වයසට ගියත් මම තවමත් ගින්දරී

Mar 08, 2019 09.17am
feature-top
මුලින්ම රඟපෑවේ අවුරුදු හතරෙදී
 හැමදාමත් රඟපෑවේ තෝරා-බේරාගෙන
 පබෝධා සන්දීපනී

කුඩා කාලයේදීම කලා ක්ෂේත්‍රයට එක්වූ පබෝධා සන්දීපනී මේ වන විට ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතර සිටින දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක් කීවොත් නිවැරදියි. බහුබූතයෝ, ගින්දරී සිනමාපටවලින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඇය මෙවර ගින්දරී දෙක සිනමාපටයෙන් අප වෙත එන්නයි සූදානම. ඒ එසේ මෙසේ චරිතයකින් නම් නොවෙයි යකින්නකගේ චරිතයකින්. ඒ ගැන පබෝධාගෙන් විමසූ විට ඇය අප සමග කීවේ මෙවැනි කතාවක්.

පබෝධා පිටකොටුවේ යකා නටනවා කියන්නෙ ඇත්තක්ද?

ඔව් ඔව්. අවුරුදු පහකට පස්සෙ නැවත වරක් යකින්නකට ඇන්දා. එහි රූගත කිරීම් තිබුණේ පිටකොටුව බස් නැවතුම්පොළ ආසන්නයේ. ඒ නිසා නේද ඔහොම අහන්නේ.

ඒ ගැන වැඩිවිස්තර ටිකක් කියමුද?

උදයකාන්ත වර්ණසූරියගේ ‘බහුබූතයෝ‘ සිනමාපටයේ තුන්වැන්න තමයි ගින්දරී දෙක සිනමාපටය. එහි ටිකිරි නැමැති යක්ෂ චරිතය තමයි මම රඟපාන්නේ. ‘බහුබූතයෝ‘ සිනමාපටයට පසුව ‘ගින්දරී‘ එක සිනමා පටය කළා මීට වසර පහකට පෙර. ඉන් පසුව තමයි මේ දිනවල රූ ගත කිරීම් කෙරෙන ‘ගින්දරී දෙක‘ සිනමා පටය එන්නේ. හරියටම‘ බහුබූතයෝ‘ ප්‍රදර්ශනයකර වසර පහළොවකට පස්සේ.

වසර පහළොවකට පසුවත් ඔබයි ගින්දරී...

ඒ ගැන සතුටුයි. මේ වසර පහළොව කාලයේදී විවාහවුණා. පුතා ලැබුණා. වයසට ගියා. නමුත් ගින්දරී මමමයි.

මොකක්ද එහි තිබෙන විශේෂත්වය..

කිසිම විශේෂත්වයක් නෑ. ගොඩක් අය කියනවා පබෝධා පුතා ලැබුණාට පොඩ්ඩක්වත් මහත් වෙලා නෑ කියලා. රූපය වෙනස් වෙලත් නෑ කියලා. මට කියන්න තියෙන්නෙ ඒ හැම දේටම අපේ හිත බලපානවා කියල තමයි.

අපිටත් කියමුද සුන්දරත්වය රැකගන්නා රහස..

කෑම පාලනය. රංගන ශිල්පිනියක් වූ විට අපි අනිවාර්යයෙන්ම සුන්දරත්ව සහ අලංකාරව සිටිය යුතුයි. ඒ සඳහා සිරුර පාලනය කරගන්න ආහාර පාලනය කළ හොත් පුළුවන්. පුතා ලැබුණට පස්සේ ටිකක් මහත්වුණා. ගින්දරී එක කරන කොට පුතාට අවුරුද්දයි මාස කිහිපයයි. ගොඩක් අය හිතුවෙ නැහැ මාව ගින්දරී එකට ගන්න පුළුවන් කියා. ඒත් මාසයක් ගියේ නෑ පෙර තිබූ ගානටම මම ඇඟ හදාගත්තා. නැවතත් පසුගිය කාලයේ ටිකක් මහත්වුණා. ශ්‍රී සිද්ධා සිනමාපටයට තමයි නැවතත් ඇඟ හදාගත්තේ.

‘සකූ ගේ කතාවේ‘ වාසනා ගැනත් මතක් කරමු...

ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ ‘සකූගේ කතාව‘ ටෙලිනාට්‍යයේ සකූගේ මව වාසනා ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳගත්තා. එම චරිතයට ප්‍රියන්ත අයියා කතා කළ අවස්ථාවේ මම බෑ කිව්වා. නමුත් පිටපත් බැලුවම එහි කතාව මගේ සිත්ගත් නිසා එම ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා.

ඉන්පසුව කළ නිර්මාණ මොනවද?

ටෙලි ඩ්‍රාමා කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒවායේ පිටපත් ගැන සෑහීමට පත් නොවුණු නිසා භාර ගත්තෙ නෑ. හොඳ ටෙලි නාට්‍යයක් ලැබුණොත් අනිවාර්යයෙන් භාර ගන්නවා.

‘ඉරු දේව‘ ටෙලි නාට්‍යයෙන් ඉවත්වුණේත් පිටපත හොඳ නැති නිසාද?

නැහැ. එහි මගේ චරිතයට කරන්න ලොකු දෙයක් නෑ. ඒ නිසා මගේ කාලය අපතේ යනවා කියලා හිතුණා. ඒ නිසා සනත් අයියට කියල අයින් වුණා.

ඔබ කලා පවුලකින් පැවත එන රංගන ශිල්පිනියක්..

මගේ අම්මා ගීතා කාන්ති ජයකොඩි, පුංචි රත්නා ලාලනී ජයකොඩි, බිමල් මගේ ඥාති සොහොයුරා. තවත් කිහිප දෙනෙක්ම ඉන්නවා.

ඒ නිසාද අවුරුදු හතරෙදි රංගනයට එන්නේ..

‘යශෝරාවය දෙක‘ ‘බලදේවගේ ලෝකය‘ ටෙලි නාට්‍යයේ මගේ මව ගීතා කාන්ති ජයකොඩිගේ දියණියගේ චරිතයෙන් තමයි කලාවට එන්නේ. එදා සිට අද දක්වා ටෙලි නාට්‍ය 60ක්, චිත්‍රපට 15ක් රඟ පා තිබෙනවා.

ඉදිරියට එන්න තිබෙන නිර්මාණ ?

ශ්‍රි සිද්ධා, ගින්දරී දෙක, ආදර පූජාසනය සිනමාපට එන්න තිබෙනවා.

වෘත්තීය රංගන ශිල්පිනියකට චරිත තෝරා බේරා ගැනීම කළ හැකිද?

ආර්ථික පැත්තෙන් අසීරුයි. එහෙත් ලැබෙන හැම චරිතයක්ම භාරගෙන හරියට රඟ නොපානවට වඩා හොඳයි වසරකට එක චරිතයක් කරනඑක. කොහොමත් මම කාර්යබහුල රංගන ශිල්පිනියක් වන්න කැමැති නෑ. ඒ නිසා ලැබෙන චරිතයට සාධාරණයක් කරනවා. ඒ නිසා ආර්ථිකමය වශයෙන් පාඩුවක් ලැබුවත් හිතට දුකක් නෑ.

කිහිප අවස්ථාවකදිම සම්මාන ලබන්නෙත් ඒ නිසා වෙන්න ඇති....

2010 වසරේ පිංගල දනව්ව ටෙලි නාට්‍යයට කළ රංගනයට හොඳම නිලිය සම්මානය ලැබුණා. 2002 ‘බහුබූතයෝ‘ චිත්‍රපටයට නැගී එන නිළිය සම්මානය ලැබුණා. 2013 වසරේදී ‘බොරලුපාර‘ ටෙලි නාට්‍යයට හොඳම නිළිය සම්මානය ලැබුණා. ‘බොරලු පාරෙන්‘ පසුව තමයි ‘සකූගේ කතාව‘ ටෙලිනාට්‍යයට සම්බන්ධ වන්නේ.

සකූගේ කතාවට සම්මානයක් ලැබෙයිද?

කියන්න බැහැ. ‘වාසනා‘ නමැති චරිතය ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලැඳ ගත්තා. බලමු නේද?

අනාගත බලාපොරොත්තු..

මගේ වෘත්තිය රංගනය. මම කැමැතියි අධ්‍යක්ෂවරු අපිට හොඳ චරිත දී අපෙන් වැඩක් ගන්නවා නම්. ඒ වගේම පුතු සවෙන් ජිත්සර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ පළමු වසරේ ඉගෙනුම ලබනවා. ඔහුට හොඳින් උගන්වා හොඳ පුරවැසියකු කිරීම තමයි ලොකුම බලාපොරොත්තුව.



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »