දිවි රඟ මඬ­ලෙන් බැස ගිය සොඳුරු රංගන ශිල්පියා ගාමිණී හෙට්ටි­ආ­ර­චිචි

Jun 05, 2019 09.21am
feature-top
ඔහු වේදිකාවෙන් ආරම්භ කර පසුව රිදී තිරයත්, පුංචි තිරයත් තම හැකියාවෙන් ඔපවත් කළ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකි. එසේම මාධ්‍යවේදීන් සමඟ ඉතා සුහදව කටයුතු කළ නිහතමානී සොඳුරු මිනිසෙකි. හැකියාවෙන් පිරිපුන් මේ සොඳුරු රංගන වේදයා, මාධ්‍ය සුමිතුරා පසුගියදා ජීවිත රඟමඬලෙන් සමුගත්තේය. අවසන් කටයුතු පසුගිය බ්‍රහස්පතින්දා සවස නාවල සුසාන භූමියේදී කලාකරුවන් රැසකගේ සෝ සුසුම් මධ්‍යයේ සිදුවිණි. මේ සටහන තැබෙන්නේ ගාමිණී හෙට්ටිආරච්චි නම් සොඳුරු රංගන වේදියාට උපහාර පිණිසය.

රාජගිරියේ නාවල පදිංචි ස්ටැන්ලි අලස් හෙට්ටිආරච්චි සහ සෝමා හෙට්ටිආරච්චි මවුපියන්ට දාව පවුලේ හයවැනි පුතා හැටියට උපන් ගාමිණි චන්ද්‍රකීර්ති හෙට්ටිආරච්චිට ආදරය සෙනෙහස නොඅඩුව තිබිණි. වැඩිමහලු සොහොයුරියන් තිදෙනකු සහ සොහොයුරන් දෙදෙනකු මෙන්ම බාල සොහොයුරියක සහ සොහොයුරන් දෙදෙනකු සමඟ සුන්දර, කෙළිදෙලෙන් පිරුණු ළමා කාලයක් ගතකළේය.

නාට්‍ය නැරඹීමට ආසාවක් දැක්වූ සිය ලොකු අක්කාගේ තනි නොතනියට ගිය ගාමිණි පසුව වේදිකා නාට්‍ය නැරඹීමට හුරුවිය. එසේම දෙවැනි අක්කාට තිබුණු චිත්‍රපට පිස්සුව නිසා ඇගේ තනියට සිනමා ශාලාවලට ගිය ගාමිණී මුලින්ම ඒවාට අකැමැති වුවත් පසුකාලීනව චිත්‍රපට නැරඹිටද යොමුවීම කලාවේ ඉදිරි ගමනට මඟ පෑදීය.

ගාමිණීගේ පියා විනෝදයට බර සංගීතය ප්‍රිය කළ පුද්ගලයෙක් නිසා කුඩා කාලයේ සිටම ඔහුට ගායනය, රංගනය වැනි දේවල රසය විඳීමට අවස්ථාව උදාවී තිබුණේය.

ඔහු අකුරු කළේ කොළඹ නාලන්දා විද්‍යාලයෙනි. සාමාන්‍ය පෙළ අධ්‍යාපනය හදාරද්දී විදුහලේ නාට්‍ය හා රංගකලා ගුරුතුමිය වූ සෝමලතා සුභසිංහ මහත්මියගේ මඟ පෙන්වීමෙන් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ රත්තරන් සහ එලොව ගිහින් මෙලොව ආවා යන නාට්‍ය නව නිෂ්පාදනයක් ලෙස පාසල් ළමයින් වෙනුවෙන් නිර්මාණය කිරීමට ගාමිණී ඇතුළු සිසු පිරිසක් කටයුතු කළෝය.

එය ගාමිණී හෙට්ටිආරච්චි සිසුවා තුළ සිටි රංගන ශිල්පියාට එළියට පැමිණිමට මඟ විවර කළේය. එම නාට්‍යය නැරඹීමට පැමිණ සිටි සරත්චන්ද්‍රයන්, ධම්ම ජාගොඩ, නාමෙල් වීරමුණි මහත්වරු ගාමිණීගේ රංගන ප්‍රතිභාව දැක ඔවුන්ගේ මීළඟ නිර්මාණවල රඟපෑමට ආරාධනා කළහ.

ධම්ම ජාගොඩයන්ගේ ‘වෙස්මුහුණු‘ වේදිකා නාට්‍යයෙන් ගාමිණී ප්‍රසිද්ධ වේදිකාවට හඳුන්වා දුන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. එසේ ඇරැඹි වේදිකා නාට්‍ය රංග චාරිකාවේ ඔහු රඟපා ඇති නාට්‍ය ගණන සියයකට අධිකය. ඒ අතරින් සෙක්කුව, මීපුර වැසියෝ, හිට්ලර්, අවන්හල, දෙව්ලොව දෝණී සහ වෙඩික්කාරයා යන වේදිකා නාට්‍ය වල ගාමිණී ඉදිරිපත් කළ චරිත ප්‍රේක්ෂක සිත් තුළ සදා මතකයේ රැඳී තිබේ.

එසේ වේදිකාවෙන් ඇරැඹි රංගන චාරිකාවේ ඔහු සිනමාවේද විශිෂ්ට රංගධරයකු බවට පත්කළේය. 1992 දී බජාර් එකේ චණ්ඩියා චිත්‍රපටයේ රඟපාමින් චිත්‍රපට රංගන ක්ෂේත්‍රයට පිවිසි ඔහු අයෝමා, අස්වැසුම, බහුභූතයෝ, විදූ, සිංහාවලෝකනය, සුපර් සික්ස්, කොස්තාපල් පුඤ්ඤසෝම සහ ගින්දරී ඇතුළු චිත්‍රපට රැසකට සිය දායකත්වය දුන්නේය. ගාමිණී රංගන ශිල්පියකු ලෙස වඩාත් ජනප්‍රියත්වයට පත්වූයේ පුංචි තිරයේ රංගනයට එක්වූ පසුවය.

දඩබිම, මැද ගෙදර, දාදු කැටේ, පැහැසරා, මලී, මිල්ලෑව වළව්ව, සිඳූ ඇතුළු ටෙලි නාට්‍ය ගණනාවක විවිධ චරිත නිරූපණය කළ ගාමිණීට දඩබිමේ ‘මයිකල්‘ චරිතයට 1991 වසරේ හොඳම නළුවාට හිමි සම්මානය පිරිනැමිණි.

ලයනල් වෙන්ඩ්ට් ශිල්ප ශාලිකාවේ දී මුණ ගැසුණු සුභාෂිණී යුවතිය සමඟ පෙමින් බැඳුණු ගාමිණී දෙමාපිය ආශීර්වාදය මැද 1983 දී ඇගේ අත ගත්තේය. නාට්‍ය හා රංගකලා ගුරුවරියක වූ ඇය ගාමිණීගේ රංගන ජීවිතයට යෝධ ශක්තියක් විය.

මොවුන් දෙදෙනාට දරුවන් දෙදෙනෙකි. පුතා ශක්ති පියාගේ අඩිපාරේ ගොස් රංගන ශිල්පියකු නොවූවද සංගීතය අංගයයෙන් ඉදිරියට ගොස් ඩී. ජේ. ශිල්පියකු ලෙස කටයුතු කරන අතර දියණිය ප්‍රතිභා හෙට්ටිආරච්චි මේ වනවිට ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පිනියකි. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණ නිලධාරියකු ලෙස රැකියාව කර විශ්‍රාම ගොස් සිටි ගාමිණී රැකියාවත් රංගන ජීවිතයත් සමබරව ගෙන ගිය කලාකරුවෙකි.

පියාගේ වියෝවින් කම්පනයට පත්ව සිටින ප්‍රතිභා දුක්බර මොහොතක වුවද සිය පියාගේ අභාවය පිළිබඳව රසඳුනට මෙසේ අදහස් දැක්වූවාය.

‘‘මගේ තාත්තා හොඳ තාත්තා කෙනෙක්. එයා පළමු තැන දුන්නේ පවුලට. මොන වැඩක් කළත් ඒක පිළිවෙළට කරපු, වෙලාවට වැඩ කරපු කෙනෙක්. කලාවේත් එහෙමයි. චරිතවත් නළුවෙක්. කවුරුත් එයාට මුකුත් නරකක් කියන්නේ නැහැ. ඒ වගේම කතන්දර මුකුත් හදාගෙන නැහැ. මට ඒක හරි ගෞරවයක්. මම හරි ආඩම්බරයෙන් කියන්නේ, මගේ තාත්තා හොඳ චරිතවත් කෙනෙක්. ඒ වගේම දරුවන් වෙනුවෙන්, පවුල වෙනුවෙන් හැම යුතුකමක්ම කරපු තාත්තා කෙනෙක්. එයාට ඒ පිළිබඳව කිසිම පසුතැවීමක් නැහැ.

අපට ඉදිරියට ඔහු නැති පාඩුව, පාළුව තදින්ම දැනේවි. ඉදිරියට වැඩ ගොඩක් කරන්න සැලසුම් කරගෙන හිටියෙ. ළඟදීම චිත්‍රපටයක රඟපාන්න බාර අරගෙන තිබුණා. ටෙලි නාට්‍යවලට දින දීලා තිබුණා. ඒ අතරේ තමයි තාත්තා අපි තනිකරලා ගියේ. කියන්න ලොකු අසනීපයක් තිබුණේ නැහැ. තාත්තාට කෑම කන්න අපහසු කමක් තිබුණා. ඒකට මිට කලින් රෝහලේ නැවතිලා ප්‍රතිකාර ගත්තා. ඒත් ඒ තත්ත්වය හොඳටම හොඳ සුව වුණේ නැති නිසා තාත්තාට අක්මාවේ බයොප්සි එකක් කරන්න තමයි රෝහලට ඇතුළත් කළේ. රෝහලේදී තමයි නැතිවුණේ.‘‘

සැබැවින්ම හොඳ සැමියකු, හොඳ පියකු මෙන්ම හොඳ මිනිසකු වූ මේ සොඳුරු කලාකරුවාට අපි නිවන් සුව පතමු!


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »