයතන හැටපහකගේ පමණ දායකත්වය ලබාගෙන ඇති අතර ඉතිරි ආයතනවල දායකත්වය ඉදිරි පියවරයන් සඳහා ලබාදීමට තීරණය කර තිබේ.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »