තාල එක්ක සිනමාවට එකතු වූ කලණි

Feb 14, 2019 09.50am
feature-top
කලණි හා හා පුරා කියලා "තාල" එක්ක සිනමාවට ඇවිත්නේ. ඒ නිර්මාණයට එක් වෙන්න කලණිට පසුබිම නිර්මාණය වුණේ කොහොමද?

මම වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ වැඩ කරද්දී පාලිත අයියාව කැමරා අධ්‍යක්ෂවරයෙක් විදියට මට මුණ ගැහිලා තිබුණා. තුමිඳුත් මට පාලිත අයියා ගැන කියලා තිබුණා. තුමිඳුගේ පළමු චිත්‍රපටය වුණ "සංකාරා" චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා විදියට වැඩ කළෙත් පාලිත අයියා. වෙළෙඳ දැන්වීම් කරද්දී මීට අවුරුදු හතරකට විතර කලින් පාලිත අයියා මගෙන් ඇහුවා ඔහු චිත්‍රපටයක් කරන්න ඉන්නවා, ඒකට සම්බන්ධ වෙනවා නේද කියලා. ඊට පස්සේ චිත්‍රපටයේ තිරපිටපත ලියලා ඒ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න මට කතා කළා.

ලැබිච්ච ආරාධනාව එක පයින් භාරගත්තද?

තාල කියන්නේ මගේ පළමුවැනි චිත්‍රපටය. මම ඊට කලින් සහෝදරයා නාට්‍යයට සම්බන්ධ වෙලා තිබුණා. වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වෙලා තිබුණා. පාලිත අයියා මට කිව්වා මට මේ නිර්මාණයේ කරන්න තියෙන්නේ එරන්දතී කියන ගුරුවරියගේ චරිතය කියලා. ඒ චරිතය ගැන කතා කරද්දී මට ඒ නිර්මාණයට සම්බන්ධ වෙන්න ලැබීම ගැන මම සතුටු වුණා.

එරන්දතීගේ චරිතයට කලණිට සාධාරණයක් කරන්න පුළුවන් වුණා කියලා හිතනවාද?

යම් යම් අඩුපාඩු ඇති. මොකද මේක මම රඟපාපු පළමුවැනි චිත්‍රපටයනේ. මම මට පුළුවන් විදියට ඒ චරිතයට උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කළා.

සිනමාවට අලුත් වුණ ඔබට තාල නිර්මාණයෙදි ප්‍රවීණයන් එක්ක වැඩ කරන්න ලැබෙනවා?

ඔව්. මට ප්‍රවීණයන් එක්ක වැඩ කරන්න ලැබුණා. ජයලත් මනෝරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු, චාන්දනී සෙනවිරත්න ප්‍රියන්ත සිරිකුමාර, හේමාල් වගේ විශාල පිරිසක් එක්ක රඟපාන්න ලැබීම මට ලොකු අවස්ථාවක්. මට ඔවුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. පාලිත අයියා, කැමරා ශිල්පීන්, වේශ නිරූපණ ශිල්පීන් ඇතුළු හැමෝම මට හොඳ සහයෝගයක් දුන්න නිසා තමයි මට මේ රංගනය කරන්න පුළුවන් වුණේ.

දරුවෝ ගොඩක් එක්ක රඟපාන්න ලැබීම කලණිට මොන වගේ අත්දැකීමක් වුණාද?

මම කොහොමත් ළමයි එක්ක වැඩ කරන්න ආසයි. මම වෘත්තියෙන් ආට් තෙරපිස්ට් කෙනෙක්. මානසික ගැටලු තියෙන අයට ආට් තෙරපි කිරීම තමයි මගේ වෘත්තිය. ළමයි එක්ක වැඩ කරන එක හරිම සුන්දර අත්දැකීමක්. හරිම ආදරණීයයි ඒ දරුවෝ. ලංකාවේ විවිධ පළාත්වලින් ආපු දරුවෝ තමයි ඒ චිත්‍රපටයේ රඟපෑවේ. ඒ දරුවෝ හරි දක්ෂයි. මම හරිම කැමැත්තෙන්, ආසාවෙන් ඒ දරුවෝ එක්ක වැඩ කළා.

කලණි රංගනයට එකතු වුණාට තුමිඳු කැමතිද?

තුමිඳු මට ලොකු සහයෝගයක් දෙනවා. ඒ සහයෝගය නිසා මට වැඩ කරන්න නිදහස තියෙනවා. කලා කටයුතුවලට විතරක් නෙවෙයි. මගේ ජීවිතේ හැම තැනකදීම එයා මට සෙවණැල්ලක් වගේ ඉන්නවා. මගේ රංගනයේ අඩුපාඩු දැක්කම වුණත් එයා මට ඒ අඩුපාඩු පෙන්නලා දෙනවා. ඒ අඩුපාඩු හදාගන්න ඕන විදිය අපි කතාබහ කරනවා. තුමිඳුගෙන් ලැබෙන සහයෝගය වචනවලින් කියලා නිම කරන්න බැහැ.

පුතත් එක්ක ගෙවන ජීවිතේ කොහොමද?

එයා එක්ක ගෙවන ජීවිතේ හරිම සුන්දරයි. මගේ ජීවිතේ ගෙවෙන ලස්සනම කාලය තමයි මේ කියලා හිතෙනවා. අපේ පුතා මේ ලෝකෙට ඇවිත් මාස 11යි. එයා මේ ලෝකය හඳුනගන්නේ, ඒ හඳුනගත්ත දේවල්වලට ආදරය කරන්න පටන් ගන්නේ දැන්. එයාව දැකලා තුමිඳුයි මමයි හරියට සතුටු වෙනවා. එයා හිනා වෙන කොට එයා මුලින්ම කතා කරන වචනය පවා අපිට අලුත් අත්දැකීමක්. එයාගේ සුන්දර වැඩ බල බල තමයි අපි මේ දවස්වල ජීවත් වෙන්නේ.

රැකියාවේ, රංගනයේ කාර්යබහුලත්වය එක්ක පුතාගේ වැඩ රාජකාරි කරගන්න පහසුද?

කරන රැකියාවට මම ගොඩක් ආදරෙයි. මානසික ගැටලු තියෙන දරුවෝ එක්ක වැඩ කරලා මම තෘප්තියක් ලබනවා. රැකියාව කරන අතරතුර මම රංගන කටයුතු කරන නිසා වෙලාවේ ප්‍රශ්න එක්ක නිර්මාණ ගොඩකට සම්බන්ධ වෙන්නත් බැහැ. මම හැම වෙලාවෙම විශ්වාස කරනවා අපි අනෙක් අයට හොඳ දෙයක් කළොත් අපිටත් හොඳ දේවල් ලැබෙයි. මගේ අම්මා ගුරුවරියක්. ඇය ළමයින්ට උගන්නන එකමයි කළේ.

අම්මා කිව්ව දේ තමයි අනෙක් අයට හොඳ දෙයක් කළොත් ඒක තමන්ගේ දරුවන්ටත් ලැබෙනවා කියන එක. මම අනෙක් දරුවන් වෙනුවෙන් දේවල් කළොත් මගේ දරුවත් ඉබේම හැදෙයි. එයත් ජීවිතයේ දේවල් තේරුම් ගනියි. තුමිඳුගේ අම්මා, මගේ අම්මා මට ලොකු සහයෝගයක් දෙනවා. අපේ "අපූර්ව" පුතත් ලොකු වුණාම කැමැති වෙයි අපි මේ කළ දේවල්වලට.

මවක් කියන්නේ තනිකඩ ජීවිතේ, විවාහ ජීවිතේ පහුකරගෙන ඇවිත් අත්පත් කරගත් ලොකු වගකීමක්. ඒ වගකීම් කලණිට දැනෙන්නේ කොහොමද?

මමයි තුමිඳුයි ආදරය කරන කාලය ඊට පස්සේ විවාහ වෙලා ගත කළ කාලය මේ හැමදේම අවබෝධයකින් කළේ.

විවාහ ජීවිතයකට හොඳ අවබෝධයක් තියෙන්න ඕන. තුමිඳු කාර්යබහුල කෙනෙක් කියන එක අපි ආදරය කරන කාලෙම හඳුනාගත්තා. දැන් අපි විවාහ වෙලා අවුරුදු පහක්. අපිට විවාහ ජීවිතය ගැන හිතද්දී හරිම සතුටක් දැනෙන්නේ.

ආදරය කරද්දී විවාහ වෙන්න ආසා වුණා. විවාහ වුණාම දරුවෙක් ලබන්න ආසාව එනවා. මම දරුවන්ට ගොඩක් ආසයි. ජීවිතයේ කොච්චර කාර්යබහුල වුණත් අපි පුංචි පුංචි දේවල්වලින් හරි සතුටු වෙනවා නම් ජීවිතය ලස්සනයි. නිදිමරන එක පවා අමාරුවෙන් නෙවෙයි ආසාවෙන් කරද්දී දරුවා වෙනුවෙන් යමක් කරනවා කියලා දැනෙද්දී සතුටුයි. විවාහ වුණාම මම හිතුවේ ඒ තමයි ලස්සනම කාලේ කියලා.

අපූර්ව පුතා ලැබුණම හිතෙනවා මේ තමයි ලස්සනම කාලය කියලා. අම්මා කියලා මගේ පුතා මට කතා කරද්දී ඒ තරම් සතුටක් කොයින්ද?

කාර්යබහුල ජීවිතය ඇතුළේ තුමිඳු පවුල වෙනුවෙන් කොහොමද කාලය වෙන් කරලා තියෙන්නේ?

රැකියාව, රංගන කටයුතු, අධ්‍යාපන කටයුතු එක්ක තුමිඳු ඇත්තටම ගොඩක් කාර්යබහුලයි. ඒත් ඒ කාර්යබහුලත්වය ඇතුළේ පුංචි වේලාවක් හරි ලැබුණෙත් ඒ කාලය එයා අපිත් එක්ක ගත කරන්න වෙන්කර ගන්නවා. අපූර්ව පුතා තාත්තට හරිම ආදරෙයි. එයා තාත්තව දැක්කම හරියට සතුටු වෙනවා. ඒ සතුට දැක්කම මටත් සතුටුයි. තුමිඳුයි මමයි ආදරය කළා විවාහ වුණා. දැන් අපි මවුපියෝ වෙලා. ඒ හැමතැනකදීම තුමිඳු එයාගේ වගකීම ඉෂ්ට කරනවා. එයා හැම දේකදිම පවුලට මුල් තැන දෙනවා. තාත්තා කෙනෙක් විදියට ස්වාමි පුරුෂයෙක් විදියට උපරිම වගකීම් ඉෂ්ට කරනවා.

සහෝදරයා ටෙලි නාට්‍යයෙන් ඔබව බොහෝ දෙනෙක් හඳුනාගත්තා. බොහෝ දෙනෙක්ගේ ආදරය ඔබට හිමිවුණා. ඊට පස්සේ පුංචි තිරයේ අලුත් වැඩකට සම්බන්ධ වුණාද?

සහෝදරයා ටෙලි නාට්‍යයෙන් මට ලොකු අත්දැකීමක් ලැබුණා. මම වෙනත් වෘත්තියක නියැළෙන කෙනෙක් නිසා මට නිර්මාණ ගොඩකට සම්බන්ධ වෙන්න කාලය අඩුයි. මම රොෂාන් රවීන්ද්‍රගේ තණමල්විල කොල්ලෙක් නාට්‍යයට සම්බන්ධ වුණා. මට ගැළපෙන මට සාධාරණයක් කරන්න පුළුවන් චරිතයක් නම් මම සම්බන්ධ වෙනවා.

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

More News »