මාධ්‍යවේදිනියක් වීම මගේ හීනයක් නව පරපුරේ නිළි - නුරානි තෙන්නකෝන්

Sep 09, 2019 11.12am
feature-top
ශ්‍රියන්ත සර් කියූ අනාවැකිය සැබෑ වුණා

මේ දිනවල ටෙලි නාට්‍ය 3ක් විකාශය වෙනවා

ඇය ගැන එක්තරා දිනයක ප්‍රවීණ රංගනවේදියකු යම් අනාවැකියක් පළ කරනවා. ඒ තමයි ඇගේ නම අනුව ඇය කවදාහරි ක්ෂේත්‍රයේ කැපීපෙනෙන කෙනෙක් වෙනවා කියලා. ඇත්තටම ඒ කියපු  අනාවැකිය අද වෙනකොට සැබෑවෙන සුබ පෙරනිමිති පහළ වෙලාදෝ කියලා අපට හිතෙනවා. මේ ඉන්නේ  ඒ සුබ පෙරනිමිති පසක් කරගනිමින් සිටින අද අපේ  කතා නායිකාව... නවක නිළි නුරානි තෙන්නකෝන්.

 ඒ කියූ අනාවැකිය මොකද්ද?

දවසක් රූගත කිරීමකට ඇවිත් හිටියා, ප්‍රවීණ රංග ශිල්පි ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා. මම 'නුරානි' කියලා කීවම ඔහු කීවා ඔයාට තියෙන්නේ ජනප්‍රිය ගණයේ නමක්. ඒ නිසා හොඳ නිර්මාණ තෝරා බේරාගෙන වැඩ කරන්න. මම මීට පෙර ‍අනාවැකි එකයි කියලා තිබුණේ. මේ දෙවැනි අනාවැකිය.පළමුවැනි අනාවැකිය හරියටම හරි ගියා. අපි බලමු දෙවැන්නත් හයිලයිට් වෙයිද කියලා කිවුවා.

මට නම් හිතෙනවා ඒ අනාවැකිය සැබෑවක් වෙලා කියලා?

මෙහෙමයි . මම තාම ක්ෂේත්‍රයට අලුත්. අපි දන්නවා ක්ෂේත්‍රයට පිවිසෙන නවකයින් ට ස්ථාවර වෙන්න යම් කාලයක් යනවා. ඒත් මම ක්ෂේත්‍රයට ඇවිත් බොහොම ටික කලෙකින් මට ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන් රැසක් එක්ක වැඩ කරන්නට ලැබෙනවා. දැවැන්ත සිනමා නිර්මාණ කරපු අධ්‍යක්ෂවරුන් යටතේ පවා ගුරුහරුකම් ලබන්නට පුළුවන් වුණා.එය මගේ වාසනාවක්.

නුරානි මේ දිනවල විවිධ චරිත කිහිපයකින්ම ප්‍රේක්ෂකයන් හමුවට එනවා දකිනවා?

හිරු නාළිකාවේ විකාශය වන 'හුස්මක් තරමට' ටෙලි නාට්‍යයේ 'අකිලා', ස්වර්ණවාහිනියේ විකාශය වන 'ක්වින්' ටෙලි නාට්‍යයේ සම ප්‍රධාන චරිතය වන 'හංසි'ලෙසටත්, සියත ටිවී 'ඉත්තො' ටෙලි නාට්‍යයේ 'ධරණි දුනුවිල' විදියටත් ආලින්දයට එනවා. සිරස නාළිකාවේ විකාශය වුණු 'ඔබ නිසා' ටෙලි නාට්‍යටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා.'තිළිණ ‍‍‍‍බොරලැස්ස'ගේ 'අවි කඳුළ' ටෙලිනාට්‍යයෙන් තමයි මම රංගනට එන්නෙ.

මේ චරිත අතරින් ඔබ වඩාත් ඇලුම් කළ චරිතය කුමක්ද?

මට ලැබුණු හැම චරිතයකටම මම මගේ උපරිම සාධාරණය ඉටු කළා. ඒත් 'ඉත්තො' නාට්‍යයේ 'ධරණි දුනුවිල'කියන චරිතයට මම ගොඩක් ඇලුම් කරනවා.

එයට හේතුව ?

'ධරණි' කියන්නේ ඇමැතිවරයකුගේ දියණියක වටා දිවෙන චරිතයක්.නමුත් ඇය පියාගේ දේශපාලනයට විරුද්ධයි.ඒ පිටපත කියවද්දී මට හිතුණා ඇත්තටම මේ ඉන්නේ නුරානිගේ චරිතයමද කියලා. ඒ තරමට 'ධරණිගේ' චරිතය මගේ සැබෑ චරිතයට සමානයි.

ඇත්තටම නුරානි කියන්නේ කොයි වගේ කෙනෙක්ද?

කෙටියෙන්ම කිවොත් දේශපාලනයට අකැමැති ඕනෑම ප්‍රශ්නයකට සතුටින් මූණදෙන නැව ගිලුණත් බෑන්ඩ්චූන් කෙනෙක්.

'ඔබ නිසා' හි ඔබේ චරිතයට ප්‍රේක්ෂකයන් සැබෑ ලෙසම රුවටුණා කියලා ආරංචි..

එහි මම පණ පෙවුවේ වෛද්‍යවරියකගේ චරිතයකට. එහි රූගත කිරීම් දවසක රෝහලට ආව කිහිපදෙනෙක් මම වෛද්‍යවරියක් කියලා හිතන් ලෙඩෙකුගේ ගැටලු මට කිවුවා. මම ඒ වෙලාවේ ඇත්තටම හිතුවේ අපේ සෙට් එකේ අය මාව බයිට් කරන්න හිතන් කරපු වැඩක් කියලා. ඒත් බැලුවම එහෙම දෙයක් නෙමෙයි වෙලා තිබුණේ. ඒ අය ඇත්තටම මම ඩොක්ටර් කියලා රැවටිලා.

රංගනයට ඒමට පෙර ඔබ මාධ්‍යවේදිනියක්?

තාත්තා ගුරුවරයෙක් නිසා මට පාසල් කිහිපයකට ම යන්න වුණා. අවසන් වරට අධ්‍යාපනය ලැබුවේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ.

පාසල් අවධියේ ඉඳලම මම මාධ්‍යය ක්ෂේත්‍රයට මුල් තැන දීලා තිබුණේ.නුරානි කියන්නේ රංගන ක්ෂේත්‍රයට එන්න හිටපු කෙනෙක් නෙමෙයි. o/L,A/L වගේම විශ්වවිද්‍යාලයේත් මම අධ්‍යන කටයුතු කරන්නෙ මීඩියා සයිඩ් එකෙන්. විශ්ව විද්‍යාලයේ මාධ්‍යය යටතේ වුණත් මම හදාරන්නේ සිනමා විශේෂවේදී උපාධියයි.

මේ නිසා මාධ්‍යය කියන දේ මගෙන් දැන් දැන් ගිලිහෙනවා දැයි හිතෙතනවා.

නැවත මාධ්‍යකරණයේ නියැළෙන්නට අදහසක් නැතිද?

දැනට රංගනයේ නියැලි සිටින නිසා ඒ සඳහා අනුගතවෙන්නට ටික කාලයක් යාවී. ඒත් අනිවාර්යයෙන්ම මම මගේ උපාධිය අවසන් වුණු ගමන් නැවත මාධ්‍යය වෘත්තියට එක් වේවි.

ඒ කියන්නේ නුරානි ඉදිරියේදී රංගනයෙන් ඈත් වේවිද?

නැහැ.මම මාධ්‍යට යොමු නොවුණහොත් ඉගෙනගත් දෙය අපතේ යාවී.

ඒ නිසා තමයි මම වෘත්තීය මාධ්‍යවේදිනියක් විදිහට වැඩ කරන්නට හිතන් ඉන්නෙ. ඒ අතරේ හොඳ නිර්මාණ ලැබුණොත් බාර ගන්නවා.

සිනමා නිර්මාණ සඳහා ඇරියුම් ලැබුණොත්?

දැනට මම සිනමා ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන උදයකාන්ත වර්ණසූරියගේ 'ප්‍රසිඩන් සුපර් ස්ටාර්' කියන සිනමා පටයේ පුංචි චරිතෙකට දායක වුණා.

ඒ මගේ පළමුවන සිනමා අත්දැකීම. තවත් චිත්‍රපටයක් සඳහා ඇරයුම් ලැබිලා තියෙනවා.මේ දෙසැම්බර් මාසයේ එහි රූගත කිරීම් පටන් ගන්නවා.

මේ ගමනට අතහිත දුන් පිරිස ගැන කියන්නට හොඳම වෙලාව?

මගේ අම්මයි, තාත්තයි තමයි මගේ ගමනේ සාර්ථකත්වයේ

ඇරඹුම. මගේ පාසලේ වගේම විශ්ව විද්‍යාලයේ සියලු දෙනාත්,තිළිණ බොරලැස්ස තමයි මම ක්ෂේත්‍රයට ගෙනාවේ.ඔහු ඇතුළු ක්ෂේත්‍රයේ අත හිතදුන් අධ්‍යක්ෂවරු ඇතුළු සියලු දෙනාම මේ මොහොතේ මතක් කරනවා.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »