බොහෝ දෙන­කුට අම­තක වුණු කෝපි කඩේ සොමි­නෝනා කිසිම කලා­ක­රු­වකු දුර­ක­ත­න­යෙ­න්වත් අම්මාගේ දුක සැප අහන්නෙ නෑ

Jun 06, 2019 10.01am
feature-top
අම්මාට දැන් අවුරුදු අසූ තුනක් අම්මා ගුවන් විදුලියට ගිහින් තියෙන්නෙ වයස අවුරුදු නවයෙදි
- චිත්‍රා වාකිෂ්ටගේ පුත් ශම්මි වාකිෂ්ට

සොමි නෝනාට අසනීපයි. කවුරුන් හෝ පත්තර කන්තෝරුවේ කතාවනවා මට ඇසුණි. මේ සොමි නෝනා කවුරුද? ඇය සැබැවින්ම මේ රටේ සිටින ප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ටයි. අප කවුරුත් දන්නා පරිදි ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍යය වන ‘කෝපි කඩේ‘ සොමි නෝනා චරිතය වසර ගණනාවක් තිස්සේ නිරූපණය කිරීමෙන් පසු චිත්‍රා වාකිෂ්ට ලොකු කුඩා කා අතරත් ආදරණීය සොමි නෝනා ලෙසින් ජනප්‍රිය විය.

කෝපි කඩේ කතාව තවමත් විකාශය වන නමුත් සොමි නෝනා එහි දක්නට නැත. දිගු කාලයකින් වෙනත් නිර්මාණයකින්ද ඇය දකින්නට ලැබුණේ නැත. ඇය රඟපෑමෙන් ඉවත් වෙලාද? ඇත්තටම සොමි නෝනාට අසනීපද? මේ පිළිබඳව සොයා බැලිය යුතුය.

ඇයගේ දුරකථනයට ඇමතුවේ ඒ නිසාය. දුරකතනය නාද වූ විට එහා පසින් ඇසුණේ පිරිමි කටහඬකි. ඒ ඇයගේ දෙටු පුතණුවන් වන ශම්මි වාකිෂ්ට යි. ‘‘අම්මාට අසනීපයි. සිහි කල්පනාවත් අඩුයි. බොන ජාති විතරයි. ඔහුගේ පිළිතුර විය.

අපි ඇය බැහැ දැකීමට බොරැල්ල සහස්පුර බලා පිටත් වුණෙමු. සිතාගත නොහැකිය. මේ දශක ගණනක් අප අමන්දානන්දයට පත්කළ රංගන ශිල්පිනියමද? ඇයගේ රූපකාය හාත් පසින්ම වෙනස්ය. උඩුකුරුව සයනයක් මත වැතිර සිටින ඇය කවුරුත් නොහඳුනයි. පත්තරෙන් පැමිණ ඇති බව පුතු පැවසූ පසු ඇය දෙනෙත් අප දෙසට යොමු කළාය.

ගොත ගහන ස්වරයෙන් ඇය යමක් තොල් මැතිරුවද එය හරිහැටි ඇසුණේ නැත. ඇය අපහසුවෙන් ඇඳේ අනෙක් පසට හැරෙන්නට උත්සාහ කළාය. පුතු ළඟට වී ඇයට උවටැන් කරයි.

දශක හයකට වැඩි කාලයක් ගුවන් විදුලිය, වේදිකාව, පුංචි තිරය, රිදී තිරය ඔස්සේ හරඹ කළ චිත්‍රා වාකිෂ්ට ශ්‍රාවක, ප්‍රේක්ෂක මතකයෙන් කිසිදා ඉවත් නොවන චරිත ගණනාවක් නිරූපණය කළාය. එහෙත් ඇය බොහෝ පිරිසක් හඳුනන්නේ කෝපි කඩේ සොමි නෝනා ලෙසයි. එයට හේතුව ඇය කෝපි කඩේ වසර විසි හයක් පුරා අඛණ්ඩව සොමිනෝනා චරිතයට පණ දුන් බැවිනි.

1945දී ළමා පිටියේ ළමා ගායිකාවක ලෙස ගුවන් විදුලියට සම්බන්ධ වී ඉන් පසුව ගුවන් විදුලි රඟ මඬලේ නාට්‍ය සඳහා සම්බන්ධ වුවාය. ඉන් පසුව වේදිකාවට ගොඩ වැදෙන්නේ 1953 දී ඒ. එම්. එල්. සොයිසාගේ ‘බහිරවයා‘ නාට්‍යයෙනි. එදා සිට රෝගී වන තුරුම වේදිකා නාට්‍ය හැටකට වැඩි සංඛ්‍යාවක ඇය විවිධ චරිත රඟ දක්වා තිබේ.

එළිමහන් රංග පීඨයක පැවැත්වු පළමු කාලගෝල නාඩගමේ දික්තලාට පණ දුන්නේද ඇයයි. වේදිකාවෙන් පසුව රිදී තිරයටත්, පුංචි තිරයටත් ගොඩවැදුණු ඇයගේ පළමු සිනමා පටය වන්නේ සිරිසේන විමලවීරගේ ‘පොඩි පුතා‘ චිත්‍රපටයයි.

එතැන් පටන් සිනමා පට අසූවකට පමණ රංගන දායකත්වය දුන්නාය. ඒ අතරින් ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගොළු හදවත, ගැහැනු ළමයි, යුගාන්තය සිනමා පට වෙනුවෙන් කළ රංගනයන් විශිෂ්ටය. ඒ නිසාම ඇයට ‘ගැහැනු ළමයි‘ සිනමා පටයේ රංගනය වෙනුවෙන් දක්ෂතම සහාය නිළිය සම්මානයද හිමි වුවාය.

‘‘මගේ අම්මා ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක්, ගුවන් විදුලි ගායිකාවක්, විරිඳු A ශ්‍රේණියේ ගායිකාවක්, නූර්ති, නාඩගම් ගායිකාවක්, රූපවාහිනී, සිනමා, වේදිකා රංගන ශිල්පිනියක් වුවත් අද ඇයට මොනවා වෙලාද කියලවත් බලන්න කිසිවකු නැහැ. ඇය මෙරට පළමු ප්‍රාසාංගික ටෙලිනාට්‍යය වන ‘දිමුතු මුතු‘ හි රඟපෑ රංගන ශිල්පිනියක්.

වසර හැටකට වැඩි කාලයක් කලාව වෙනුවෙන් ජීවිතය කැප කළ රංගන ශිල්පිනියක්. අපිව හැදුවේ අපේ පුංචි අම්මලා. අම්ම කළේ කලාව වෙනුවෙන් ජීවිතය කැප කළ එක. එහෙත් අද ඉන්න අසරණ තත්ත්වය පේනව නේද? කිසිම කලාකරුවකු ඇයට කොහොමද කියලවත් දුරකතන ඇමතුමක්වත් දීල අහන්නෙ නෑ. අම්මා මේ තත්ත්වයට මෙතරම් ඉක්මනට පත්වෙන්න හේතුවත් ඒකයි. බොහොම හිතේ අමාරුවෙන් තමයි හිටියේ.‘‘ ඇයගේ වැඩිමහල් පුතු අප සමග හැඬු කඳුළෙන් පවසයි.

එදා නිතරම පිරී ඉතිරී ගිය සිනාවකින් යුතුව සිටි ඇය අද හඳුනාගත නොහැකි තරමට වැහැරී ගොසිනි. ඉදින් ඇගේ රුව කෙසේ නම් පෙන්වන්නද? ගයාන් ඡායාරූපයක් ගත නොහැකිව චිත්‍රාගේ අතීත මතකයන් එක්වූ ඡායාරූප කිහිපයක් කැමරාවට හසුකර ගනියි.

ඒ අතර 1979දි ජනාධිපති සම්මාන උලෙළේ දක්ෂතම සහාය නිළිය, ඕ. සී. අයි. සී උණ්ඩා සම්මානය, කලා භූෂණ සම්මානයයද වෙයි. එහෙත් ඇය අද අසරණව මෙලෙස වැතිර සිටින්නේ ලොව සනාතන දහමට අනුවය. වතුර පොදක් ඉල්ලන්නේද අතින් පෙන්වමිනි.

