ආනන්දයෙන් පුරවන ප්‍රේක්ෂා රංග කලා මහෝත්සවය

Sep 09, 2020 01.06pm
feature-top
වේදිකාවේ අඳුර සහ ආලෝකය අපේ ජීවිතය සමඟ ගොඩනඟන හැඟීම විටෙක සිනහවක් ලෙසත් විටෙක සුසුමක් ලෙසත් මතුවී නැවත ජීවිතය දෙස හැරී බලන්නට ඉඩ හසර ලබා දෙනවා. වේදිකා නාට්‍යය සුවිශේෂී ජීව ගුණයකින් යුතු කලා මාධ්‍යයක් වෙන්නෙ ඒ නිසා.

පසුගිය කොවිඩ් වසංගත කාල වකවානුව අපව කායිකවත් මානසිකවත් බරපතළ ලෙස පීඩාවට පත් කළා. ඒ පීඩනය විඳ දරාගත් අපේ රටේ මිනිසුන් හුස්ම ගන්න දුරින් ජීවිතය නැවතත් විඳින්නට එකතු වුණු මහා වේදිකා නාට්‍යය මංගල්‍යය, "ප්‍රේක්ෂා රංග කලා මහෝත්සවය" මේ දිනවල සාර්ථකව වේදිකාගත වනවා.

ලෝකයේ විදග්ධ නාට්‍ය කෘති රැසක පරිවර්තනයන් හා අප රටේ නිර්මාණය වු පුරෝගාමී නාට්‍ය නිර්මාණ රැසක් ඇතුළුව තරුණ නාට්‍යකරුවන් අතින් නිර්මාණය වු විශිෂ්ට ප්‍රකාශන රාශියක් එයට ඇතුළත් වනවා.

කොළඹ එල්ෆින්ස්ටන් රඟහල හා ටවර්හෝල් රඟහල පරිශ්‍රයේදී ඒ සියල්ල දැකබල ගන්නට ඉඩ කඩ වෙන්වන "ප්‍රේක්ෂා රංග කලා මහෝත්සවය" වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපූරු අවකාශයක්.

ලෝකයේ ව්‍යසනකාරී ආපදා වාතාවරණයක් තුළ පළමුවෙන්ම කප්පාදුවට ලක් වන්නේ ඒ රටේ ජනතාවගේ සංස්කෘතික ජීවිතය බව කාලාන්තරයක් පුරා අපි මැසිවිලි නැගුවා. අඳුරේ නොසිට පහනක් දල්වා පුරෝගාමි සංස්කෘතික කතිකාවතකට නායකත්වය දීමට ටවර් හෝල් රඟහල පදනම අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මූලිකත්වය ගන්නේ ඒ වටපිටාවෙදි.

බොහෝ වෙර වෑයමෙන් දහඩිය ශ්‍රමය වපුරා වේදිකාව මතට නාට්‍යයක් රැගෙන ඒම සුන්දර සුවපහසු කටයුත්තක් නොවේ. නමුත් ජනතාව වෙත තම නාට්‍ය රඟදක්වා ලැබෙන ‍ප්‍රතිචාර හමුවේ නව පණක් ලබන්නට නාට්‍යකරුවන්ට හැකිවීම මෙහි ඇති විශ්මිත සෞන්දර්යයි.

"ප්‍රේක්ෂා රංග කලා මහෝත්සවය" තුළ එකම කාල රාමුවක ප්‍රධානම රංග ශාලා දෙකක නාට්‍ය දෙකක් එකවර වේදිකාගත වීම අලුත් අත්දැකීමක් වනවා. එල්ෆින්ස්ටන් රඟහලේ ප්‍රවීණ නාට්‍යකරුවකුගේ නාට්‍යයක් වේදිකා ගත වෙද්දී ටවර් හෝල් රඟහලේදී තරුණ නාට්‍යකරුවකුගේ විශිෂ්ට නාට්‍යයක් වේදිකාගත වනවා. මෙහිදී එකවරම රංග ශාලා දෙකට විශාල ජන ගඟක් ගලාගෙන එනවා. එක් රඟහලක නරඹන ප්‍රේක්ෂකයා සවස් භාගයේ අනෙක් රඟහලට ගොස් අනෙක් නාට්‍ය අත්දැකීමත් විඳ දරාගන්න පෙලඹීම ඉතාම විශේෂයි.

අපේ රටේ ප්‍රේක්ෂකයන්ට මේ විඳින්න ලැබෙන්නෙ බොහෝ දියුණු රටවල වේදිකා නාට්‍යය සංස්කෘතියේ එක්තරා දියුණු අංගයක්. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සිංහල නාට්‍ය කලාවට දායාද කළ විශිෂ්ට නාට්‍ය රාශියක් තවමත් පවත්වාගෙන යන්නට සරච්චන්ද්‍ර මැතිනිය මහත් පරිශ්‍රමයක් දරනවා.

එමෙන්ම දයානන්ද ගුණවර්ධනයන් දායාද කළ විශිෂ්ට නාට්‍ය ඔහුගේ ඇවෑමෙන් එම මැතිනිය පවත්වාගෙන යන්නේ එවන් වූ පරිශ්‍රමයකින්. ආර් ආර් සමරකෝන් ශූරීන්ගේ නාට්‍ය මෙවර ඔහුව සිහිපත් කරමින් වේදිකා ගත වන්නේ රම්‍යා වනිගසේකර මැතිනියගේ ධෛර්යවත් මැදිහත්වීමෙන්. නාට්‍යවේදී හෙන්රි ජයසේනයන් හා ජයලත් මනෝරත්නයන් වැනි කෘතහස්ත නාට්‍යකරුවන්ගේ නිර්මාණ මේ උලෙළේ දී අපව කම්පනයට පත් කරනවා. ඒ මහා පුරුෂයන් මේ වේදිකාව මත සිට ජනතාව දෙස බලා සිටින අයුරු අපට සිහිපත් වනවා.

දයානන්ද ගුණවර්ධනයන් අවසන් වරට එල්ෆින්ස්ටන් රඟහලේ ඔහුගේ " මධුර ජවනිකා" නාට්‍යය ප්‍රදර්ශනය කරන අතරතුර රෝගාතුර වීමෙන් පසු මෙලොවින් සමු ගන්නවා. මෙවර එම රඟහලේම "මධුර ජවනිකා" නාට්‍ය ප්‍රදර්ශනය වනවා. එතුමාගේ සදානුස්මරණීය මතකය සිහිගන්වමින් එදා නාට්‍ය අවසානයේ ජැක්සන් ඇන්තනී නාට්‍යකරුවා දයානන්ද ගුණවර්ධනයන් පිළිබඳ හඬ අවදි කරනවා. ගුණවර්ධන මැතිනිය එහිදී සංවේදී වීමත් අපට අමතක කරන්න බැහැ. අගෝස්තු මස ආරම්භ වු "ප්‍රේක්ෂා රංග කලා මහෝත්සවය" සැප්තැම්බර් මස 15 වැනිදා දක්වා ජනතාවට විවෘතයි. අග්‍රාමාත්‍යතුමා යටතේ පවතින ටවර්හෝල් රඟහල පදනම මෙම නාට්‍ය අවකාශය වෙනුවෙන් අග නගරයේ ප්‍රධානම රංග ශාලා දෙකක් වෙන් කරනු ලබනවා. එය නාට්‍ය කරුවන් වෙත නොමිලේ ලබාදෙන්නක්. ඉතාමත්ම සුළු මුදලක ‍ ප්‍රවේශ පත්‍රයකට තම නිර්මාණය ජනතාවට රස විඳින්නට ඉඩකඩ ලබා දෙන්නත් නාට්‍යකරුවන් මෙහිදී කෘතවේදී වනවා.

ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ "ට්‍රෝජන් කාන්තාවෝ" නාට්‍ය ‍ "ප්‍රේක්ෂා නාට්‍ය උලෙළේ" රංග ගත වීමට නියමිතයි. දැවැන්ත ශ්‍රමයක් වේදිකාවට මුදාහල අප රටේ ජ්‍යෙෂ්ඨතම නාට්‍යකරුවාගේ මේ නාට්‍ය නිර්මාණය ඔහු අතින් නිර්මාණය වී දැන් වසර විස්සක් ආසන්නයි. "ප්‍රේක්ෂා රංග කලා මහෝත්සවය" අපේක්ෂාවන් දැල්වන අනාගතයට සුබවාදී වූ බලාපොරොත්තු එක් කරන්නක් බව අපගේ අදහසයි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »