මම කිසිම චරිතයකට බය වුණේ නැහැ

Aug 23, 2019 09.38am
feature-top
ජීවිතේ එක් වරක් පමණක් ලැබෙන ජනාධිපති ස්වර්ණසිංහ රන් සම්මානයෙන් පිදුම් ලැබූ  ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය

සිංහල සිනමාව තුළ තරු ගුණය සහ දක්ෂතාව එක ලෙස කැටිකොටගත් ප්‍රතිභාපූර්ණ, සම්මානනීය රංගධරයකු ලෙස රවීන්ද්‍ර රණ්දෙණිය හැඳින්විය හැකිය. දුහුළු මලක්, රජ වැඩකාරයෝ, දඩයම, සිරිපාල හා රන් මැණිකා, බවදුක, සිරි මැදුර එයට කෙටි උදාහරණ කිහිපයකි. පසුගියදා ඔහු කලාකරුවකු තම ජීවිතයේදී එක්වරක් පමණක් ලබන ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය. මේ සංවාදය ඒ වෙනුවෙනි.

 

පසුගියදා ලැබපු සම්මානය ගැන

පැහැදිලි කළොත්?

මට පසුගියදා ලැබුණේ කලාකරුවෙකුට ජීවිතේ එක් වරක් ලැබෙන ජනාධිපති ස්වර්ණසිංහ රන් සම්මානයයි. එය තමයි රටේ කලාකරුවකු ලබන ඉහළම ජාතික ගෞරව සම්මානය. එහෙම මට සම්මානයක් ලබන්න හේතු කාරණා තිබුණා. මට හැඟෙන ලෙස මම මෙතෙක් ආ ගමන් මගෙහි මුල සිටම එක චරිතයකට සීමා වුණේ නැහැ. පෙම්වතා වශ‍‍ෙයන් ජනප්‍රියම කාලයේ ප්‍රතිවීර චරිත රඟපෑවා. ඒවායේ අවසානය සුදු හුනු ගා ගැනීමකින් තොරව ඉතා සාහසික වුණා. දඩයම, මායා, ජනේලය වැනි චිත්‍රපට ඊට හොඳම උදාහරණ. ඒ වගේ චරිත භාරගන්න මම බය වුණේ නැහැ. ඒ වගේ චරිත රඟපෑමෙන් මාව තව තවත් ඉදිරියට ගියා. ආපසු හැරී බලන විට මා ආ ගමනෙහි විශේෂත්වයක් තිබුණු නිසා මේ සම්මානයෙන් පිදුම් ලබන්න සුදුස්සෙකු වෙන්න ඇති.

 

එහෙත් මේ සම්මානය ඔබට ලැබෙන්නේ

සිනමාවේ දැඩි අර්බුද තිබෙන කාලයකදීයි?

බොහෝ අය කියනවා මට මේ සම්මානය ලැබෙන්න තිබුණේ බොහෝ කලකට ඉහත දී කියලා. එදා සම්මාන උලෙළ දා ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවා දැඩිව කතා කළා සිනමාවේ මේ අර්බුදය ගැන. අද වන විට 300කට වඩා තිබුණු සිනමා ශාලා 190 ට බැහැලා. මේ අර්බුදය අද ඊයේ පටන් ගත් එකක් නෙමෙයි. අසූ තුනේ ජූලි කලබල කාලෙ සිනමා ශාලා ගිනිතබා පටන් ගත් විනාශය, දශක තුනක යුද්ධය සිනමා ශාලා කරා ප්‍රේක්ෂකයන් ඇෙදී ඒම වළක්වනු ලැබුවා. පසුගිය අප්‍රේල් පිපිරුණු බෝම්බයත් ඒ වගේමයි.

නමුත් මේ සියල්ල චිත්‍රපට බෙදාහැරීම නිසා ඇතිවුණු ප්‍රශ්නයක්ය කියන සුරංගනා කතාව සමහරු ගොඩනැඟුවා. නමුත් සියයට සීයක් එයනම් ප්‍රශ්නය එහෙම වුණේ කොහොමද? කොහොම නමුත් ඇත්තටම මේ ප්‍රශ්නය කඩිනමින් විසඳුවේ නැතිනම් තව බොහෝ කාලයක් දේශීය සිනමාව පවතින එකක් නම් නැහැ.

 

කලින් සඳහන් කළා මෙන් ඔබට විවිධ චරිත ලැබෙන්න විශේෂ හේතුවක් තිබුණා ද?

මට තරුණ කාලයේදීම ලයනල් වෙන්ට්ඩ් රංග ශිල්ප ශාලිකාවේ ධම්ම ජාගොඩ මහතා යටතේ ශිල්ප හදාරන විට, ඒ විෂයයෙහි විශිෂ්ටම ප්‍රවීණයන්ගෙන් ඉගෙනගන්න වාසනාව ලැබුණා. මා ඉගෙන ගත්තා රංගනය යනු එයින් තමාගේ ප්‍රතිරූප ගොඩනඟාගැනීම නොව, තමන්ට ලැබෙන චරිතය තේරුම් ගෙන යළි ප්‍රතිනිර්මාණය කිරීම වග. එයයි ජනතාව වැලඳගන්නේ. ඒ පුහුණුව මට රංගනයේ දී හොඳ අවියක් වුණා. ඒ තේරුම් ගැනීම තුළ මම කිසිම චරිතයකට බය වුණේ නැහැ. ඒ නිසා මට ලැබුණු හැම චරිතයක්ම හොඳ කියවා ගැනීමක් වගේම හොඳ නිරූපණයක් කළහැකි වුණා. ඒ නිසා මට විවිධ චරිත ලැබුණා.

 

ඔබ වගේම ගාමිණී, ටෝනි, විජය වැනි ප්‍රතිරූප අද බිහිවෙනවා අඩුයි.

එයට හේතුවක් තිබෙනවාද ?

ප්‍රතිරූප කියලා අපි දකින්නේ සිනමා තිරය ඔස්සේ පමණයි. එය රූපවාහිනියේ නැහැ. මාත් ඇතුළුව බොහෝ අය තුළ සිටින රංගන ශිල්පියා අයින් කළ විට ඔය ප්‍රතිරූපය නැහැ. ඒ තිරයේ චරිත තුළින් තමයි ප්‍රතිරූප මැවෙන්නේ. අන්න ඒ චරිත අද පරපුරට අඩුයි. අද දක්ෂයින් ඉන්නවා. නමුත් බොහෝ අය රගපාන්න එන්නේ ඒ තුළින් වෙනයම් වාසියක් ලබාගන්න මිසක් ආ කාර්යය කරන්න නෙමෙයි. ලංකාවේ විශිෂ්ට කලාකරුවන් බිහිවුණේ ඉතා අසීරු ගමනක් ඇවිත්. හොඳ නිර්මාණවල අඩුවත් අලූත් පරපුරට හොඳ යමක් කිරීමට ඉඩ අහුරලා.

 

ඔබ සිනමාව වගේම ටෙලි

නිර්මාණවලත් රංගනයෙන් දායක වුණා.

අද ඇයි පුංචි තිරයේ දකින්නට නැත්තේ?

මම පතිරාජයන්ගේ ඇල්ල ළඟ වලව්ව, සිඩ්නි චන්ද්‍රසේකර ගේ කුමාරයාණෙනි වගේ හොඳ ටෙලි නාට්‍යවල රඟපෑවා. ඒ නිර්මාණවලට සිනමා නිර්මාණයකට වන මහන්සිය වුණා. නමුත් දැන් හැදෙන ටෙලි නාට්‍යයකට ගෙවන අවම මුදලින් හොඳ ටෙලිනාට්‍යයක් තබා වෙසක් නාට්‍යයක්වත් හදන්න බැරි තරම්. එයින් එහි ප්‍රමිතිය කඩා වැටිලා. දවසකට කොටස් තුනක් පමණ අද කරන්න වෙලා. ඒක හැමෝටම ආතතියක්. ලබන තෘප්තියක් හෝ කිසිදු ප්‍රතිලාභයක් නැහැ. මම ඒකට කැමැති නැහැ. නමුත් හොඳ නිර්මාණයක් බිහිවෙනවා නම් මම අනිවාර්යයෙන් පුංචි තිරයට කැමැතියි.

 

බොහෝ කලාකරුවන්ගේ දරුවන් තම පියා හෝ මව ගිය අඩිපාරේම යනවා. නමුත් ඔබේ දරුවන් කිසිවෙක් ඒ මඟ තෝරා ගත්තේ නැහැ?

මගේ දරුවන් පොඩි කාලේ සිටම අධ්‍යාපනයට මුල් තැන දුන්නා. නමුත් මගේ දෙවෙනි පුතා සමීර සිනමා පටයකත් රඟපෑවා.එයා සිනමාව ගැනත් හොඳින් හැදෑරුවා. නමුත් කැමරාව ඉදිරියේ පෙනී ඉන්න එයා කැමැති වුණේ නැහැ. අනික හොඳ ව්‍යාපාරයක් තම දරුවට පවරා දෙනවා වගේ කලාව දරුවන්ට පවරලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. එය තමා තුළින්ම මතුව ආ යුත්තක්. සමහර විට මා රංගනය නිසා විඳින දුක් ගැහැට ඒ අය විඳින්න අකැමැති වෙන්නත් ඇති.

 

ඔබ ඇත්තටම හිතනවාද නළුවකු නොවී ව්‍යාපාරිකයෙක් වුණා නම් මීට හොඳයි කියලා?

මම කර කර සිටි ව්‍යාපාර අතහැර සිනමාව තෝරාගත් අයෙක්. අද මගේ සහෝදරයන් ව්‍යාපාර අංශයෙන් ඉතා ඉහළට ගිහින්. මටත් එහෙම වෙන්න තිබුණා. නමුත් එහෙම වුණා නම් විශාල ධනයකට හිමිකම් කිව්වත්, සිනමාවෙන් උපයාගත් දේ නම් මට ලබාගන්න බැරිවේවි.

 

ඔබ වැනි සම්මානනීය රංගධරයකු වෙන්න කැමැති නවකයෙකුට, ඔබට දිය හැකි

පණිවිඩයක් තිබෙනවාද?

කාටවත් කවදාවත් මා වෙන්න බැහැ. ඒත් මා අභිබවා යා හැකියි. රංගනය යනු චිත්‍රපටයක් අවසානයේ බලනවා වගේ සුන්දර සුවපහසු තැනක් නෙමෙයි. මම ළඟකදි රගපෑ ප්‍රසන්න විතානගේ ගේ ගාඩි කියන චිත්‍රපටයේ වේශ නිරූපණයට ඉතා වෙහෙසක් පීඩාවක් දරාගෙන හිටියා. තවමත් අපි චරිතයක් නිරූපණය කරන්නේ එහෙම කැපවීම් කරලා.

ඒ අපිට එදා සිටම අරමුණක් තිබුණු නිසයි. ඒ නිසා මෙහි ලැබෙන අතුරු පල ගැන සිතා හෝ අතරමඟ මංමුළාවෙන්න හෝ නොව, හරි ඉලක්කයක් ඇතිව, ගෞරවයෙන් කැපවීමෙන් යෙදිය හැකිනම් පමණක් මෙයට පා තබන්න කියලා තමයි මට ඒ අයට කියන්න තිබෙන්නේ.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »