ඇඹිලිිපිටියේ ගෙවූ ඒ දිළිඳු ළමාවිය තාම මතකයි... ජන­ප්‍රිය ගායන ශිල්පිනී අමිලා නදී­ශානි

May 20, 2019 11.37am
feature-top
අද පින්බර වෙසක් පොහොය දිනයයි. මෙවර වෙසක් දිනයේ බොහෝ දෙනකු ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල්තැනක් දෙන්නට කටයුතු කර තිබෙනු දක්නට ලැබුණා. එයට හේතුව පසුගිය පාස්කු ඉරුදින ප්‍රහාර නිසා දන්සල්, තොරණ, පහන් කූඩු වැනි දේවල අඩුවක් තිබීමය. වෙසක් දිනයේ අප සිටියේ තලවතුගොඩ මෛත්‍රී ධර්මායතනයේ. මෛත්‍රී ධර්මායතනයට පිවිස වැඳ පුදා අවසන්ව පුදබිමේ අසිරිය දකගන්නට සැරසුණා පමණයි දැකපුරුදු රුවක් පුදබිම දෙසට එන අයුරු අපගේ නෙත ගැටුණා. නෙළුම් මල් පොකුරක් දෝතට ගෙන සිය සැමියා සහ දරුවන් සමගින් සිනහමුසු මුහුණෙන් පැමිණෙන ඇය සැබැවින්ම සුන්දර මවක්. රියැලිටි වේදිකාවෙන් ගායන ක්ෂේත්‍රයට පැමිණි ඇය අමිලා නදීශානි. හැමදාමත් හැමෝගේම ආදරය විඳින්නට වාසනාවන්ත වු අමිලා වැඳපුදා අවසන් වීමෙන් පසුව අප සමඟ කතාබහ කරන්නත් අමතක කළේ නෑ. මේ ආදරයෙන් පිරුණු සෙනෙහබර පුංචි පවුල අද අප ‘රසඳුන කැදැල්ල‘ විශේෂාංගයෙන් ගෙන එන්න අප සිතුවා.

‘‘අද පින්බර වෙසක් දිනය. පළමුවෙන්ම ශ්‍රී ලාංකික සියලුම දෙනාට සාමයෙන් පිරි සුබ වෙසක් මංගල්‍යයක් වේවා යැයි ප්‍රාර්ථනා කරනවා. හැමදාම වගේ මෙවරත් අපි වෙසක් දිනයට ගමේ පන්සලට ආවා. අපි හරිම කාර්ය බහුල ජීවිතයක් ගෙවන නිසා මෙහෙම එකට පන්සල් එන්න ලැබෙන්නේ කලාතුරකින් දවසකයි. අද හරිම සතුටුයි අපිට එකට පන්සල් එන්න විවේකය ලැබුණා. මේ දවස්වල රටේ තියෙන වාතාවරණය නිසා ප්‍රසංග පැවැත්වෙනවා අඩුයි. ඒ නිසා නිවෙසේ වෙසක් සැරසිලි කරන්නත් වැඩි වෙලාවක් ලැබුණා. ඒ නිසා ටිකක් විතර නිදහසේ ඉන්නවා‘‘

ඇය කියාගෙන යන්නීය. අම්මාගේ කතාවට දුවත්, පුතාත් සවන්දීගෙන සිටියි. සැබැවින්ම සුන්දර පවුලකි. උස් මහත් වු පුතකුගේ මවක් යැයි ඇය දෙස බලන කිසිවකුට නොසිතෙයි. සැබැවින්ම ඇයත්, ඇගේ සැමියා සමන්තත් වාසනාවන්තය. ඔවුන් තවමත් අලුත විවාහ වු යුවළක් මෙනි.

‘‘2007 සිරස සුපර්ස්ටාර් රියැලිටි වැඩසටහනේ තුන්වැනියා ලෙස ජයග්‍රහණය කිරීමෙන් පසුවයි මම කලාවට එන්නේ. දැන් අවුරුදු දොළහක් වෙනවා. එදා ඇඹිලිපිටියේදී ගෙවූ කාලය තවම සිහිපත් වෙනවා. පුංචි කාලෙ ඉඳන්ම ගීත ගායනා කළත් ගායිකාවක් වෙන්න ලැබෙයි කියා කවදාවත් සිතුවෙ නැහැ. සෑහෙන්න උත්සාහ කළා ක්ෂේත්‍රයට එන්න. නමුත් අවස්ථාව ලැබුණෙ නැහැ. මගේ දෛවය කෙසේ හෝ හොඳම විදිහට තමයි මට ක්ෂේත්‍රයට එන්න අවස්ථාව සැලැසුවේ‘‘ ලොකු බලාපොරොත්තුවකින් තොරව ආසාවට යොමු කළ අයැදුම්පත ජීවිතය වෙනස් කරාවි යැයි ඇය සිහිනෙන්වත් නොසිතුවාය. ඒ වෙනුවෙන් ඇය බොහෝ දුක් මහන්සි වුවාය. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ඇය ගීත පනහක් පමණ ගායනා කර තිබේ.

‘‘අපි ඉපදුණේ දුප්පත්ව. ඒක කියන්න මට ලජ්ජාවක් නැහැ. මගේ ජීවිතය ගැන ගොඩක් අය දන්නවා. අපි දුප්පත්ව ඉපදුණා කියල දුප්පත්වම මැරෙන්න ඕනෑ කියල එකක් නෑ. ධෛර්යය සම්පන්නව ජීවිතයට මුහුණ දුන්නොත් අපිට අරමුණ කරා යෑම අපහසු නැහැ. මට මතකයි මම ස්කෝලෙ යන කාලෙ ගුරුවරු නිතරම කියන දෙයක් තමයි ඔය ළමය කවදහරි දවසක හොඳ තැනකට යනවා කියල. අද ඔවුන් මාව මුණ ගැසුණාම කියනව ‘හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියල අපි කිව්වේ ඔයා වගේ අයට තමයි, කියලා.

රියැලිටි වේදිකාවෙන් ගායන ලොවට පිවිසි කලාකරුවන් විශාල පිරිසකින් කලාවේ දිගටම රැඳී සිටින්නේ අතළොස්සකි. එයටද වාසනාව මෙන්ම හැකියාවත්, කැපවීමත් අවශ්‍ය වෙයි.

‘‘ගොඩක් අය මට ආදරෙයි. මට යන යන තැන හිත දිනාගෙන වැඩ කිරීමේ හැකියාව තියෙනවා. ඒක කපටිකමක් නෙමෙයි. අපි එහෙම හැසිරුණහම ඒ අයත් අපිට ආදරෙයි. ඒ වගේම තමයි ඉලක්කයක් තබා ගැනීම. අනවශ්‍ය දේවල නොඇලීම. සහ ක්‍රියාශීලිත්වය. කම්මැළි වුණොත් අපිට කිසිදෙයක් කරගන්න බැහැ. ඉස්සර අපෙන් අහනවනෙ නිකන් ඉන්න වෙලාවට මොනවද කරන්නේ කියල දැන් කියන්න තියෙන්නේ නිකන් ඉන්න වෙලාවක් නැහැ කියන එක. පසුගිය කාලෙ කාලෙකට පස්සෙ දරුවොත් එක්ක කතරගම, නුවරඑළිය ගියා. ඒවත් නොකෙරුවොත් දරුවො අපෙන් ඈත් වෙනවා.‘‘

ඇය දරුවන් ගැන කතා කරනවිටත් නිල්වන් දෙඇස දීප්තියෙන් බැබළෙයි. බොහෝ දුක් ගැහැට විඳ ජීවිතයේ ක්ෂේම භූමියට පැමිණ සිටින ඇය මේ ගෙවන්නේ ගිමන් හරින කාලයකි.

‘‘දැන් අපිට ජීවත් වෙන්න මිල මුදල් තිබුණත් ළමයි ආරක්ෂා කරගන්න එක හරිම අමාරුයි. දුව පුතා කියල ඒකෙ වෙනසක් නැහැ. පුතා දැන් ලොකු නිසා එයා දන්නව නංගිව බලාගන්න. එහෙම කියල ඒ අය ගැන සොයන්නෙ බලන්නෙ නැතුව ඉන්න බෑ. අම්ම කෙනෙක් විදිහට ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. ඒ අය ලොකු වෙන්න, ලොකු වෙන්න වැරැදි තීරණ ගන්න ඉඩ තිබෙනවා. අපි ඒ අය ගැන ඇහැ ගහගෙන හිටියොත් නරක අතට යන්නෙ නෑ කියලයි මගේ විශ්වාසය.‘‘

පුතු කේ. ජී. බිතුම් චබි චානක්‍යට වයස දහ අටකි. ඔහු කොළඹ තර්ස්ටන් විදුහලේ වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරයි. දුව කේ. ජී. ලිතුම්යා සිතුම්දි ගේට්වේ ජාත්‍යන්තර පාසලේ දෙවැනි වසරේ ඉගෙනුම ලබයි.

‘‘මමත්, සමන්තත් ප්‍රසංගවලට බය නැතුව යන්නෙ පුතාට නංගිව බලාගන්න කියල. අපේ පවුල තුළ ලොකු සහජීවනයක් තිබෙනවා. ඒ නිසයි අපිට බාධක කම්කටොලු මැද මේ තරම් දුරක් එන්න පුළුවන් වුණේ. මම හැමදාමත් උනන්දු වූයේ තමන්ට කියලා අනන්‍යතාවක් ගොඩනගා ගන්න. ඒක පෞද්ගලික ජීවිතයේදි වගේම ගායන ක්ෂේත්‍රයේදිත් ඒ පිළිවෙතම අනුගමනය කළා. හැම ගෙදරකම අම්මා ඒ ගෙදර දේවල් පැහැර හරින්නේ නැතුව ඉටු කරනවානම් පවුල බෙහෙවින් සාර්ථකයි. මම සිරස සුපර්ස්ටාර් සහභාගි වන විට පුතාට වයස අවුරුදු හයයි. අපි දෙන්න ඒ කාලයම ගෙවුවේ කොළඹ. පුතා ඇඹිලිපිටියට වෙලා අම්මි එක්ක හිටියා. ඒ සියලු දෙනාගේම කැප කිරීම මත තමයි මට මේ ගමන එන්න හැකිවුණේ. දැන් මගේ පවුලෙ සියලු දෙනාම පාහෙ ඉන්නෙ කොළඹ. සමන්තගේ අම්මා, තාත්ත පමණයි ඇඹිලිපිටියෙ ඉන්නෙ‘‘

ඇයට කීමට තවත් බොහෝ දේ තිබෙන හැඩයි. ඒ නිසා මම මගේ පැනය යටපත් කරගෙන ඇය කියන දේට කන් දෙමි.

‘‘මගේ පුතා බිතුම්ට ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන්. එයා දවසක කලාව පැත්තෙන් ඉදිරියට යයි කියල හිතනවා. දැනටත් පුතා ‘ලිහිනි‘ කියල ගීතයක් ගායනා කර තිබෙනවා. එය ‘යූ ටියුබ්‘ එකෙන් අහන්න පුළුවන්. දුව නම් අනාගතයේ මොනවද කරන්නේ කියල තවම කියන්න දන්නෙ නෑ. කවුරු වුණත් කමක් නෑ මට ඕනෑ ඒ දෙන්නා හොඳ පුරවැසියන් කරන්නයි.,

අමිලා කලක් මෙරට තරුණයන්ගේ සිහින කුමරියව සිටියාය. අදටත් ඒ රුව එලෙසින්ම පවතියි. කාර්ය බහුල දිවියක් ගත කළත් ඇය රූ සපුව ගැන හිතන පාටයි.

‘‘මම හැමදාම ප්‍රිය කළේ නීරෝගි දිවියකට. රූපයට කියල විශේෂ දෙයක් කරන්නෙ නැහැ. හැබැයි අනවශ්‍ය කෑම ගන්නෙත් නෑ. හොඳට වතුර බොනවා. පිරිසුදුව ඉන්නවා. ජීවිතයෙන් ටික ටික තරුණකම බැහැරවෙනකොට අපි තේරුම් ගන්න ඕන අපි යන්නෙ කොතනටද කියල. එවිට අපි යථාර්ථවාදීව ජීවත්වෙන්න ඕනෑ. ඇඳුම් විලාසිතා ගැන කියනවා නම් එදිනෙදා ගමන් බිමන් යන විට වැඩිපුර අඳින්නේ ස්කර්ට්, බ්ලව්ස්. ප්‍රසංග වේදිකාවට නගින්නෙ සාරි ඇදලා. මට හිතෙන්නෙ මට කැතයි කියල ඇඳුමක් නැහැ. ඒත් ඇඟට පහසු ඇඳුම්වලට තමයි වඩාත්ම කැමැති‘‘

බොහෝ පිරිසක් අමිලාව දන්නේ ගායිකාවක ලෙසින් වුවත් ඇය දක්ෂ ව්‍යාපාරිකාවක් බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි. දැනට වසර හයකට පෙර ආරම්භ කළ සාරි වෙළෙඳසල් අද සැලකිය යුතු තත්ත්වයට පත්ව ඇත. ඒ සියල්ල ඇයගේත්, සැමියාගේත් උත්සාහයේ ප්‍රතිඵලයි.

‘‘ගොඩක් අය අහනවා අපේ ගෙදර නිතරම හැදෙන්නේ මොන වගේ කෑමද කියලා. ගමෙන් ගේන රතුහාලෙන් තුන්වේලම කන්නේ බත්. එළවළු වැඩිපුර කනවා. දැන් බත් කන්න පුරුදු වෙලා තිබෙන නිසා වෙන දේවල් කෑවට හරියන්නෙ නැහැ. දරුවො දෙන්නම කැමැති බත් කන්න‘‘

වෙසක් පොහොය දින පුදබිමකදි කතා කළ යුතු නැති දේවල් කතාකළාදෝයි වරෙක මට සිතුණි. එහෙත් හැමදාමත් කැදැල්ලකට ගොඩ වී කරන කතාබහට වඩා මෙවර අපේ කතා බහ වෙනස් විය. එනිසා නැවත දවසක අමිලාගේ අලුතෙන් ඉදිවෙන කැදැල්ලට ගොඩ වී රසබර තොරතුරු ගෙනෙන බලාපොරොත්තුවෙන් අපි සමුගතිමු.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »