මනුරංගගේ සැබෑව බිරිය දකින හැටි

Feb 05, 2019 10.13am
feature-top
මනුරංග බොහෝ දෙනෙක් හඳුන ගන්නේ ගී පද රචකයෙක් විදියට. ඔහු ලිව්ව විවිධ ගීත බොහෝ ජනප්‍රිය වුණා වගේම විවිධ විවේචනවලටත් ලක්වුණු අවස්ථා තියෙනවා. දැන් ඔහු ගුවන් විදුලි නාට්‍ය රචනයටත් එකතු වෙලා. ඒ වගේම ඔහු නිවේදකයෙක්. මේ විදියට අපි මනුරංගව දන්න ප්‍රමාණයට වඩා මනුරංගගේ බිරිය දිල්තරා ඔහු ගැන දන්න ප්‍රමාණය වැඩියි. මොකද ඔහුත් එක්ක පස්සෙන්ම ඉන්නේ ඇය. ඒ නිසා ඔහු ගැන දන්න දේ කියන්න දිල්තරා හදගැස්මට එකතු වුණා.

ඔබ හා මනුරංග දැන හඳුනගත්තේ කොහොමද?

අපි විදි කිහිපයකින් මුණ ගැහුණා. මම doodle Artist කෙනෙක්. මම ඉස්සර චිත්‍ර ඇඳලා ඒ ෆොටෝ ෆේස්බුක් දානවා. මනු මාව ෆේස්බුක් එකෙන් follow  කරලා තිබුණා. දවසක් මම පාරේ යනකොට කාර් එකක් ඇවිත් නැවැත්තුවා. ඩ්‍රයිවින් සීට් එකට එහා පැත්තේ හිටිය ළහිරු පෙරේරා මම හඳුනා ගත්තා. ඒත් මට කතා කළේ ඩ්‍රයිවින් සීට් එකේ හිටිය කෙනා. එයා මගෙන් ඇහුවා ඔයා දිල්තරා ජයලත් නේද කියලා. මම ඔව් කිව්වා. ඒත් මම එයාව එතකොට දන්නෑ. ඊට පස්සෙත් කිහිපවතාවක් විවිධ වැඩවලදී අපි මුණ ගැහුණා.

ඒ මුණ ගැහීම්වලින් මනුරංග කොයි වගේ කෙනෙක් විදිහටද ඔබට දැනුණේ?

මේ දැන් ඉන්න මනුම තමයි. අපේ හිටපු යාළුවන්ගෙන් අදටත් හිටිය විදියටම ඉන්නේ මනු. වැඩිය දඟලන්නේ නැහැ. කතාකරන්නේ නැහැ. ඒ කාලෙත් එහෙමයි දැනුත් එහෙමයි.


පෙම්වතා කාලේ මනු?

හරිම නිවිච්ච, දඟලන්නේ නැති චරිතයක්. දැන් වගේම තමයි.

සැමියෙක් විදියට

දැන් එයා වෙනස්. දැන් එයාට වගකීම් තියෙනවා. එයා ඒවා හරියට කරනවා. ඒ වගේම වගකීම් මඟහැරුණු අවස්ථාත් තියෙනවා.

මනුරංග කියන්නේ ජනප්‍රියත්වය එක්ක වෙනස් වෙන කෙනෙක්ද?

අදටත් අපි කොහෙ හරි ගිහින් ඉද්දි කවුරුහරි ඇවිත් සෙල්ෆි ගත්තොත් හෝ කතා කළොත් මනු වාහනේට නැඟලා මගෙන් අහනවා "මිනිස්සු මාව දන්නවා නේද?" කියලා. එයා අදටත් හිතන්නේ එයා මිනිස්සු දන්න ප්‍රසිද්ධ චරිතයක් නෙමෙයි කියලා.

එයාගේ ජනප්‍රියත්වය ඔබට බලපාන්නේ කොහොමද?

අපි ගොඩක් වැඩ එකට කරන්නේ. එකට යන්නේ එන්නේ. ඉතින් ඒ ජනප්‍රියත්වයේ අමුත්තක් හෝ බාධාවක් මට තේරෙන්නේ නෑ.

වැඩ රාජකාරිවලට හිරවුණු ඔහුට පවුල සහ ඔබව මඟහැරෙන්නේ නැද්ද?

නැහැ. මොකද මනු උදේ 8 සවස 5 ජොබ් එකක් නෙමෙයි කරන්නේ. එයා වැඩ කරන්නේ මාත් එක්ක. යන්නේ එන්නේ මාත් එක්ක. අපි ගෙදර හැමෝම ගොඩක් වෙලාවට එකට ඉන්නේ. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නෑ.


මනුට ජීවිතයේ මඟ හැරුණු දේවල් තියෙනවාද?

එයා සින්දු කියන්න ගොඩක් කැමැතියි. මම සංගීතය ගැන වැඩිය දන්නේ නෑ. ඒත් එයා කියනවා. මට ගීත ගයනවා ඇහිලා තියෙනවා. පුංචි කාලේ ඉඳලා එයාට මඟහැරුණු දේ ඒක වෙන්න ඇති.

මනුරංග කියන්නේ වගකීම් දරන්න පුළුවන් කෙනෙක්ද?

ඔව්, මුලින් මුලින් නම් එයාට වගකීම් දරන්න බැහැ. ඒත් දැන් පවුල් ජීවිතයට හුරුවෙලා වගකීම් දරනවා.

ඔහු ජීවිතය ගැන සැහැල්ලුවට හිතන කෙනෙක්ද? සීරියස් විදියට හිතන කෙනෙක්ද?

සැහැල්ලුවට හිතන කෙනෙක්. ඒත් විවාහ වුණාට පස්සේ ජීවිතේ දේවල් ගැන සීරියස් හිතනවා වගේ.

ඔහු අද ඉන්න තැන ගැන ඔබට මොකද හිතෙන්නේ?

ගොඩක් සතුටුයි. එයාට ඕන වුණේ නැහැ උදේ 8 හවස 5 රැකියාවක් කරන්න. ඉතින් එයාට ඕන දේ එයා ඉෂ්ට කරගෙන තියෙනවා. එයාගේ ගමන ගැනත් මට සතුටුයි.

වැඩිපුරම ආදරේ කරන්නේ කාටද?

මට සහ මවුපියන්ට.

ගොඩක් දුක හිතුණු අවස්ථාවල ඔහු කොහොමද හැසිරෙන්නේ?

දරා ගන්න බැරි දුකක් නම් එයා අඬනවා.

ලොකු සතුටක් දැනුණාම?

එයා කෑගහලා ඒ සතුට ප්‍රකාශ කරනවා.

තරහා ගියාම?

පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා. උපරිම ඉතින් කෑගහනවා විතරයි.

ඔහු වැඩිපුර යන්න කැමති තැන්?

මම හිතන්නේ ගෙදර කාමරේට. නිස්කලංක තැනකට කැමැතියි. අව්ව නැති රස්නේ නැති තැනකටත් ආසයි. බීච් යන්න නම් කැමැති නැහැ.

ඔහු ගැන අහන්න ලැබුණ සතුටුම ආරංචිය?

හැමෝම එයා ගැන කියනවා විශ්වාසවන්ත හොඳ චරිතයක් කියලා. ඒක තමයි මට අහන්න ලැබෙන සතුටුම ආරංචිය.

ඔහු ගැන අහන්න ලැබුණු නරකම ආරංචිය?

එහෙම නැහැ. අම්මා නම් කියන්නේ එයාට තරහා යනවා කියලා. ඒත් එයාට යන තරහා තරහා නෙමෙයි.

මොන වගේ විලාසිතාවලටද කැමැති?

වෙන කෙනෙක් නොකරන හරි සරල, චාම් විලාසිතා කරන්න කැමැතියි.

ජීවිතේ ජය ගත්ත දේවල්?

කලාව පැත්තට ආපු එක සහ එයා අතින් ලියැවුණු ගීත වගේ දේවල්වලින් එයා ජීවිතය ජය ගත්තා.

ජීවිතයේ ප්‍රධාන තැනක් දෙන්නේ මොනවටද?

පවුලට සහ එයාගෙයි මගෙයි සම්බන්ධයට ලොකු තැනක් දෙනවා.

විනෝදාංශ මොනවාද?

පැත්තකට වෙලා දේවල් හිතන එක තමයි එයා කරන්නේ. එයාට පුටුවකුයි තේ එකකුයි දුන්නොත් ඇති. එයා පාඩුවේ එයාගේ වැඩ ටික කරගෙන ඉන්නවා.

මනුගේ අපි නොදන්න රහස්?

මනු චූටි බබාලට හරිම ආසයි. මම හිතන්නේ ඒක කවුරුත් දන්නේ නැහැ.

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

More News »