මට අවස්ථාවක් ලැබුණොත් රට පුරා සිනමා ශාලා හදනවා ‘ජීවා‘ සමඟ අධ්‍යක්ෂණයට පිවිසෙන ප්‍රවීණ චිත්‍රපට නළු ජීවන් කුමාරණතුංග

Sep 19, 2019 09.24am
feature-top
කලාකරුවෝ විතරක් නෙමෙයි හැමෝම ඉන්නේ දු‍කෙන්

සිනමාව වෙනුවෙන් මැදිහත් විය හැකි හැම තැනකම මම මැදිහත් වුණා

පුංචි කමිටුවකින් දෙන ඇගැයීමක් නොලැබුණාට මට පසුතැවීමක් නැහැ

අසූව දශකයේ දි ලාංකේය සිනමාවට පා තබමින් සිනමාවේ දුෂ්ටයා ලෙස ජනප්‍රිය වූ ඔහු පසුව 'හිත හොඳ චණ්ඩියා' නිෂ්පාදනය කරමින් සිනමාවේ වීරයා ලෙස ප්‍රේක්ෂක හදවත් ජය ගත්තේය. පසුකාලීනව මහින්දාගමනය, මහරජ අජාසත්, දළදාගමනය සමඟ වෙනස්ම චරිත නිරූපණයක යෙදුණු ඔහුගේ ‍නවතම භූමිකාව සිනමා අධ්‍යක්ෂණයයි. අද මේ සටහන ලාංකේය සිනමාවේ ප්‍රවීණ රංගන ශිල්පි ජීවන්  කුමාරණතුංගගේ ඒ නවතම භූමිකාව පිළිබඳවයි.

මොකද්ද මේ ජීවා?

මා විසින් අධ්‍යක්ෂණය කෙරෙන පළමු චිත්‍රපටය. සරල කතා තේමාවකින් යුත් මෙය වාණිජ්‍යමය චිත්‍රපටයක්. සංගීතා වීරරත්න, ක්ලීටස් මෙන්ඩිස්, ගයාන් මාපලගම, ආනන්ද, ජීවන් හඳුන්නෙත්ති ඇතුළු පිරිස රංගනයෙන් දායක වෙනවා. එදා අප හා අත්වැල් බැඳ ගත් ප්‍රේක්ෂකයෝ රැසක් හිටියා. ඒ ප්‍රේක්ෂකයින්ගෙන් යම් ප්‍රතිශතයකගේ අවධානය නැවත මේ චිත්‍රපටය ඔස්සේ ලබා ගත හැකි බවට විශ්වාසයක් තිබෙනවා.

ජීවා කොහොමද සිනමාවට නැඟෙන්නේ?

'පුතණ්ඩියා' චිත්‍රපටය නැරැඹු ප්‍රේක්ෂකයෝ "අපට ඉස්සර වගේ ජීවන් අයියාගේ ෆිල්ම් එකක් බලන්න බැරි වේවිද" කියලා නිතරම මගෙන් විමසද්දි, ඒ පිළිබඳ මම සහ සුනිල් ටී නිතරම කතාබහ වුණා. ඒ ඔස්සේ තමයි ඔහු 'ජීවා' නිෂ්පාදනයට තිකෝ ෆිල්ම්ස් හි නිෂ්පාදිකාව සම්බන්ධ කර දෙන්නේ. මම අධ්‍යක්ෂණය කරනවා නම් නිෂ්පාදන කටයුතු කරන්න ඇය එකඟ වුණා.

රංගන ශිල්පියෙකු, නිෂ්පාදකවරයෙකු ලෙස දශක ගණනාවක් රැඳුණු ඔබ අධ්‍යක්ෂණයට මෙතරම් පමා වුණේ ඇයි?

වසර තුන හතරකට පෙර සුනිල් ටී ගේ දැඩි ඉල්ලීමක් තිබුණා, මම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළොත් ඔහු හෝ ඔහුගේ සමා‍ගමෙන් නිෂ්පාදනය කරන්නම් කියලා. නමුත් ඒ කාලයේ මගේ තිබුණු කාර්යබහුල ජීවිතය, දේශපාලන කටයුතු සහ විවිධ කාරණා සමඟ චිත්‍රපයටක් අධ්‍යක්ෂණයත් ඒ කාර්යබහුලත්වයට ඇතුළු කර ගතහොත් එකක්වත් හරියට කරගන්න බැරි වෙන නිසා ඒ ඉල්ලීම බාර ගත්තේ නැහැ. නමුත් මේ කාලයේ දේශපාලනමය වශයෙන් මම ඉන්නේ ටිකක් විවේකීව. ඒ ලැබිච්ච විවේකයේ දී තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණයට යොමු වුණේ.

ජීවා සමඟ නව නිෂ්පාදිකාවක් ඔබ සිනමාවට හඳුන්වා දෙනවා?

ඔව්. ඇය තිළිණි ප්‍රියමාලි. ඔවුන් සිනමා කර්මාන්තයට එක්වන නවතම චිත්‍රපට නිෂ්පාදක සමාගමක්. ඇගෙත් සිනමාවට බොහොම කැමැත්තක් තිබෙනවා. මේ චිත්‍රපටයට මම රංගනයෙන් හා අධ්‍යක්ෂණයෙන් දායක වෙනවා නම් ඔවුන්ගේ සමාගමෙන් නිෂ්පාදනය කරන්න ඇගෙත් ඉල්ලීමක් තිබුණා. ඒ බලාපොරොත්තුව සාර්ථක වේවි යැයි මම හිතනවා.

ලාංකේය සිනමාවේ තිබෙන අර්බුද සමඟ නිෂ්පාදිකාව වෙනුවෙන් වග කියන්න ඔබට පුළුවන්ද?

බැරි වෙන්නේ නැහැ. අපේ වෙළෙඳ පොළ, එයට අලෙවි කළ හැකි නිෂ්පාදනය හා එහි තිබෙන ගුණාත්මක බව පිළිබඳ යම් අවබෝධයක් තිබේ නම් ඒ අභියෝගය මේ ‘ජිවා‘ නිර්මාණයෙන් ජය ගන්න පුළුවන්. අද අපේ ප්‍රේක්ෂකයෝ ඉන්නේ බොහොම ඉදිරියෙන්. සිනමාවේ යම් යම් අර්බුද, පසුබෑම් තිබුණත් නිර්මාණයේ නිර්මාණාත්මක හා ගුණාත්මක බව රැක්කේ නැත්නම් ප්‍රේක්ෂකයාගෙන් සමාවක් ලැබෙන්නේ නැහැ. අප මේ චිත්‍රපටයේ වැඩකටයුතු පටන් ගත්තේ වෙළෙඳ පොළට සරිලන බජට් එකක් හදාගෙන.

නිෂ්පාදකවරයෙක් ලෙස කටයුතු කර තිබෙන ඔබ මේ චිත්‍රපටය නිෂ්පාදනය නොකළේ ඇයි?

මමත් තිර පිටපතක් ලියා තිබෙනවා. එය නිෂ්පාදනය කරන්නයි බලාපොරොත්තුවෙන් හිටියේ. එය මම අතේ තියාගෙන ඉන්නකොටයි මේ යෝජනාව එන්නේ. ඉතින් මගේ තිර පිටපත පොඩ්ඩක් පැත්තකින් තියලා මේ පිටපත බාර ගත්තා. ඉදිරියේදී මගේ නිෂ්පාදනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් තවත් නිර්මාණ බිහි වේවි.

කලාවෙන් බොහෝ දේ ලැබුණු ඔබ දේශපානයට ගිය පසු ඒ වෙනුවෙන් කළ යමක් තිබේද?

අප කළ බොහෝ දේ තිබෙනවා. 94 රජයෙන් සිනමා කර්මාන්තය වෙනුවෙන් තිබූ විශාල ඉල්ලීම් ප්‍රමාණයක් අප ඉටු කර දුන්නා. එකල හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මැතිණියගේ ආශිර්වාදයෙන් බොහෝ දේ කළා. මහින්ද රාජපක්ෂ ජනපතිතුමා ගේ කාලෙදිත් සිනමාවේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා. නමුත් මම දකින විදිහ අනුව මේ කර්මාන්තයේ තිබෙන දැවැන්ත ප්‍රශ්නයට අවශ්‍ය කරන විසඳුම තවම ලැබී නැහැ.

සිනමාවේ ඔබ දකින දැවැන්ත අර්බුදය සහ එයට විසඳුම කුමක්ද?

අපට 83 කෝලහලයෙන් අහිමි වූ සිනමා ශාලා සංඛ්‍යාව 200 කට ආසන්නයි. ඒ 200 ගිනි බත් වෙද්දි අහිමි වෙච්ච ප්‍රේක්ෂක සංඛ්‍යාව බැලුවොත් මහ විශාලයි. බෙදා හැරීම පෞද්ගලික අංශයට යද්දි එහි ගිවිසුම්ගත ලෙස පෞද්ගලික අංශය මෙහෙයවන්න චිත්‍රපට සංස්ථාව පසුගිය දවස්වල අසමත් වුණා. ජයන්ත ධර්මදාස මහතා සභාපති ලෙස කටයුතු කරද්දි එතුමා පෞද්ගලික අංශය ගිවිසුමට අනුව යම් මෙහෙය වීමක් කළා. එයට ඉහළින් අවශ්‍ය කරන සහාය ලැබුණා. ඒ නිසා පෞද්ගලික අංශයේ තිබුණු ගුණාත්ක හා වාසිසහගත භාවය සිනමා කර්මාන්තයට ලබා ගන්න පුළුවන් වුණා. නමුත් වර්තමානයේ මේ දේවල්වලට අවශ්‍ය සහාය ‍ලැබෙන්නේ නැහැ.

පෞද්ගලිකව ඔබෙන් මේ ක්‍ෂේත්‍රයට ඉටු වූ දේවල් ගැන සෑහීමකට පත් වෙනවාද?

'ජන මන්දිර' වැඩසටහන ඇරඹුවේ මම. ඒ කාලයේ ඒ ව්‍යාපෘතිය සාර්ථක ලෙස දියත් කෙරුණා. නමුත් මම ඒ විෂයයෙන් මාරු වී වෙනත් විෂයයකට ගිය පසු ඉස්සරහට අරගෙන යන්න අවශ්‍ය පසුබිමක් නැතිව ඒ වැඩසටහන් පෙළ කඩා වැටුණා. පෝලිමේ තිබු චිත්‍රපට උදාහරණයක් ලෙස 'බව දුක' චිත්‍රපටය රිලීස් කළේ සම්පුර්ණ පොලිය කපා හැර මුදල විතරක් ගෙවන පදනමෙන් මම පෞද්ගලිකව මැදිහත් වී අරන් දුන් සහන නිසා. සිනමා ශාලා හිමියන්ට ඒ සිනමාහල් පවත්වා ගෙන යෑමට තිබූ යම් යම් ගැටලු සහගත තත්ත්ව අපට වාර්තා කළාම හැම ශාලාවකටම බියර් බලපත්‍රයක් ලබා දෙන්න කටයුතු කළේ මගේ මැදිහත් වීමෙන්. මේ වගේ පෞද්ගලිකවම මට මැදිහත් විය හැකි හැම තැනකම මම මැදිහත් වී සිනමාව වෙනුවෙන් කළ හැකි දේ කර තිබෙනවා.

හැමදාමත් කතා කෙරුණේ සිනමාවේ අර්බුදය ගැනයි. නමුත් සමස්ත කලාකරුවම හැමදාම ඉන්නේ දුකෙන්?

එය කලාකරුවාටම පමණක් සීමා වූ දෙයක් නෙමෙයි. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් මට්ටම් ගැන කතා කළොත් එදාට වැඩිය මහ වැටුප් ප්‍රමාණයක් වැඩි වෙලා. නමුත් හැමෝම ඉන්නේ දුකෙන්. වර්තමාන ලෝකයේ ආර්ථික වියදම වැඩියි. මේ කාරණා එක්ක මම කියන්නේ අද කලා ක්ෂේත්‍රයේ තිබෙන යම් යම් පසුබෑම් තුළ පවා ජය ගන්න අපත් සැලැසුම් සහගතව මඟ සකස් කර ගත යුතුයි. මේ ගමනෙදී අපත් වරද්ද ගන්න තැන් තිබෙනවා. එසේ නොවී නිවැරැදිව තිබෙන තත්ත්වය වටහා ගෙන අපේ ජීවන ගමන් මඟ සැලැසුම් කළොත් මං හිතන්නේ හැමදාම දුකට පත් වෙවී ඉන්න අවශ්‍ය නැහැ.

මෑත කාලීනව සිනමාවේ ජීවන් කුමාරණතුංගගේ කැපී පෙනෙන රංගනයක් තිබුණේ නැහැ?

දේශපාලන කටයුතු සමඟ රඟපෑමේ කටයුතුවලට යොදවන කාලය බොහොම සීමා වුණා. නමුත් පසුගිය කාලයේ මහින්දාගනමනය, දළදාගාමනය, මහරජ අජාසත් වැනි නිර්මාණවලට මගේ දායකත්වය ලබා දී තිබෙනවා. 'ජීවා' චිත්‍රපටයෙන් යම් මට්ටමකට නැවැත ඒ පැරැණි ප්‍රේක්ෂක අවධානය යොමු කරගැනීමට පුළුවන් වේවි.

ඔබේ සමකාලීනයන් දෙස් විදෙස් ඇගැයීමවලට පාත්‍ර වෙද්දි ඔබට එවැනි ඇගැයීම් නොලැබුණේ ඇයි?

එකම විනිශ්චය මණ්ඩලනේ හැම ඇගැයීම් කමිටුවලම ඉන්නේ. ඔවුන්ට අපේ නම් දැක්ක ගමන් අසනීපයක් හැදෙනවා. ඔවුන් අපව ගොඩ ගහලා තියෙන්නේ බයිස්කෝප් රංගන ශිල්පියෝ හැටියට. ඉතින් යම් ඇගැයීම් ලැබිය යුතු අවස්ථාවල පවා ඒවා මඟහැරුණා. එකම කණ්ඩායමක් ඇගැයීම් සම්බන්ධව විනිශ්චයට යෑමේ දී අසාධාරණයක් වෙනවා. නමුත් මට ඒ ගැන කනගාටුවක් නැහැ. රටේ ජනතාව අදටත් මාව පිළිගන්නවා , අගය කරනවා. ඒ නිසා පුංචි කමිටුවකින් දෙන ඇගැයීමක් නොලැබුණාට මට පසුතැවීමක් නැහැ. සමහරුන්ගේ මතයක් තිබෙනවා සම්මාන ලැබිය යුත්තේ කලාත්මක ධාරාවේ අයට කියලා. වාණිජ චිත්‍රපට සහ කලාත්මක චිත්‍රපට එක ගොන්නකට දාලා ඇගැයීම් කරන්න එපා කියලා අපත් නිතරම යෝජනා කළා. වාණිජ නිර්මාණවලටත් ඇගැයීමක් කළා නම් අද තරමක් පිරිහි තිබෙන වාණිජ සිනමාව ගොඩ ගන්න තිබුණා.

දේශපාලනය හා සිනමාව අතර ඔබ වඩාත් තෘප්තිමත් වෙන්නේ?

මම මේ කටයුතු දෙකේම නියැළිලා ඉන්නේ සතුටින්. නමුත් මම කැමැති සිනමා ජීවිතයට. එය හරිම සුන්දරයි සරලයි. දේශපාලනය මම දකින්නේ මට පැවැරුණු බොහොම බැරෑරුම් වගකිමක් ලෙසයි. මේ දෙකෙන්ම අවසානෙදි ජනතතාව සතුටු කරන්න, ජනතාවට සේවය කරන්න ලැබෙන ඉඩකඩ වැඩියි.

අනාගත සිනමාව වෙනුවෙන් ඔබට යමක් කරන්න ලැබුණොත් ?

අපට අහිමි වූ සිනමා ශාලා 200-300 වෙනුවට නව සිනමා ශාලා 200- 300 හැදෙන්න ඕනේ. එයට ආයෝජකයෝ සෙවීම අද අපහසුයි. රජයෙන් යම් සහන ණය ක්‍රමයක් හඳුන්වා දී වර්තමානයේ දියුණු වෙන නගර හඳුනාගෙන මේ සිනමා ශාලා සෑදිය යුතුයි. මොන තරම් යටිතල පහසුකම් හැදුවත් වැඩක් නැහැ ප්‍රේක්ෂකයෝ ශාලාවකට කැඳවා ගෙන එන්න බැරි නම්. නව සිනමා ශාලා 200 -300 හදන එකයි.



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »