මගේ ආදරේ වෙනුවෙන් ලොකු කට්ටක් කෑවා

Feb 12, 2019 09.39am
feature-top
ඔබගෙයි රොෂාන්ගෙයි හමුවීම සිදුවුණේ?

මම එයාව පෙඩි කාලේ ඉඳලම දන්නවා. ඊට පස්සේ මම උසස් පෙළ කළාට පස්සේ එයාව අහම්බෙන් වගේ හම්බෙලා කතා කළා. පස්සේ එයාම ඇහුවා මට කැමැතියි ගෙදරින් අහන්නද කියලා. මාත් ඉතින් ටික කාලයක් ආශ්‍රය කරලා කැමැති බව එයාට කිව්වා.

මුණගැහෙනකොට ඔහු කොයි වගේ කෙනෙක්ද?

ඒ කාලේ එයා හරියට කියවනවා. මට පොඩි දරුවෙක්ට වගේ හැමදෙයක්ම කියලා දෙනවා.

පෙම්වතා වුණාම?

හරි දඟයි. හරියට විහිළු කරනවා. සැහැල්ලුවෙන් ඉන්න චරිතයක්. හැමෝම එක්කම එහෙම තමයි.

සැමියෙක් විදියට රොෂාන්?

දැන් මම තමයි ගොඩක් කියවන්නේ. එයා හරියට වගකීම් ඔළුවට අරගෙන කටයුතු කරනවා. හැමදෙයක්ම මට කියනවා. හරිම සහයෝගයෙන් අපි ඉන්නේ.

ජනප්‍රියත්වය එක්ක ඔහුගේ චරිතය?

එයා මට නළු පාට් දාලත් නැහැ. එයා බොහොම සාමාන්‍ය විදියට ඉන්නවා.

ඔහුගේ ජනප්‍රියත්වය ඔබට බලපෑවේ කොහොමද?

කොහේ ගියත් කට්ටිය ඇවිත් කතා කරනවා. ෆොටෝස් ගන්නවා. තරුණියන්ගේ ආකර්ෂණය නම් ගොඩාක් තියෙනවා. මට ගොඩක් සතුටුයි එයා ගැන. ඒ ජනප්‍රියත්වය අපිට කිසිම බාධාවක් නෙවෙයි.

සාමාන්‍ය ජීවිතයේදී ඔහු කොයි වගේ චරිතයක්ද?

ගොඩක් සරලයි. ගෙදර හැම දෙයක්ම අපි දෙන්නම කර ගන්නවා. මට උයන්න වුණත් එයා උදවු කරනවා. භාවනා කරනවා. බුදු පහන තියලා තමයි හැම වැඩක්ම පටන් ගන්නේ. එයා මට හුඟක් ගෞරව කරනවා.


වගකීම් දරන්න පුළුවන් කෙනෙක්ද?

ඔව්. එළියෙන් පෙනෙන චරිතයට වඩා හොඳට වගකීම් දරන්න පුළුවන් කෙනෙක් එයා.

රංගනයේ කාර්යබහුලත්වය එක්ක ඔහුට ඔබ සහ පවුල මඟහැරුණු අවස්ථා නැද්ද?

ඔහු ගොඩක් කාර්යබහුලයි. නමුත් ඔහුට අපිව මඟහැරිලා නැහැ. රූගත කිරීම්වලදී විවේකයක් ලැබුණම මට කෝල් කරනවා. හැම මාසෙම අපේ අම්මා තාත්තව බලන්න යනවා. පවුලට හරිම ළැදියි.

ජීවිතයේ ඔහුට මඟහැරුණ දේවල්?

මම හිතන්නේ එයාට ඕන තැන එයා අද ඉන්නවා. කිසිම දෙයක් එයාට මඟහැරිලා නැහැ.

රොෂාන්ගේ විනෝදාංශ මොනවද?

පොත් කියවන්න, චිත්‍රපට බලන්න ඒ වගේම මාත් එක්ක ඇවිදින්න යන්නත් ආසයි.

වැඩිපුරම යන්න කැමැති තැන්?

නුවර, පොළොන්නරුවේ යන්න කැමැතියි. නුවරඑළියටත් කැමැතියි.

ඔහු වැඩිපුරම ආදරේ කාටද?

මම හිතන්නෙ මට. ඒ වගේම එයාගෙ අම්මත් ඉන්නවා.

ඔහුට නැතිවම බැරි අය?

මම. ඒ වගේම අම්මයි, අප්පච්චියි.

ඔහුට අහිමි වුණු දේවල්?

මිනිස්සු විශ්වාස කරලා දේවල් දීලා තියෙනවා. ඒවා ආයෙත් ලැබිලා නැහැ. හැබැයි එයා ඒ දේවල් ගැන හිතන්නෙ නැහැ.

ඔහු ජීවිතය ගැන සැහැල්ලුවෙන් හිතන කෙනෙක්ද? සීරියස් විදියට හිතන කෙනෙක්ද?

අපේ ජීවිත සරලයි. ඒත් දැන් කලින්ට වැඩිය ටිකක් හොඳට දේවල් ගැන හිතනවා. විවාහ වෙන්න කලින් බොහොම සැහැල්ලුවෙන් තමයි එයා දේවල් ගැන හිතුවේ.

රොෂාන් වැඩිපුරම සතුටු වුණු දවස?

මම හිතන්නේ මම ආදරෙයි කිව්ව දවස වෙන්න ඇති එයා වැඩිපුරම සතුටු වුණු දවස. ගොඩක් ලොකු කට්ටක් කෑවනෙ ඉතින් මගේ ආදරේ වෙනුවෙන්.

රොෂාන්ට දුකක් හිතුණම?

ඇස්වලට පොඩි කඳුළක් එනවා. හැබැයි ඒක දකින්නෙ මම විතරයි. අනෙක් අයට ඒ දුක පෙන්නන්නෙ නැහැ.

රොෂාන්ට තරහ ගියාම කොහොමද?

අසාධාරණයේදී තරහ යනවා. ගොඩක් කියවගෙන යනවා. නමුත් ගහගන්න තරම් මෝඩ චරිතයක් නෙවෙයි. ඔළුවෙන් තමයි හැම තීරණයක්ම ගන්නෙ. හැබැයි මොන දේ වුණත් හිතේ කහටක් තියා ගන්න කෙනෙක් නෙවෙයි එයා. තරහක් ආවත් ඒක එතැනින් ඉවර කරනවා.

ඔහු ගැන අහන්න ලැබුණු සතුටුම ආරංචිය?

විශේෂ දෙයක් නැහැ. ඔහු කරන කියන හැම දෙයක් ගැනම වගේ මට සතුටුයි.

ඔහු ගැන අහන්න ලැබුණු නරකම ආරංචිය?

එහෙම නැහැ. විවිධ ගොසිප් තියෙනවා. ඒවා ඉතින් ප්‍රසිද්ධ පුද්ගලයන්ට ස්වාභාවික දේවල්. ඒවා අපි දෙන්නම ගණන් ගන්නෙ නැහැ.

රොෂාන් ගැන නරක ආරංචියක් ආවොත් මොකද කරන්නෙ?

මම අපි දෙන්න සහ පවුලේ අය ඇරුණම වෙනත් තුන්වැනි පාර්ශ්වයකින් කියන දෙයකට ඇහුම්කන් දෙන්නෙ නැහැ. ගැහැනියක් වුණාම මෝඩ සහ ඉක්මන් වෙන්න හොඳ නැහැ. තමන් ළඟ ඉන්න පුද්ගලයා ගැන අනෙක් අයට වඩා හොඳටම දන්නෙ තමන්. ඉතින් ඒ එන ආරංචිය ගැන හොයලා බලනවා. ඒත් රොෂාන් ගැන කවදාවත් වැරැදි ආරංචියක් එන්නෙ නැහැ.

රොෂාන්ගේ ජීවිතයට නැතිවම බැරි දේවල්?

බුදු දහමට ගොඩක් නැඹුරුයි. අනෙක් ආගම්වලටත් ගරු කරනවා. යාන වාහන, ගෙවල් ‍ෙදාරවල් වගේ භෞතික දේවල්වලට නම් ලොකු ආසාවක් නැහැ.

ජීවිතයේ ජය ගත්ත දේවල්?

අද එයා ආර්ථික, සමාජීය සහ ආධ්‍යාත්මික වශයෙන් හොඳ තැනක ඉන්නවා. ඒ තමයි එයා ජයගත්ත දේවල්.

ඔහුට රඟපාන්න ගැළපෙනම නිළිය කවුද?

මම හිතන්නෙ ඕනම නිළියක් ගැළපෙනවා. ඕනම කෙනෙක් එක්ක එයාට ඉක්මනට අනුගත වෙන්න පුළුවන්.

රොෂාන් මොන වගේ විලාසිතාවලටද කැමැති?

විශේෂයක් නැහැ. ගොඩක් වෙලාවට තැනට උචිත විදියට අඳිනවා. ඩෙනිමයි ටී ෂර්ට් එකයි තමයි ගොඩක් වෙලාවට අඳින්නෙ.

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

More News »