‘‘අම්මාට දැන් අවුරුදු අසූ තුනක්. අම්මා ගුවන් විදුලියට ගිහින් තියෙන්නෙ වයස අවුරුදු නවයෙදි. අම්මගෙ බාප්පා කෙනෙක් ගුවන් විදුලියෙ ළමා පිටියට තමයි අම්මව පරීක්ෂණයකට ගෙන ගොස් තිබෙන්නෙ. එම පරීක්ෂණයෙන් සමත්වුණාම 1945 සිට ඇයගේ ජීවිතය වුණේ කලාවයි. ඇය කවදාවත් මුදල් බලාපොරොත්තුවෙන් කලාව කළේ නෑ.

එහෙම කළා නම් මේ වගේ තැනක ඉන්නෙ නෑ. අපි කාලයක්ම කුලී නිවෙසක ජීවත්වුණේ. ඉන් පසුව තමයි මේ නිවෙස ලැබුණෙ. ඒකත් ස්ථිරව ලැබිල නැහැ.

අම්මා නැති කාලයක අපිට මෙහෙන් යන්න වෙයි. එදාට අපි මොකද කරන්නෙ? පේනව නේද මේ රටේ කලා කරුවන්ට සලකන හැටි. මම රැකියාව කළේ කොළඹ මහ රෝහලේ. රැකියාවෙනුත් අයින් වුණා අම්මව බලාගන්න කෙනෙක් නැති නිසා.

අපේ පවුලෙ පිරිමි හතරයි එක ගැහැනු ළමයයි. අපේ තාත්තා ලොයිඩ් වාකිෂ්ට. ඔහුත් මියයන තුරුම කලාව වෙනුවෙන් ජීවිතය කැප කළා.

අම්මට මැරුණත් කවදාවත් සැනසුමක් ලැබෙන එකක් නෑ අපේ නංගිව නිතරම ඇයට සිහියෙ තිබෙන නිසා. නංගි ආබාධිතයි. ඇවිදින්න බැහැ. ඇය බොරැල්ල වික්ටෝරියා නිවාසයේ නතර කරලා තිබෙන්නෙ.

අම්මා පසුගිය කාලයේ අසිහියෙන් වගේ දවස් දෙක තුනක්ම නංගිව බලන්න ත්‍රිරෝද රථවල නැගලා වෙනත් තැන්වල ගිහින්. පස්සෙ ඒ අය මට කතාකර පණිවිඩ එවනවා.

එහෙම දාට ත්‍රීරෝද රථවලට ලොකු ගණන් ගෙවන්න වෙනවා. ඔය නිසාම තමයි මම රස්සාවෙන් අයින් වුණේ.‘‘ ඔහු කියාගෙන යයි. ඔහු සැබෑ මාතෘ සෙනෙහසකින් යුතුව මව රැක බලා ගනියි.

මව නහවා පිරිසුදු කොට කවා පොවා සියලු සාත්තු සප්පායම් කරයි. එහෙත් ඔහුගේ ඇත්තේ කලකිරීමකි. ඒ දශක හතක් පුරා කලාව වෙනුවෙන් තම ජීවිතය දියකළ සිය මවගේ හැකියාවෙන් ප්‍රයෝජන ගත් කිසිදු කලා කරුවකු කලා කාරියකු ඇගේ දුක සැප බලන්නට නොපැමිණීම නිසාය.

සැබැවින්ම මෙවැනි කලාකරුවන් කලාවෙන් හරි හම්බ කරගත් දෙයක් නැත.

දීර්ඝ කාලයක් පුරා පුංචි තිරයෙන් විකාශය වන කෝපි කඩේ ටෙලි නාට්‍යයේ සොමි නෝනා වූත්, ගුවන් විදුලියේ විකාශය වු විනෝද සමයේ මුල්ම ඇලන් නෝනා වුත් චිත්‍රා වාකිෂ්ට නැමැති ප්‍රවීණ රංගන ශිල්පිනියට දීර්ඝායු පතමු.
 

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »