ශිවන්‍යා සටනට බැහැලා

Feb 18, 2019 09.34am
feature-top
හඬ කැවීම් ශිල්පිනියක් වණු පූර්ණිමා දැන් රංගන ශිල්පිනියකුත් වෙලා?

ඔව්. මම හඬ කැවීම් ශිල්පිනියක්. ගොඩක් අය මාව හඳුනාගත්තේ ශිවන්‍යාගේ චරිතයට හඬ කවපු නිසා. මට ශිවන්‍යා වෙනුවෙන් හඬ කවන්න ලැබුණේ අහම්බෙන්. මම සිරසේ නිවේදන කටයුතුවලටත් සම්බන්ධ වෙනවා. ඔය අතරේ දෙරණ නාළිකාවේ විකාශය වෙන රාවණ නාට්‍යයෙන් රංගනයට එකතු වෙන්නත් මට අවස්ථාව ලැබෙනවා.

ඔබව රංගනයට ගේන්න ඕනෑ වුණේ කාටද?

තුෂාර තෙන්නකෝන් තමයි රාවණ නාට්‍යයේ අධ්‍යක්ෂවරයා. ඔහු තමයි මට මේ ආරාධනාව කළේ. රාවණ ටෙලි නිර්මාණයට චරිත තෝරා ගැනීම කරලා තිබ්බේ අවුරුද්දකට විතර කලින්. නමුත් මට මේ නාට්‍යයට ආරාධනා ලැබුණේ රූගත කිරීම් පටන් ගන්න දවස් තුනකට කලින්. 'පුටා' කියන චරිතයට තමයි මාව තෝරාගෙන තිබුණේ. මම ජිම්නාස්ටික් කරලා තියෙනවා. ඒවයින් ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. ටයිකොන්ඩෝ කරලා තියෙනවා. සටන් පැත්ත මට පුළුවන් නිසා තමයි මාව මේ චරිතයට තෝරාගෙන තියෙන්නේ. මගේ සටන් වීඩියෝ ෆේස්බුක් හරහා දැකලා මාව මේ චරිතයට අධ්‍යක්ෂවරයා තෝරාගෙන තිබුණා.

මේ රංගනයට ලැබුණු පළමු ආරාධනාවද?

මට මීට කලින් රංගනයට ආරාධනා ලැබුණා. නමුත් මට ඒවට සම්බන්ධ වෙන්න බැරි වුණා.

රංගනයට ආරාධනා ලැබෙද්දී එයට සම්බන්ධ වෙන්න දෙගිඩියාවක් තිබ්බේ නැද්ද?

මම කලින් ලැබුණු ආරාධනා පවා මට බෑ කියලා හිතලා, මම කැතයි කියලා හිතලා, මාව ඒ නිර්මාණයට හරියන එකක් නෑ කියලා හිතලා භාරගත්තේ නැහැ. නමුත් රාවණ නාට්‍ය ගැන මට 'වාව්' කියන හැඟීම තිබ්බේ. ඒ වගේ නාට්‍යයකට ආරාධනා ලැබුණම ගිහින් බලන්න හරි හිතුවා. මම හඬ කැවීම් ශිල්පිනියක් නිසා මගේ දෙබස් ප්‍රකාශනය හොඳයි. මේ නාට්‍යයෙත් මගේ චරිතයට මගේ කටහඬමයි පාවිච්චි වෙන්නේ. මගේ රංගනයේ අඩුපාඩු වුණත් හඬ කැවීම්වලදී මම හදාගන්නවා.

පූර්ණිමා රංගනයට එන්න බලාපොරොත්තුවෙන් හිටියද? නැත්නම් රංගනය පූර්ණිමාට අහම්බයක්ද?

රංගනය කියන්නේ මට අහම්බයක්. රංගනය කියන දෙයට මට ලොකු ආසාවක් තිබ්බේ නෑ. නමුත් මාව රාවණ වගේ නාට්‍යයක මේ වගේ චරිතයකට සම්බන්ධ කර ගැනීම වෙනුවෙන් අධ්‍යක්ෂවරයාට ස්තුතිවන්ත වෙන්න ඕනෑ. දැන් නම් කවදාහරි සටන් නිළියක් වෙන්න ආසාවක් ඇති වෙලා තියෙනවා.

රංගනයේ පටන්ගැන්ම සාර්ථකද?

නාට්‍ය බැලුවම හිතෙනවා මීට වඩා හොඳට කරන්න පුළුවන්කම තිබ්බා නේද කියලත්. අපිට කොහොමත් සර්ව සම්පූර්ණ විදියට දේවල් කරන්න බෑ. රාවණ තුළ තියෙන්නේ මගේ පළමුවැනි රංගනය. මේ චරිතය යම් තාක් කාලයක් ප්‍රේක්ෂකයන්ට මතක හිටින චරිතයක් වෙයි.

ලඳ බොලඳ චරිතයකින් නැතිව වෙනස් හැඩ තලයකින් රංගනයට එන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?

ඒක පුදුම විදියේ වාසනාවක්. මොකක් හරි චරිතයකින් ඉස්සරහට යන්න බලනවට වඩා මම හොඳම දේ එනකල් බලාගෙන හිටියා. සමහර අවස්ථා මඟහැර ගත්තා. ඒ විදියට පස්සට ගිය එකත් හොඳට බලපෑවා. මම හඬ කවපු ශිවන්‍යාගේ චරිතය හිතපු නැති තරමට උඩට ආවා. ඒ චරිතයට ප්‍රේක්ෂකයෝ පිස්සු වැටිලා හිටියා. ඒ හඬ කැවීමට මට සෑහෙන ප්‍රතිචාර ලැබුණා. රංගනය වෙනුවෙනුත් මම ඉවසලා ඉවසලා මම ආස කරන නිර්මාණයකට තමයි මුලින්ම සම්බන්ධ වුණේ.

'පුටා'ගේ චරිත රංගනයේදී ඔබට අමතක නොවන සිදුවීම් ඕන තරම් ඇති?

මගේ චරිතය මේ නාට්‍ය තුළට එන්නේ ඉඳලා හිටලා. නමුත් මට මේ චරිතයේ කරන්න දේවල් තියෙනවා. ඊතල විදින්න, දුවන්න, පනින්න, ගස් නඟින්න වගේ බොහෝ දේවල් කරන්න තියෙනවා. අපිට රූගත කිරීම්වලදී කන්න බොන්න වෙන්නෙත් කැලේ ඉඳන්. මට ගස් නඟින්න තිබ්බා. මම මීට කලින් ඒ තරම් උස ගස්වලට නැඟලා නැහැ. පළමුවැනි පාර ගහට නඟිද්දී වෙව්ළන්න ගත්තා. බයට දෙබස් පවා අමතක වෙනවා.

ඒක කිහිප වතාවක් ගනිද්දී එකම ගහේ තුන් හතර වතාවක් මට නඟින්න වෙනවා. ගහට නැඟලා බහිද්දී ඒ සීන් එකම ආයේ ගමු කිව්වම බඩ පපුව දනවා. ගස් නැඟලා කකුල් හීරිලා ලේ ආපු අවස්ථා තියෙනවා. ඊතල විදින්න නම් මම ඉගෙන ගත්තා. අධ්‍යක්ෂවරයා මාව හඳුනාගෙන මට හරි යන බොහෝ දේවල් නාට්‍යයට එකතු කරලා තිබුණා. ඔහුගෙන් පුදුම සහායක් මට ලැබුණේ.

මේ දවස්වල 'වෙස්' නාට්‍යයේ සටන් ජවනිකාවක් නිසාත් පූර්ණිමා ජනප්‍රිය වෙලා?

වෙස් ටෙලි නාට්‍යයේ ෆයිටින් සීන් එකකට සම්බන්ධ වෙන්න ධනුෂ්ක අයියා කතා කළා. සාමාන්‍යයෙන් ගැහැනු ළමයින්ගේ සටන් යනවා හරි අඩුයිනේ. ඉතිං ඒ ෆයිටින් සීන් එකට මම සම්බන්ධ වුණා. ගොඩක් අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා.

පූර්ණිමා ක්‍ෂේත්‍ර කිහිපයක වැඩ කරන කෙනෙක්. කොහොමද මේ සියල්ල සමබර කරගන්නේ?

ඔව්. මම මේ දවස්වල චූටි දූ, කිරිල්ලියෝ නාට්‍යවල හඬ කැවීම් කරනවා. ඒ වගේම 'ඉලන්දාරියා' වැඩසටහන ඉදිරිපත් කරනවා. මට වැඩ කරන එක පුරුදු වෙලා. පාසල් යන කාලෙත් මම වැඩි හරියක් කළේ බාහිර වැඩ. දැන් වුණත් විශ්වවිද්‍යාලයට යන්නේ විභාගයට තමයි. හැබැයි හැමදේම සමබර කරගෙන යනවා.

ගායනයට එන්නත් සූදානම් වෙනවා කියලා ආරංචියි?

මට ගායන හැකියාව වගේම ගිටාර් ගහන්නත් පුළුවන්. මගේ අම්මා කැමැතියි මම සින්දු කියනවට. ඒක තමයි මට ගැළපෙන්නේ කියලා අම්මා කියනවා. මම සංජුල හිමාල එක්ක යුග ගීතයක් කළා. ළඟදීම මගේ තනි ගීතයක් රිලීස් කරන්නත් සූදානමින් ඉන්නවා.

ඔබ උසස් අධ්‍යාපන හැදෑරීම් කරන්නේ කලා අංශයෙන් නෙවෙයි නේද?

මම දැන් කැලණිය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ශිෂ්‍යාවක්. මම මනෝවිද්‍යාව තමයි හදාරන්නේ.

කලා ක්‍ෂේත්‍රයේ තවත් අලුත් ආරාධනා ලැබුණද?

සටන් තියෙන තවත් නිර්මාණයකට කතා කළා. නමුත් මගේ අධ්‍යාපන වැඩකටයුතුත් එක්ක එයට සම්බන්ධ වෙන්න බැරි වුණා.

ඉදිරියටත් පූර්ණිමාගේ තෝරා ගැනීම් තියෙයිද?

මම කොහොමත් මට ලැබෙන හැමදේම කරන්නේ නෑ. ආත්ම තෘප්තියක් නැතිව ජනප්‍රිය වෙයි කියලා හිතලා නම් දේවල් කරන්නේ නැහැ. මම මට ගැළපෙන දේවල් කරන්නේ.

පූර්ණිමා පෙම්වතියක්ද?

නැහැ. මම පෙම්වතියක් නෙවෙයි.

ක්‍ෂේත්‍රයේ අයගෙන් ආදර යෝජනා නම් එනවා ඇති?

ක්‍ෂේත්‍රයේ අයගෙන් ලොකුවට ආදර යෝජනා ඇවිත් නැහැ. මම හරි පරිස්සමෙන් මගේ ගමන යන කෙනෙක්.

දැන් මම සටන් කරන නිසා කට්ටිය මට බයයිද කොහෙද?

ඒ නිසා මගෙන් යාළුවෙන්න අහන්නේ නැහැ.

පූර්ණිමාගේ හිත නළුවෙක් ළඟ නතර වුණොත්?

මම රංගන ශිල්පියෙක්ට නම් කවදාවත් කැමැති වෙන්නේ නැහැ. දැන් මට ජීවිතයේ ඉලක්ක තියෙනවා. ඒ ඉලක්කවලට ගිහින් ආදරය ගැන හිතනවා.

මොනවද ඉදිරි සැලැසුම්?

මගේ උපාධියේ වැඩකටයුතු සම්පූර්ණ කර ගන්න ඕන. ඒ වගේම මගේම ව්‍යාපාරයක් පටන් ගන්නත් අදහසක් තියෙනවා.

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

More News »