සිසිර නැති වෙලාවට ව්‍යාපාරය බලාගන්නෙ මම

Jul 05, 2019 09.26am
feature-top
ජනප්‍රිය රංගන ශිල්පිනී නයනි මහේෂිකා

මඟතොටේදී දකින අය කියනවා ඔයා එදා වගේමයි කියලා

අවුරුදු දහයකින් අලුත් නිර්මාණයකට දායක වුණේ නැහැ

කලාවේ රසමුසු තැන් සොයා යන ගමනේදි අපි මෙවරත් සුන්දර කැදැල්ලකට ගොඩවෙන්නයි මේ සූදානම. ඒ තමයි ජනප්‍රිය රංගන ශිල්පිනී නයනි මහේෂිකා සහ ජනප්‍රිය ඇඳුම් නිර්මාණ ශිල්පී සිසිර අමරබන්දු කැදැල්ල.

නිළියක, වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක ලෙසින් කලක් පුංචි තිරේ ජනප්‍රිය තාරකාවක වු නයනි මේ වන විට ව්‍යාපාරිකාවක ලෙසින්ද කටයුතු කරනවා. මේ වන විට කලාවෙන් තරමක් ඈත්ව සිටියත් හැමදාමත් කලාවට ළෙන්ගතු කලාකාරිනියක් ලෙසයි නයනිව අප හඳුනන්නේ. කොතරම් කාර්යබහුල වුවත් ඇගේ කැදැල්ලට ගොඩවැදුණු අප ළෙන්ගතුකමෙන් පිළිගත් ඇය කතාබහ කෙළේ මෙලෙසයි.

‘මේ තමයි අපේ පුංචි කැදැල්ල වගේම අපේ ව්‍යාපාරික ස්ථානය. මේ දෙකම එකම තැන තිබෙන නිසා රැකියාවත්, ගෙදර දොරේ වැඩත් අපහසුවකින් තොරව කරගෙන යන්න අපට පුළුවන්. අද අපිට වැඩ අඩු දවසක් නිසා ඔයාල ආපු එක හොඳයි‘

නයනි තම කැදැල්ලත්, ව්‍යාපාරයත් පෙන්වමින් සංවාදයකට සැරසෙන්නීය. සත් මහල, අඹු දරුවෝ , සහෝදරයා, දාමිනී ටෙලි වෘත්තාන්ත ඔස්සේ කලක් පුංචිතිරේ ජනප්‍රිය තාරකාවක වු ඇය වසර දහයක් තිස්සේ රංගනයෙන් ඈත්ව සිටින්නේ සිය දරුවන් රැක බලාගැනීමටත්, ව්‍යාපාර කටයුතු කරගෙන යෑමටත්ය.

‘ අලුත් පරම්පරාව සමහරවිට මගේ රංගනය දැකලා නැතිව ඇති. මම අවුරුදු දහයකින් අලුත් නිර්මාණයකට දායකවුණේ නැති නිසා. ඉදිරියේදි හොඳ නිර්මාණයක් ලැබුණොත් භාරගන්න අදහසෙන් තමයි ඉන්නේ. දැන් හැදෙන නිර්මාණ පිළිබඳව මගේ වැඩි කැමැත්තක් නෑ. අපිට නිර්මාණයක් කරල සතුටු වෙන්න බැරිනම් නිර්මාණවලට සම්බන්ධවෙලා වැඩක් නෑ. අද නිර්මාණකරුවන්ට දවසට මුදල් ගෙවන තරමට කලාව බං‍ෙකාලොත් වෙලා. හරියට ඔෆිස් එකක රැකියාවකට යනව වගේ. උදේ එක තැනක, හවස තව තැනක. ඔය වගේ හේතු නිසයි රංගනයෙන් ඈත්වුණේ‘

හිරු තනිවෙලා ටෙලි වෘත්තාන්තයේ සරංකාරි ය මට සිහිවෙයි. ඇයගේ සරොං විලාසිතාවත් සමග අපේ රසිකාවියන් ලුංජිය අදින්නට පෙළඹුණාය. ‘දාමිණී‘ හි ඩොක්ටර් අමාලි සමාජයේ කතාබහට ලක්වු චරිතයක් වුවාය. එවැනි චරිත ගණනාවකින් ජනප්‍රිය වු ඇය සිය ජනප්‍රියම කාලයේදි රංගනයට විරාමයක් දීම ගැන ඇගේ සිතේ පුංචි පසුතැවීමක් ද නැතුවාම නොවෙයි.

‘ මගේ මීට් බෝල් දැන්වීම, නොස්ටමෝල්ට් දැන්වීම තවමත් ප්‍රේක්ෂකයන්ට මතකයි. 1997 කලාවට සම්බන්ධ වෙලා 2009වන තුරු රඟපෑවා. 2009දි අපි නිෂ්පාදනය කළ ‘අරුන්ගල්‘ ටෙලිනාට්‍යයට සම්මාන කිහිපයක්ම ලැබුණා‘

‘ අප කතාබහ කරමින් සිටියදී නයනිට ඇමතුමකි. ඇය එකවරම පියගැටපෙළින් පහළට බැස ගියාය. නැවත සුළු වේලාවකින් අප අසළට පැමිණ අසුන් ගත් ඇය ‘ නිවෙසයි, රැකියාවයි දෙකම එකතැන තිබුණහම ඔහොම තමයි. දැනුත් ඔය කස්ටමර් කෙනෙක් ආවේ. සිසිර නැතිවෙලාවට සම්පූර්ණයෙන්ම ව්‍යාපාරය බලාගන්නෙ මම. අද එයා ඉතින් ඉන්න නිසා මම ටිකක් නිදහස්‘

අපි කතා කරමින් සිටියදී සිසිර සිය පුතුන් දෙදෙනා සමග පැමිණෙන්නේ ආඩම්භර කාර පියෙකු විලාසයෙනි. සැබවින්ම ආඩම්බරවිය හැකි පුතුන් දෙදෙනෙකි.

‘ ලොකු පුතා විහඟ ඉඳුවර. වැල්ලවත්ත සෙන් පීටර්ස් පාසලේ ඉගෙන ගන්නවා. මේ දවස්වල පුතා උසස් පෙළ කරන්න පටන්ගත්තා විතරයි. එයා හැමදාම කියන්නෙ ලොකු වුණහම ගුවන් හමුදාවට යනවා කියලා. පුතා සංගීතයටත් ළැදියි. පොඩි පුතා සන්දේශ් කාලිංග . සෙන් පීටර්ස් පාසලේ නවවැනි වසරේ ඉගෙනුම ලබනවා. එයානම් දවසක කලාවට එයි කියලා හිතනවා. දැනටමත් කලාව ගැන උනන්දුයි‘

සැබවින්ම ආදරණීය මවකගේ බලාපොරොත්තුව මෙය නොවේද? සාරි පින්තාරු ව්‍යාපාරයේ හිමිකරු සිසිරගෙන් ද යමක් ඇසිය යුතු වෙයි. ඔහු අතින් නිමැවෙන අලංකාර සාරි මනස්කාන්තය. ඔහු අතින් නිමැවෙන සාරි මිලදී ගන්නා වෙනමම පාරිභෝගිකයන් පිරිසක් ද සිටිති.

‘ අපි ලංකාවේ හෑන්ලූම් සාරිතමයි ගොඩක්ම පින්තාරු කිරීමට ගන්නේ. ඒවා ටිකක් මිලෙන් වැඩිවුණත් කලක් පාවිච්චි කළ හැකියි වගේම අලංකාරයි. පාට, රෙදි තේරීම කරන්නෙත් පින්තාරු ඩිසයින් කරන්නෙත් මගේ අතින්මයි. අපි ළඟ දහයක් විතර වැඩ කරනවා. ඔවුන්ගේ අදහස්වලටත් ඇහුම්කන් දෙනවා‘

මෙවැනි දේවල් කරද්දී නයනිට දරුවන්ගේ වැඩ කරන්න වෙලාවක් තියෙනවද?

පුරුද්දක් විදිහට අපි උදෑසන පහට අවදිවෙනවා. ඉන්පසු පුතාලට පාසල් ගෙනියන්න කෙටි කෑමක් හදලා ඒ අය සූදානම්කර පාසල් පිටත්කරනවා. ඉන් පසුව ගේ දොර පිරිසුදුකර උදෑසන අටට විතර පහළ තට්ටුවේ තිබෙන කාර්යාලයට යනවා. සවස පහ වෙනතුරු කාර්යාලයේ වැඩකර නැවත ගෙදර වැඩ පටන් ගන්නවා. කාර්යාලයේ වැඩකරන අතරවාරයෙත් වරින්වර දරුවන්ගෙ වැඩත් සොයා බලනවා‘

නයනි තවමත් එදා මෙන්ම සුන්දරය. ලස්සනය. ලොකු පුතුන් දෙදෙනකුගේ මවක් යැයි කිසිවිටක නොසිතෙයි.

‘ගොඩක් අය මගතොටේදි දැක්කම කියනවා , ඔයා එදා වගේමයි. පොඩ්ඩක්වත් වෙනස්වෙලා නෑ කියල. කොහොමද රූපය ඔයවිදිහට තියා ගන්නේ කියලා අහනවා. මට ඉතින් කියන්න තියෙන්නේ මම ලස්සන වෙන්න සැලෝන් යන්නෙ නෑ. කෘතිම දේවල් කරන්නෙත් නෑ. ගෙදරදි කඩල පිටි ටිකක් අඹරාගෙන ක්‍රිම් එකක් සේ සාදාගෙන එයට දෙහි බින්දු කිහිපයක් හෝ යෝගට් දමා මුහුණේ ගා පැයක් හෝ දෙකක් තබා සෝදා දමනවා. එවිට මුහුණේ මැරුණු සම ඉවත්වී පැහැපත් වෙනවා. ඒ වගේ පුංචි දේවල් අපිට ගෙදරදී කරගන්න පුළුවන්. ශරීරයේ බර වුණත් අපිට පුළුවන් පාලනය කරගන්නට. අපේ ගෙදර කට්ටියම බෙල්ලන්විල පාක් එකට සතියකට දවසක් ව්‍යායාම කරන්න යනවා.

විලාසිතා වුණත් එහෙමයි. හැම විලාසිතාවක්ම කරන්නෙ නෑ. තමන්ට ගැලපෙන විලාසිතා පමණයි තෝරා ගන්නෙ. මම කොහොමත් ආභරණවලටත් කැමැති නැති නිසා අඩුම තරමින් කරාබුවක්වත් පලඳින්න කැමැති නෑ. අපි අපේ ජීවිත සැහැල්ලු කරගත්තම ජීවත් වෙන්න පහසුයි.

‘ඔවුන් කොතරම් කාර්ය බහුල වුවත් ජීවිතයට වෙනස් අත්දැකීම් ලබන්නත්, ඒවා විඳින්නත් කැමැතිය. ‘මමත් , සිසිරත්, පුතුන් දෙදෙනාත් හැම මාසෙකම නුවර යනවා. සිසිරගේ ගම් පළාත නුවරනේ. එහේ අපට කුඹුරු තිබෙනවා. ඒවා අස්වද්දන්නත්, අස්වනු නෙලන්නත් අපි අනිවාර්යයෙන්ම නුවර යනවා.

අපි හැම වෙලේම උත්සාහ කරනවා පුළුවන් තරම් ස්වභාවික දේ ආහාරයට ගන්න. ගමේ දේවල් තමයි ගොඩක්ම කොළඹ හිටියට ආහාරයට ගන්නෙ. එහෙම නැතුව කෘත්‍රිම දේවල් ආහාරයට ගත්තොත් අපි ඉක්මනටම ලෙඩ වෙනවා‘

නයනි සමග තවත් බොහෝ දේ කතාබහ කිරීමට සිතෙයි. එහෙත් අපට සමු ගැනීමට කාලය පැමිණ තිබේ.

දැන් පුතාල දෙන්න ලොකුයි. එයාලට එයාලගෙ වැඩ කරගන්න පුළුවන්. ඒ නිසා හොඳ නිර්මාණයක් ලැබුණොත් රඟපානවා. මටත් ආසයි හොඳ නිර්මාණයකට දායක වෙන්න.

එය නයනිට ආදරය කරන රසික රසිකාවියන්ට සුබ ආරංචියකි. ඒ සුබ ආරංචියත් සිහි තබා ගෙනම තවත් දවසක පැමිණෙන බලාපොරොත්තුවෙන් නයනි- සිසිර කැදැල්ලෙන් අපි සමු ගතිමු.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »