මේ ගෙවිලා යන්නේ හත්වැනි මාසේ

Jul 29, 2019 09.27am
feature-top
මවු පදවියට සැරසෙන ජනප්‍රිය නිළි චතුරිකා පීරිස්

මම රඟපෑමෙන් අයින් වෙන්නෙ නෑ

ගයාන් කියන්නේ දෙන්නා බෙදාගෙන වැඩ කරමු කියලා

ආදරණීය වස්සානය, හිරිපොද වැස්ස, සේපාලිකා, වගේ තවත් සුන්දර නිර්මාණ රැසකින් අපේ ආලින්දයට ආපු අපූරු රංගන ශිල්පිනියක් තමයි චතුරිකා පීරිස් කියන්නේ. විටෙක ඇය වෙළෙඳ දැන්වීම් ඔස්සේ අපට සමීප වුණා. මේ විදියට ඉතා කෙටි කලකින් ප්‍රේක්ෂකයා අතරට ඇවිත් දීර්ඝ කාලයක් ප්‍රේක්ෂක සිත් ඇදබැඳ ගැනීමට සමත් වුණු චතුරිකා ගැන කොහොමද අපි ඔයාලට කියලා දෙන්නේ. සම්මානනීය රංගන ශිල්පිනියක් කියලා කියන්නද? එහෙමත් නැත්නම් ජනප්‍රිය නිළියක් කියලා කියන්නද? මේ මොන විදිහට කිව්වත් චතුරිකා චතුරිකාම තමයි. කොහොම වුණත් අලුතෙන් පවුලට එකතු වෙන්න ඉන්න අමුත්තත් එක්ක චතුරිකාගෙ ජීවිතය අලුත් වෙන්නයි යන්නෙ. අන්න ඒක නිසා පොඩ්ඩක් කියවලා බලන්නකෝ චතුරිකා මොනවද මේ කියන්නේ කියලා එයාගේ අලුත් ජීවිතේ ගැන.

කොහොමද චතුරිකා ඔයාගෙ ජීවිතේ?

ජීවිතේ හරිම හොඳයි. වරදක් නැහැ. මං හුඟාක් සතුටින් ඉන්නවා.

ඒ කියන්නේ අලුත් දේවල්වලින් හිත පිරිලා?

ඔව්. ඔව්. ඒක ඉතින් එහෙම වෙන්න ඕනැනේ.

එහෙනම් අලුත් දේවල් පොඩ්ඩක් අපි පැත්තකින් තියමුකෝ. මොනවද පහුගිය ටිකේ කරපු වැඩ?

මේ දවස්වල නං මම වැඩ නතර කරලා තියෙන්නේ. මීට ටික දවසකට ඉස්සෙල්ලා ටෙලිනාට්‍ය දෙකක් කළා. ඒවා දැන් භාර දීලා තියෙන්නේ. තාම විකාශය වුණෙත් නැහැ. කරන්න හිටියේ මේ අවුරුද්දෙම. ඒත් ඒක ලබන අවුරුද්දට කල් දැම්මා.

අපි එහෙනම් දැන් අලුත් දේවල් කතා කරමු. ඔයා දැන්

අම්මා කෙනෙක් වෙන්න යන්නෙ. මේ ගැන චිත්‍රපටයකුත් මොනවද ඔයාට රසිකයන්ට කියන්න තියෙන්නෙ?

මේ ගෙවිල යන්නේ මගේ හත්වැනි මාසේ. ගයානුත් මමත් හම්බවෙන්න ඉන්න දරුවා ගැන ලොකුවට බලාපොරොත්තු තියන් ඉන්නේ. අපිට ඕන කාටවත් කරදරයක් නොවී රට, ජාතිය, ආගම ගැන කතා කරන හොඳ දරුවෙක් බිහි කරන්නයි.

ගයාන් මොනවද හම්බවෙන්න ඉන්න දරුවා ගැන කියන්නේ?

අම්මෝ… එයා පුදුම සතුටකින් ඉන්නෙ. කොහේ හරි ගියත් ගෙදරට එනකොට මොනවා හරි දෙයක් අරන් එනවා දරුවා වෙනුවෙන්. දැන් මුළු ගෙදරම දරුවගේ දේවල්වලින් පිරිලා තියෙන්නෙ.

චතුරිකාගේ බලාපොරොත්තුව දුවෙක්ද? පුතෙක්ද?

ඇත්තටම මමත් ඉස්සර ඉඳලා බලාපොරොත්තුවෙන් හිටියෙ කවදා හරි දවසක මට දුවෙක් ලැබෙන්න ඕන කියලා. ඒත් පුතෙක් හම්බ වුණත් ඒ දරුවත් අපේමනේ.

ඔයාලට ලැබෙන දරුවා වෙනුවෙන් මොනවද ඉස්සරහට කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ?

ඒ දේවල් කොහොම වුණත් ගයාන් නම් දැන් දරුවාට නමක් පවා දාල ඉවරයි. එයා ගෙදර ඉන්න වෙලාවට දරුවත් එක්ක කතා කරන්නෙත් ඒ නමින්මයි .

ඒ කියන්නේ නමක් දැන් රෙජිස්ටර්?

ඔව් ඉතින් දැන් දරුවා දන්නෙත් ඒ නමින්ම කතා කළාමනේ. අනික ඒක ගයාන්ම හොයාගෙන දාපු නමනේ. දැන් ඉතින් නම දාන්න මොන අකුරු ආවත් වැඩක් නෑ. මේ නමම තමයි දාන්න වෙන්නේ අකුරු එහෙ මෙහෙ කරලා.

එහෙනම් කියන්නකො බලන්න බබාගේ නම?

ම්ම්ම්…ඔයා ඒක ගයාන්ගෙන්ම අහන්නකො. නමේ අයිතිකාරයා එයානේ

මේ හැමදේකින්ම පස්සෙ චතුරිකා කලාවෙන් ඈත් වෙන අදහසක් තියෙනවද?

අපෝ නෑ. මම අයින් වෙන්නෙ නෑ. ගයාන් ඒකට ඉඩ දෙන්නෙත් නෑ. එයා කියන්නේ දෙන්නා බෙදාගෙන වැඩ කරමු කියලා

එහෙනම් ඉස්සරහටත් චතුරිකාගේ රඟපෑම හැමෝටම බලන්න පුළුවන් වෙයි?

ඔව් චිත්‍රපටයක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක අධ්‍යක්ෂණය කරන්නේ ගයාන්. තවත් ටෙලිනාට්‍යකුත් කරන්න තියෙනවා.

අවසාන වශයෙන් මොකද කියන්න තියෙන්නේ?

ගයානුයි මමයි දෙන්නම මේ දවස්වල පුදුමාකාර සතුටකින් ඉන්නෙ. ඉතිං ඒ එක්කම අපේ වැඩ ටිකත් කරගෙන අපිට හම්බවෙන දරුවා සමාජයට යහපත් පුරවැසියෙක් කරන එක තමයි අපේ බලාපොරොත්තුව.



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »