කලා­ක­රු­වන් අග­ර­ද­ගු­ රු­තු­මන් බැහැ දුටු දා...

May 23, 2019 10.02am
feature-top
මෑත ඉතිහාසයේ සිදු වූ දරුණුතම විපතක කම්පනය පසුගිය පාස්කු ඉරිදා අප රටේ සෑම සංවේදී හදවතකටම තදින් දැනුණා. කුඩා දරුවන් ඇතුළු නිරායුධ අහිංසක බැතිමතුන් සිය ගණනකගේ ජීවිත බිලි ගනිමින් සහ තවත් සිය ගණනකට දරුණු ආබාධ සිදුකළ මෙම ඛේදවාචකය මෙරට ජන ජීවිතය ශෝකයෙන්, බියෙන් සහ සැකයෙන් අඩාළ කරන්නට හේතුවුණා. විශේෂයෙන් කතෝලික ජනතාව වෙත එල්ල වූ මෙම අමානුෂික ප්‍රහාරයේ වින්දිතයන් ඔවුන්ගේ නෑ හිතවතුන් ඇතුළු සංවේදී ජනතාවගේ කඳුළු සහ සුසුම් තවමත් වියැකී ගිහින් නැහැ. එවන්වූ ව්‍යසනයෙන් සංවේගයට පත් අපගේ කලාකාරුවන් පසුගියදා ඔස්කා හා සිනෙස්ටාර් සංවිධානවල සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතාගේ මූලිකත්වයෙන් ඒකරාශී වූයේ ඔවුනට තවදුරටත් නිහඬව මේ ශෝකී හැඟීම දරාගත නොහැකිවූ නිසයි.

ඒ අනුව රවීන්ද්‍ර රන්දෙණිය, මාලිනී ෆොන්සේකා, අනෝජා වීරසිංහ, ටී.එම්. ජයරත්න, රෝහණ විරසිංහ, කීර්ති පැස්කුවල්, ජීවන් කුමාරතුංග, ක්ලීටස් මෙන්ඩිස්, ජැක්සන් ඇන්තනී, සබීතා පෙරේරා, කරුණාරත්න දිවුල්ගනේ, කුලරත්න ආරියවංශ, එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී, ප්‍රදීපා ධර්මදාස, කොරින් අල්මේදා, සංගීතා වීරරත්න, යශෝධා විමලධර්ම, චන්න විජේවර්ධන, රොෂාන් රණවන, සාරංග දිසාසේකර, සචිනි අයේන්ද්‍රා, දිනක්ෂි ප්‍රියසාද් සහ උදාරි පෙරේරා යන ප්‍රවීණ සහ නව පරපුරේ කලාකරුවන් කලාකාරිනියන් එහිදී විපතට පත් අපේම සහෝදර ජනතාව වෙනුවෙන් කලාකරුවන්ට කළ හැකි උපකාරයන් පිළිබඳව දැනුවත් වන්නටත් මේ දරුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් කැලඹුණු කතෝලික ප්‍රජාවගේ සිත් නිවාලමින් සාමය ආරක්ෂා කරගන්නට දේවාශිර්වාදයේ නායකත්වය ලබාදුන් අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්ට ප්‍රණාමය පුදකිරීමටත් පසුගියදා අගරදගුරු නිල නිවහනේදී අති උතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් වහන්සේ බැහැ දුටුවා.

මෙහිදී නවලෝක රෝහල මේ සිදුවීම වූ දා සිට පීඩාවට පත්වූවනට ගිලන්රථ සේවා, හදිසි ප්‍රතිකාර, ශල්‍යාගාර සේවා, දැඩි සත්කාර පහසුකම් ඇතුළු වෛද්‍යධාර පහසුකම් නොමිලේ සලසා ඇති බවත්, අවශ්‍ය ශල්‍යකර්ම, දැඩි සත්කාර සේවා ඇතුළු සියලුම අවශ්‍යතා සඳහා රෝගීන් යොමුකළ හැකි බවටත් රදගුරු තුමන් දැනුවත් කළ ජයන්ත ධර්මදාස මහතා ඔස්කා සහ සිනෙස්ටාර් සංවිධාන මගින් සහන සේවා සඳහා පිරිනැමෙන මූල්‍යමය පරිත්‍යාගයක් උන් වහන්සේට පිරිනැමුවා.

‘‘ මේ විපතේදී අපෙන් වියෝවූවන් දැනටමත් ප්‍රතිකාර ලබමින් සිටින සහ ආබාධිත වූ අය වගේම ජීවත්ව සිටින තවත් විශාල පිරිසක් මානසිකව කඩා වැටුණු තත්ත්වයකට පත්ව සිටිනවා. බිරිය අහිමිවූ සැමියන්, සැමියා අහිමිවූ බිරියන්, මවුපියන් අහිමිවූ දරුවන්, තනිවූ සොයුරු සොයුරියන් ආදී විශාල පිරිසක් මානසික අසරණ භාවයට පත්ව සිටිනවා. ඔවුන්ගේ දිවි පැවැත්ම සඳහා අවශ්‍ය උපකාර කිරීමට අප කැපවෙනවා. ඒ සඳහා මූල්‍යාධාර පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙනවා. නමුත් මානසිකව ආතතියට පත්වූ අය යථා ත්ත්තවයට ගැනීම ඊට වඩා දුෂ්කර කටයුත්තක්. ඒ සඳහා කොතරම් කාලයක් ගතවේදැයි කියන්නට බැහැ. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. කෙසේ වෙතත් ඔවුන් සියල්ලම පෙර පරිදි සමාජයට පිවිසෙන තෙක් අප ඔවුන් බලා ගන්නවා. ඔවුන් සමඟ සිටිනවා.‘‘ කාදිනල් හිමිපාණෝ කලාකරුවන්ට පැවසූහ.

උන්වහන්සේගේ පැහැදිලි කිරීමට පිළිතුරු දෙමින් අනෝජා වීරසිංහ මහත්මිය පැවසූයේ මානසික අබලතාවන්ට පත්වූ එවන් අය සඳහා ප්‍රායෝගික වැඩමුළු පවත්වා උපදේශන සේවා මඟින් යහපත් ප්‍රතිඵල ලබාගත හැකි බවයි. ඒ සඳහා ඔවුන් සිටින තැන්වලට යාමට ඇය සූදානම් බව පැවසූ විට සෙසු කලාකරුවන්ද එයට එක්වීමට කැමැත්ත පළ කළා. ඒ සඳහා සම්බන්ධීකරණ කටයුතු සලස්වනමෙන්ද ඔවුන් ඉල්ලා සිිටියා.

මාලිනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, ජැක්සන් ඇන්තනී, රෝහණ වීරසිංහ ඇතුළු කලාරුවන් රාශියක් මෙහිදී අදහස් දක්වමින් කතා කළ අතර විශේෂයෙන් කාදිනල් තුමන් සර්වාගමික නායකයකු ලෙස මෙරට සියලුම ජනකොටස්වල ප්‍රසාදයටත් ගෞරවයටත් ලක්වී ඇති බවත් උන්වහන්සේ ඉටුකරන ජනතාවදී ක්‍රියාදාමයේදී කලාකරුවන්ද එතුමන් සමඟ සිටින බව සපථ කරමින් සියල්ලෝම උන්වහන්සේට ප්‍රණාමය පළ කරමින් සමුගත්තා.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »