වසර හතක් බලන් ඉඳලා එළියට දැම්ම සංගිලි

Jan 31, 2019 09.56am
feature-top
ඔබේ කුලුඳුල් චිත්‍රපටය දැන් තිරයට ඇවිත්. එහි නිර්මාණ පසුබිම ගැන මුලින්ම කතා කරමු.

"සංගිලි" කියන්නේ මගේ පළමු චිත්‍රපටය. මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි "සංගිලි" කියන්නේ. වැඩිවියට පත්වෙන ගැහැනු දරුවකු තරුණවියට පාතබමින් සමාජයට මුහුණ දෙද්දී ජීවිතයේ දැනෙන අනාරක්ෂිතකම, අභියෝග තමයි මේ කතාවේ කියැවෙන්නේ. මෙය මම ලංකාවේ සංස්කෘතියට, අපේ රටට ගැළපෙන විදියට කරපු චිත්‍රපටයක්.

චිත්‍රපටය නිර්මාණය කරලා එය ප්‍රදර්ශනය කරන්න ඔබට වසර හතක් බලන් ඉන්න වුණා නේද?

ඔව්. මේ චිත්‍රපටය නිර්මාණය කරලා දැන් වසර හතක් විතර වෙනවා. රැඟුම් පාලක මණ්ඩලයෙන් චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න අනුමැතිය ලැබිලත් අවුරුදු පහකට වැඩියි. ලංකාවේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන්න නිසි ක්‍රමවේදයක් නෑ. මෙච්චර කාලයක් චිත්‍රපටය ප්‍රදර්ශනය කරගන්න බලන් ඉඳීම තුළම නිර්මාණකරුවාගේ නැවුම් කාලය නැති වෙලා යනවා. කර්මාන්තයෙන් පිට මොකක්දෝ ක්‍රියාපිළිවෙළක් නිසා තමයි මෙහෙම සිද්ධ වෙන්නේ.

චිත්‍රපටය ප්‍රදර්ශනයට ගෙනාවට පස්සෙත් ඔබට විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවුණා කියලා ආරංචියි..?

මගේ චිත්‍රපටය ඹ්ජ්ච් මණ්ඩලයේ තිරගත කරන්න ලැබුණේ. මට ප්‍රධානව දීලා තිබුණේ රිකී ශාලාව. දැන් රිකී පළමු එකේවත් චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන්නේ නෑ. ඒ ඇයි කියලා ඔවුන්ගෙන් ප්‍රශ්න කළාම පරිපාලනයේ දුර්වලකම්, ඔවුන්ගේ ගනුදෙනු ප්‍රශ්න වගේ පාවෙන උත්තර මට දෙන්නේ. මට චිත්‍රපටය කරන්න චිත්‍රපට ශාලා 27ක් දීලා තිබුණා. ඒ අතරිනුත් සමහර ශාලාවල ෂෝ ටයිම් එකයි දෙකයි තියෙන්නේ. චිත්‍රපටය ප්‍රදර්ශනය කළාමත් ඒ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ.

චිත්‍රපටවල දර්ශනවාර ගලවන්නේ ප්‍රේක්ෂකයෝ අඩු නිසා කියලා සිනමා ශාලා හිමියෝ කියනවා. ඔබටත් එවැනි ඉරණමක්ද තියෙන්නේ...?

චිත්‍රපටය ප්‍රේක්ෂකයෝ නරඹනවද නැද්ද කියලා බලන්නත් අඩුම තරමේ චිත්‍රපටය සති දෙකක්වත් පෙන්නන්න ඕන. නිසි විදියට පෙන්නලා ප්‍රේක්ෂකයෝ එය නරඹන්නේ නැත්තම් චිත්‍රපටය ගැලෙව්වට කමක් නෑ. ප්‍රේක්ෂකයෝ තමයි චිත්‍රපටයේ හොඳ නරක කියන්න ඕන. එහෙම නැතිව වෙන අය පූර්ව නිගමනවලට ඇවිත් චිත්‍රපටයේ දර්ශන වාර අඩු කරලා හරි යන්නේ නෑ.

ඔබට චිත්‍රපටය වෙනුවෙන් ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොයි වගේද?

ගොඩක් අය කියලා තිබුණේ කාලයකට පස්සේ හොඳ වෙනස් විදියේ චිත්‍රපටයක් බලන්න ලැබුණා කියලා.

ඔබේ චිත්‍රපටය වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියන වර්ගීකරණයට තමයි යටත් වන්නේ. ඒ වර්ගීකරණය ඔස්සේත් ප්‍රේක්ෂකයෝ සීමා වෙනවා නේද?

රැඟුම් පාලක මණ්ඩලය මගේ චිත්‍රපටය ඒ වර්ගීකරණයට යොමුකළේ. මම ඇහුවා ඒ ඇයි කියලා. ඔවුන් කිව්වේ මේ කතා තේමාව නිසා එය වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියලා වර්ගීකරණය කළා කියලා. චිත්‍රපටය දෙවතාවක් පෙන්නලත් ඒ තීරණය ලැබුණේ. ඊට පස්සේ මම ඒ ගැන ප්‍රශ්න කරන්න ගියේ නැහැ.

ඔබේ චිත්‍රපටයත් ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයත් එකම දවසේ තිරයට ආවේ. ඒ චිත්‍රපටයත් එක්ක ප්‍රේක්ෂකයෝ දිනාගන්න ලොකු තරගයක් දෙන්න වෙයි නේද?

මට මුලින්ම චිත්‍රපටය රිලීස් කරන්න දින දුන්නේ දෙසැම්බර් 28. ඊට පස්සේ ඒක කල් ගිහින් ජනවාරි 11 දුන්නා. ඒත් ඒ වෙනකොට නාලක විතානගේ කරපු චිත්‍රපටය තිරගත වුණ නිසා නැවතත් මගේ දිනය 18 වැනිදාට කල් ගියා. එකම දවසේ චිත්‍රපට දෙකක් තිරගත වෙනවා කියලා මටත් අවධානයක් තිබ්බේ නෑ. අනුරුද්ධ කියන්නේ මගේ හිතවතෙක්. මට නිර්මාණය පැත්තෙන් තරගයක් නෑ. නමුත් කෙනෙක්ට හයිබි්‍රඩ් එකක් දීලා මට නෝමල් කාර් එකක් දීලා රේස් පදින්න කිව්වොත් ඒකට හැකියාවක් නැහැ. අඩු ශාලා ප්‍රමාණයක් දීලා මාව මුල්ලට දාලා තරග කරන්න අමාරුයි.

මේ නිර්මාණයට අවශ්‍ය චරිත රංගනයට ඔබ නළු නිළි පිරිස වරණය කරගත්තේ කුමන පදනමකින්ද?

මේ චිත්‍රපටයේ ඉන්නේ මහපොළොවේ පය ගහලා ඉන්න චරිත. ගමක් ඇතුළේ ජීවත්වන ස්වාභාවික චරිත නිරූපණය කරන්න ගැළපෙන රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක් මට ඕන වුණා. මම සනත් අයියව හම්බවෙන්න යද්දි ඔහු හිටියේ මගේ චරිතයට මම මවාගෙන හිටපු පෙනුමෙන්. සාරංගත් ඒ දවස්වල ඔය චිත්‍රපටයේ තියෙන විදියට රැවුල කොණ්ඩේ වවලා හිටියේ. මට ඔවුන්ව පහසුවෙන්ම මේ චරිතවලට තෝරගන්න පුළුවන් වුණා. දුලානි අනුරාධා, වීනා ජයකොඩි, විමල් කුමාර ද කොස්තා, වසන්ති චතුරානි වගේ බොහෝ දෙනෙක් මේ නිර්මාණයට දායක වෙනවා.

චිත්‍රපටයට දායක වුණ පිරිසගෙන් ඔබට අවශ්‍ය වුණ දායකත්වය ලබා ගන්න පහසු වුණාද..?

මේ නිර්මාණයට දායක වුණු හැමෝම හොඳ දායකත්වයක් දුන්නා. ගමේ ලොකේෂන් හොයා ගන්න වජිර කියලා කෙනෙක් ගොඩක් උදවු කළා. සහාය අධ්‍යක්ෂ නිලන්ත පෙරේරා, හේමචන්ද්‍ර පෙරේරා සහ ශාන් මාකඳුර කලා අධ්‍යක්ෂවරු දෙදෙනා, කීර්ති උඩවත්ත නිෂ්පාදකවරයා නිෂ්පාදන කළමනාකරු නිරංජන් පන්නිපිටිය ඇතුළු සියලුදෙනා මට පුදුමාකාර සහායක් දුන්නේ.

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

More News »