හදවත රත්තරන් ජෝති... ඒ නම ඔහුට යසට ගැළ­ැපේවි

Jul 10, 2019 10.43am
feature-top
ආදර මධුර අතීතේ ජෝති 32 වැනි සැමරුම

ජෝති ගැන මතකය අවදිකරන රවීන්ද්‍ර සහ සුමනා
ජෝතිට සාධාරණයක් ඉටු කළා නම්, ඒ ඉටු කළේ හැමදාමත් මේ රටේ ජනතාව. ජෝති මිනිසුන් සමඟ අත්වැල්
බැඳගෙන, මහ පාරේ පදික වේදිකාවේ වුණත් වාඩි වෙලා මිනිසුන් ආශ්‍රය කරන්න තරම් ශක්තියක් තිබුණු එදත් අදත් ලංකාවේ ජනප්‍රියත්වයෙන් බින්දු මාත්‍රයක්වත් හීන නොවුණු කලාකරුවෙක්.

සුවහසක් රසික හදවත් අමන්දානන්දයට පත්කරමින් ඔහු ගැයූ ගී දශක තුනකට පසුද රාව ප්‍රතිරාව දෙමින් එදා මෙන්ම අදත් අප සනහන්නේය. හෙට දවසේද ඒ රසය එසේමය‍. ඔහු අපගෙන් සමු ගෙන අදට වසර 32ක් ගෙවුණද ලාංකේය සිනමාවේ ජෝතිපාල නම් වූ අසහාය ගායකයා පිළිබඳ නොමියෙන මතක බොහෝය.. මේ ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය මහතාගේ ජෝති පිළිබඳ වූ එවන් මතකාවර්ජනයකි.

ජෝතිගේ ගායනයේ තිබූ සුන්දරත්වය වගේමයි ඔහුගේ මනුෂ්‍යත්වයේ තිබූ සුන්දරත්වයත්.. මේ දෙකම එකම පුද්ගලයෙක් තුළ මෙතරම් ආදරණීය ලෙස ගොනු වෙලා තිබූ විදිහ මම දැකලා නැති තරම්.

සමහරවිට කලාව කෙරෙහි මාව යොමු කරන්න සාධකයක් වුණේ ජෝතිපාලගේ හඬට මා කුඩා කාලයේම බැඳුණු ආදරය වෙන්න ඇති. පළමු ගීතයෙන්ම ඔහු මුළු රටක්ම තමන්ගේ ග්‍රහණයට ගත්තා. එතැන් සිට අද දක්වා ඔහු මියගොස් වසර 32කට පසුවත්, ලංකාවේ ජනප්‍රියම , මිනිසුන්ගේ හදවතේ ආදරයෙන් ජීවත් වන ගායකයා යන කිරුළ ජෝතිගෙන් ඉවත් කරන්න කාටවත් පුළුවන් වෙලා නැහැ, පුළුවන් වෙන්නෙත් නැහැ. ඔහු ගායකයකු වශයෙන් ඒතරම්ම සාර්ථක වීම එයට ප්‍රධාන හේතුවයි.

නොයෙකුත් අඩුපාඩුකම් කියමින් ඔහුගේ ගී පදවල වැරැදි හොයාගෙන පොදු ජනයාට උගත්කමක් නැති, පහත් රසයක් සහිත ගී ගයනවා වගේ දහසක් චෝදනා, විවේචන ඉක්මවා අපහාසයට ලක් වූ ගායකයෙක් නැහැ. නමුත් ඔය ප්‍රබුද්ධ කියන පිරිස අවුරුදු 20, 30 ඒකරාශි වී මොන බලවේගයක් ගොඩනඟන්න හැදුවත් ජෝති කෙරෙහි මහජනතාවගේ තිබූ ආදරේට, ඔහුගේ ජනප්‍රියත්වයට අබමල් රේණුවක හානියක් කරන්න ඒ කාටවත් ඉඩක් ලැබුණේ නැහැ.

එතරම් විවේචන, ගැරැහුම් ලබද්දිත් මෙතරම් දීර්ඝ කාලීනව, මරණයට පෙර හා පසුවත් අදටත් ජනතාවගේ හදේ ජනප්‍රියම ගායකයා ජෝතිපාල වීම පුදුමයක්. ඉන්දියාවේ මොහොමඩ් රාෆි, මුකේෂ් වැනි අතිශයින්ම ජනප්‍රිය ගායකයින්, ලෝක සංගීතයේ එල්විස් ප්‍රෙස්ලි, ජිම් රීව්ස්, වැනි ගායකයින්ගේ අභාවයත් , නිර්මාණ කාර්යයේ අවසානයත් සමඟ ඔවුන්ගේ ජනප්‍රියත්වය නැවතුණා. නමුත් ජෝතිපාල වසර 32කට පසුවත් ලංකාවේ ජනප්‍රියම ගායකයා පමණක් නෙමෙයි. අදත් ලංකාවේ රියැලිටි වැඩසටහන් සහ අනෙක් සංගීත වැඩසටහන් අතර ජෝතිගේ ගීත නැති ප්‍රසංග නැති තරම්.

ජෝති මිනිසුන් සමඟ අත්වැල් බැඳගෙන, මහ පාරේ පදික වේදිකාවේ වුණත් වාඩි වෙලා මිනිසුන් ආශ්‍රය කරන්න තරම් ශක්තියක් තිබුණු එදත් අදත් ලංකාවේ ජනප්‍රියත්වයෙන් බින්දු මාත්‍රයක්වත් හීන නොවුණු කලාකරුවෙක්.

නූතන සිනමාවට ඒ හඩ අහිමි වීම...

ලාංකේය සිනමාවට ඔහුගේ දායකත්තවය කොතරම්ද කීවොත් අදත් ජනප්‍රියම සිනමා ගීත සීයයකින් ගීත අනූවකම හිමිකාරයා වෙන්නේ ජෝති. එවන් අසාහය දායකත්වයක් ලාංකේය සිනමාව වෙනුවෙන් ලබා දුන් ගායකයෙක් විදිහට මම ජෝතිව හඳුන්වන්න කැමැතියි. ලාංකේය සිනමාවේ නූතන පරම්පරාවටත් තේරෙනවා ඇති ඒ හඩ නැති වීම හරිම අඩුවක් බව. සමහරු කියනවා අපට ජෝති ගේ හඩින් චිත්‍රපටයක ගීතයක් ගයාගන්න නොලැබීම කොතරම් අභාග්‍යයක්ද කියලා.

ගාමිණි ෆොන්සේකා, විජය කුමාරතුංග, ටෝනි රණසිංහ වැනි ප්‍රවීණයන්ගේ ජනප්‍රියත්වයේ උපරිම කාලේ ඒ හැම දෙනාගෙම ගීතවලට ජෝතිපාලයන්ගේ හඩින් එක් කළ වටිනාකම, අනේ අපටත් තිබුණා නම් කියලා නව පරපුරට දැනෙනවා ඇති. නූතන සිනමාවට ඒ වාසනාව උදා කර ගන්න නොලැබීම අවාසනාවක්.

ජෝතිපාලයන්ට සාධාරණයක් ඉටු වුණාද...?

ජෝතිට සාධාරණයක් ඉටු කළා නම්, ඒ ඉටු කළේ හැමැදාමත් මේ රටේ ජනතාව. වසර 40කට ආසන්න කාලයක් ගී ගයලා ඔහු වෙනුවෙන් රාජ්‍ය මට්ටමින් මහ ලොකු ගෞරවනීයත්වයක් , පිළිගැනීමක් තිබුණේ නැහැ. ජෝතිට හොඳම ගායකයා ලෙස සම්මානය ලැබුණේ එකම එක අවස්ථාවයි. ඒ යුගයේ තමයි ජෝති විරෝධි ප්‍රබුද්ධ කල්ලිය ප්‍රහාර එල්ල කළේ. මොන හේතුවක් නිසා ඔහුට එතරම් මඩ ප්‍රහාර එල්ල කළාද කියන්න මම දන්නේ නැහැ. නමුත් ඒ නිසාම වෙන්නැති ඔහුට හිමි විය යුතු පිළිගැනීම, ගෞරවය නොලැබුණේ. එය සංවිධානාත්මකව සිදු වූ දෙයක් මිස ජෝතිගේ දක්ෂතාවේ අඩුවක් නොවෙයි. නමුත් මේ සියල්ලෙදී මා ජෝතිපාලයන්ගෙන් දුටු විශිෂ්ට ගුණයක් තිබෙනවා. ඒ, මේ කිසිම දෙයකින් කිසිම අවස්ථාවක නොසැලෙන්න ඔහුට තිබූ ශක්තිය. ඒ ශක්තිය ඔහුගේ කට හඩ. ඒ හඬ ගැන ඔහුට තිබූ ආත්ම විශ්වාසය. මේ සියල්ල තුළින් ඔහු දැනගෙන හිටියා මේ රටේ ජනතාව ඔවුන්ටත් වඩා තමාට ආදරය කරන වග. ඒ නිසා අන් අයගේ කෙනෙහිලිකම් ඔහුගේ සම මතුපිටටවත් දැනෙන්නේ නැතුව ඇති.

මිතුරකු ලෙස ජෝති පිළිබඳ මතකය...

ඔහු දැනන් හිටියා මම ඔහුව ඉතා ඉහළින් පිළිගත්, අගය කළ කෙනෙක් වග . එනිසාම හැම වෙලේම ඔහු මා සමඟ කටයුතු කළේ අතිශය සුහදව. මම විවාහ වෙලා මධුසමය ගත කළේ පොලොන්නරුවේ. මධු සමය නිමවී දෙවන ගමනට අපි එන්න හිටපු දවසේ මට අහම්බ‍ෙන් ජෝතිවත් හමුවෙනවා පොලොන්නරුවේදීම. එදා ඔහු මට කිව්වා රවි මල්ලි අද හැන්දෑවට මම ඔයාගේ ගෙදර එනවා සින්දු කියන්න කියලා.

ඒ කිව්වා වගේම පොලොන්නරුවේ ඉඳලා ඔහු මගේ ගෙදරට ආවා. අන්න ඒ වගේ තමන් ආදරය කරන තමන්ට ළෙන්ගතු අයට පුදුමාකාර විදිහේ ආදරය, ගෞරවය කළ යාළුකම වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න සූදානම්ව සිටි කෙනෙක්. එනිසා ම තමයි එච්. ආර්. කියන අකුරු දෙකට අපි හොඳ හොඳ නම් එකතු කරලා අදටත් කතා කරන්නේ‍.

මම අහලා තියෙනවා ජෝති ඔහුගේ අම්මට ආදරේ කළ හැටි... හැමදාම ඔහු උපයන මුදලින් ඒ කාලේ ගෙදර වෙනම තැනක අම්මට කියලා විශාල මුදලක් තැන්පත් කළා. ඔහු නැති වෙලාවක වුණත් අම්මට ඇවිත් අරන් යන්න පුළුවන් තැනක. අසරණ මනුස්සයෝ වෙනුවෙන් තමන්ගේ ඇඳි වත ද පරිත්‍යාග කළ පුද්ගලයකු බව මම දන්නවා. ජෝති එ් තරම් හිත හොඳ මනුස්සයෙක්.

ටානියා මෝසස්

ඔහුට තිබුණේ නොමියෙන හඬක්.. ජෝති ඉන් එහා ගිය සුන්දර මනුස්සයෙක්. ආදරණීය ජෝති, හැබැයි අපට ඔබ ගැන තියෙන්නේ ලොකු වේදනාවක්.. ඒ ජීවතුන් අතර සිටියදී කිසි දිනෙක නිසි ඇගැයීමක් වටිනාකමක් ඔබේ හඬින් කළ මෙහෙවරට නිසි ගරුත්වයක් නොලැබීම ඒ වේදනාවට හේතුවක්. ඒ අසාධාරණය වුණේ ඔබට විතරක් නොවෙයි ජෝති.. කලාකරුවෝ අගයන්න, හොයා බලන්න අද මේ රටේ වගකිව යුතු බොහෝ දෙනාට අමතක වෙලා. හැබැයි අපේ රටේ මිනිස්සු අදටත් ජෝතිට දක්වන ආදරය වෙනස් වෙලා නැහැ..මං හිතන්නේ ඒ ආදරය අමරණීයයි. කලාකරුවකුට ඒ ආදරයට ඇති ජීවත් වෙන්න.

ජෝති, රෝයි මම කුලුපඟ මිතුරන්.. අප දෙදෙනා ජෝතිට එතරම් සමීප වුණෙත් ඔහුගේ ඒ තිබුණු නිහතමානීකමට. මම මුලින්ම ගායිකාවක් වෙන්නේ රෝයි සමඟ ගීතයක් ගායනා කරමින්.. ඉන් පසු ගීතය මා ගායනා කළේ ජෝති සමඟ. ජෝතිගේ තිබුණු ඒ නිහතමානීකම, ආදරය, මිතුදම නිසාම රෝයි ජෝති වෙනුවෙන් සුමිතුරෝ චිත්‍රපටය කළා.

ආදරණීය මිතුර මට ඔබ ගැන තිබෙනවා හරිම සංවේදී මතකයක්...

යම්කිසි චරිතයක් දුන්නොත් ඒ ඕනම චරිතයක් ජෝති භාරගන්නේ හරිම ආදරයෙන් ගෞරවයෙන්. දවසක් ..රෝයි සහ මම ඉන්න තැනට ආපු ජෝති හරිම සංවේදීව මෙහෙම කිව්වා...අනේ බලන්නකො මචං මට තව ෆිල්ම් එකකට කතා කරා හැබැයි මා එක්ක රඟපාන්න කිසිම නිළියක් කැමැති නැහැ කියලා. මට මතකයි රෝයි කියනවා ඇයි මේ සුමනා ඉන්නේ. එයාව ගන්නකෝ කියලා. මමත් එදා ජෝතිට කිව්වා ජෝති කවුරු එක්ක නැති වුණත් මම ජෝති එක්ක රඟපානවා කියලා. අනේ ඒ වචන කියද්දිම ඔහුගේ ඇස්වලින් කඳුළු කඩා හැලෙන්න ගත්තා. අපේ අත් අල්ලගෙන කඳුළු හලාගෙන ජෝති ඒ වෙලේ හැසිරුණු විදිහ අදටත් මගේ හිතට හරිම සංවේදියි.

ඔහු මිනිසුන්ට ආදරය කළ පුද්ගලයෙක්. ඒ නිසයි අපිත් ඔහුට මෙතරම් ආදරය කරන්නේ.. ඉස්සර 'ජෝති රාත්‍රියක්' තිබුණොත් මමයි රෝයි අනිවාර්යයෙන්ම යනවා. දැන් මම තනියම වුණත් යන්නේ ජෝතිට ගෞරව කිරීමේ බලාපොරොත්තුවෙන්.

මම, ඔබේ මිතුරිය

සුමනා අමරසිංහ

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »