වික්ටර් රත්නායකගේ සරස රසය නෙළුම් පොකුණෙන් විහිදෙන්නයි යන්නේ

Jan 30, 2019 09.17am
feature-top
ඔබේ ඒක පුද්ගල ප්‍රසංගය නැවතත් නෙළුම් පොකුණට ගෙනෙන්න සූදානම් වෙනවා නේද?

ඔව්. මගේ සරස රත්නමය ගී අමානන්දය 9 වැනි ප්‍රසංගය පෙබරවාරි 2 වැනිදා නෙළුම් පොකුණේදී පවත්වනවා. මගේ ඒකපුද්ගල ප්‍රසංගය දෙවැනි වතාවට තමයි නෙළුම් පොකුණෙදි පවත්වන්න සූදානම් වෙලා ඉන්නේ. එදින ප.ව. 6.30ට තමයි ප්‍රසංගය පටන් ගන්නේ. එය සංවිධානය කරන්නේ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන්. මෙහි ප්‍රවේශ පත්‍ර නුගේගොඩ, මහරගම සරසවියෙන් බොරැල්ල සදීපා, යුනියන් පෙදෙස සලාකා සහ ථරබඪජඬඥබඵ.තඬ වෙතින් ලබා ගන්න පුළුවන්.

ඔබ ප්‍රසංගයෙන් ප්‍රසංගයට ඔබේ ගීතවල වෙනසක් කරනවාද?

නැහැ. ප්‍රසංගයෙන් ප්‍රසංගයට එහි ගායනා කරන ගීත වෙනස් කළොත් ඒක රසිකයන්ට කරන අසාධාරණයක්. එක් ප්‍රසංගයක ගයපු ගීත අනෙක් ප්‍රසංගයේ නැත්නම් ඒක ඒ ප්‍රසංගය රසවිඳින්න එන අයට කරන අසාධාරණයක්නේ. මම මෙවර නෙළුම් පොකුණෙදි පවත්වන ප්‍රසංගයට නම් අලුත් ගීත දෙකක් ඇතුළත් කර තිබෙනවා. නෙළුම් පොකුණේ පවත්වන දෙවැනි ප්‍රසංගය නිසා තමයි එවැනි වෙනසක් කරලා තියෙන්නේ.

"ස" ප්‍රසංගයට වගේම ඔබේ "සරස" ප්‍රසංගයටත් ඉහළ රසික ආකර්ෂණයක් තියෙනවා කියලා ආරංචියි?

ඇත්තටම මගේ මේ ඒක පුද්ගල ප්‍රසංගයත් අති සාර්ථකව කරගෙන යනවා. පසුගිය දවස්වල රුහුණු විශ්වවිද්‍යාලයේ රවීන්ද්‍රනාත් තාගෝර් ශාලාවේදී මගේ ප්‍රසංගය පැවැත්වූවා. එහි ආසන 1500කට වඩා තියෙනවා. එහි සියලු ප්‍රවේශ පත්‍ර අවසන් වුණා. වයඹ විශ්වවිද්‍යාලයේ කළ ප්‍රසංගයත් ඉතාම සාර්ථකව සිද්ධ වුණා. සුවිශේෂත්වය වන්නේ මගේ ප්‍රසංගය පවත්වන්න දවස් තුන හතරකටත් කලින් ප්‍රවේශ පත්‍ර විකිණී අවසන් වෙනවා.

විදේශ රටවලිනුත් 'සරසට' ආරාධනා ලැබිලා තියෙනවද?

ඔව්. රටවල් තුන හතරකින්ම දැනට ආරාධනා ලැබිලා තිබෙනවා ප්‍රසංගය පවත්වන්න. තාම ඒවායේ දින නියම වෙලා නෑ. දින නියම වුණාට පසුව ප්‍රසංගය ඒ රටවලට අරගෙන යනවා.

දැන් ප්‍රසංග කලාවෙත් විවිධ රැලි තියෙනවා. ගීතවලින් විතරක් රසිකයන් අල්ල ගන්න නොහැකියි. ඊට නර්තන ආටෝපයන් එක්විය යුතුයි කියලා සමහරු කියනවා. ඒත් ඔබ රසිකයන් අල්ලාගෙන ඉන්නේ ගීතයෙන් විතරයි?


මගේ ප්‍රසංගවල නර්තනය නෑ. මම ආකර්ෂණය වින්දනය ලබා දෙන්නේ ගීතයෙන්. නර්තනය නෑ කියලා මගේ ප්‍රසංගවලට එන රසික පිරිස අඩුවෙලා නැහැ. මම තාක්ෂණික මෙවලම් වුණත් භාවිත කරන්නේ ගීතයේ රසයට හානියක් නොවන විදියට. ගීතයේ රසය මොට කරන්න මම කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නෑ.

කොතරම් කාලයක් ගියත් රසිකයෝ ඔබ වටා එකතු වෙලා ඉන්න රහසක් ඇති?

එදා වගේම අදත් රසික ජනතාව මගේ ගීත අහන්න නැඹුරුයි. එයට හේතුව මගේ ගීතවල අර්ථවත්, කාව්‍යමය, සංගීතමය වින්දනයක් තිබෙන නිසා.

සමහර ප්‍රවීණයන් මේ වෙනකොට තමන්ගේ ගීතවලට රූප රචනා කිරීමේ කාර්යයට යොමු වී තිබෙනවා. නමුත් ඔබ තාමත් ඔබේ ගීතවලට රූප රචනා කරන්නේ අඩුවෙන්?

අද ඉතින් රූපගත කිරීමක් කළාම තමයි ගීත ජනප්‍රිය වෙන්නේ. මම "මගේ සඳ ඇවිත්" ගීතයට රූප රචනයක් කළා. හැම ගීතයකටම රූප රචනා කිරීමේ බලාපොරොත්තුවක් මට නැහැ. ඉදිරියේදී රූප රචනා එක්ක ගීත දෙක තුනක් කරන්න සූදානම් කරගෙන ඉන්නවා.

දැන් ගීතවලට නිර්මාණය වන රූප රචනා ගැන ඔබට මොන වගේ අදහසක්ද තියෙන්නේ?

අද ගීතයේ අර්ථයට ඉඳුරාම වෙනස් රූප රචනා කරනවා. ඒවා සමාජ මාධ්‍යවලින් ජනප්‍රිය කරගන්නවා. මම එවැනි දෙයට යොමු වෙන්නේ නැහැ. ගීතයේ රසය නොනැසෙන යමක් තමයි රූප රචනයෙන් එළියට එන්න ඕනේ.

ඔබේ බිරියටත් සංගීත දැනුමක් තියෙනවානේ. ඇය නිර්මාණවලට දායක කරගන්න අදහසක් නැද්ද?

මගේ බිරිය හෂිනි බටහිර සංගීතය හදාරලා තියෙනවා. නමුත් ඇය සංගීත නිර්මාණ එක්ක බැඳෙන්නේ නෑ.

ඇය මගේ සියලුම දෙයට සහාය දක්වමින් සියල්ල සම්බන්ධීකරණය කරමින් මට සහාය දෙනවා.

දැන් ඔබේ ගීත එකතුවක් පෙන් ඩ්‍රයිව් එකක් ලෙසත් රසිකයන් අතර සැරිසරනවා. ඒ ගැනත් කියමු?

මගේ අලුත් සහ පරණ ජනප්‍රිය ගීත 50ක් පෙන් ඩ්‍රයිව් එකකින් නිකුත් කරලා තිබෙනවා. මේක චීනයේ යවලා තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. අපි මෙය කඩ සාප්පුවලට දාලා නැහැ. අපි මෙය ප්‍රසංගවලදී තමයි අලෙවි කරන්නේ. නැත්නම් යම් ඉල්ලුමක් ආවොත් අපි එය කුරියර් කරනවා. එයටත් මේ වෙන කොට හොඳ ඉල්ලුමක් තියෙනවා. දැන් වාහනවලත් ඩී.වී.ඩී. ප්ලේයර් නෑ. අලුත් තාක්ෂණයට නැඹුරු වුණේ එය බොහෝ අයට ප්‍රයෝජනවත් නිසා.

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

More News »