සිතිජ හමුදාවට බැඳෙයිද?

Jan 05, 2019 10.33am
feature-top
සිතිජ මේ දවස්වල ජයටම වැඩ වගේ?

ඔව්. මේ දවස්වල 'පූරි' සහ 'සුසුමට පවා රහසින්' ටෙලි නාට්‍යවලට රංගනයෙන් සම්බන්ධ වෙනවා. වැඩ නම් ටිකක් ජයයි.

ක්ෂේත්‍රයට ඇවිත් කෙටි කාලයක් තුළ සිතිජට ප්‍රධාන චරිත නිරූපණයටත් ආරාධනා ලැබුණාලු නේද?

ඔව්. ලාල් වසන්ත මහතාගේ තිර පිටපතක් සහ සේනක එදිරිසිංහ මහතාගේ අධ්‍යක්ෂණයක් වන

'ගමනේ යා' කියන ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය කරන්න මට අවස්ථාව උදා වුණා. එහි මම හමුදා නිලධාරියකුගේ චරිතය තමයි කරන්නෙ. ඒ වගේම 'ප්‍රාර්ථනා' කියලා ඉදිරියේදී විකාශය වීමට නියමිත ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතය කරන්න මට අවස්ථාව ලැබුණා.

ඒ කියන්නේ සිතිජ පුංචි තිරයෙදි හරි හමුදා නිලධාරියෙක් වුණා?

ඔව්. සෙල්ලක්කාර තරුණයෙක් යුද හමුදා සේවයට බැඳෙනවා. ඒත් එක්කම ඔහු පුහුණුව ලබා ගන්න හැටි සහ එහිදී ඔහුට මුහුණ දෙන්න වෙන සිදුවීම්, එහිදී හමුවෙන මිතුරන් එක්ක ජීවිතේ බෙදා ගන්න හැටි සහ ඔහුගේ ආදරය වගේ දේවල් එක්ක කතාව ගොඩනැඟෙනවා.

දැන් සිතිජට ලැබෙන අවස්ථා ගැන සතුටුද?

දැන් මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දෙකක් විතර වෙනවා. පළමුවැනි අවුරුද්දෙ මට වැඩ ගොඩක් හම්බවුණේ නැහැ. දෙවැනි අවුරුද්දෙ තමයි මට වැඩ ගොඩක් ලැබුණෙ. අපිට රඟපෑම තුළින්මයි රංගන හැකියාව දියුණු කරගන්න පුළුවන් වෙන්නෙ. ඉතින් මමත් ඒ රංගන හැකියාව දියුණු කර ගනිමින් ඉදිරියට යනවා.

දැනට ටෙලි නාට්‍ය කීයක විතර රඟපාලා තියෙනවද?

දැනට මම ටෙලි නාට්‍ය පහළොවක රඟපාලා තියෙනවා. 'ප්‍රාර්ථනා' තමයි මගේ පහළොස් වැනි ටෙලි නාට්‍ය.

මම මුලින්ම රංගනයෙන් දායක වුණේ දියණියෝ ටෙලි නාට්‍යයට. ඊට අමතරව කුටුකුටු මාමා, ඔක්කොම හොඳටයි, සියපතක සිහිනය, පූරි ඇතුළු තවත් ටෙලි නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා.

ක්ෂේත්‍රයට ආවේ හැදෑරීමක් එක්කද?

මම මුලින්ම ක්ෂේත්‍රයට ආවේ නිවේදකයෙක් විදියට. මම පාසල් කාලෙ නිවේදන කටයුතු කළා. ඒ වගේම විවාද කණ්ඩායම් නායකයෙක් ලෙසත් කටයුතු කළා.

ඒ වගේම විශ්වවිද්‍යාලයේ නිවේදන කටයුතුවලටත් මම සම්බන්ධ වුණා. ඒ විදියට තමයි නිවේදන කටයුතුවලට එකතු වුණේ.

රංගන ක්ෂේත්‍රයට පිවිසුණේ නම් අහම්බයෙන්. මම නිවේදන කටයුතු කරනවා දැකපු රවීන්ද්‍ර විජේරත්න මහත්මයා මට ඔහුගේ දියණියෝ ටෙලි නාට්‍යයට ආරාධනා කළා. ඒ විදියට තමයි රංගන කටයුතුවලට පිවිසුණේ. ඊට පස්සෙ 'දුරුතු' සිනමා පාසලෙන් රංගනය පිළිබඳ හැදෑරීමක් කළා.

සිතිජ චරිත තෝරාගනිද්දී විශේෂයෙන් සැලකිල්ලක් දක්වන්නේ මොන වගේ කාරණා ගැනද?

මේ වෙද්දී මම කරපු චරිතත් එක්ක ටෙලි නාට්‍ය තුළ චරිතය කොයිතරම් විකාශය වෙනවද කියන එක මං අනිවාර්යයෙන්ම බලනවා. ඒක විතරයි මම අනිවාර්යයෙන්ම බලන්නෙ. එතැනින් එහාට මැරයෙක්ගේ චරිතයක් වුණත්, හාමුදුරු කෙනෙක්ගේ චරිතයක් වුණත්, නිර්ධන පන්තියේ චරිතයක් වුණත් නිරූපණය කරන්න මම කැමැතියි.

සිතිජ පෙම්වතාගේ චරිතයට සීමා වෙන්න කැමැති නැද්ද?

ඕන චරිතයක් නිරූපණය කිරීම තුළ පමණයි ප්‍රේක්ෂකයාට අපේ දක්ෂතාව පෙන්වන්න පුළුවන්කම තියෙන්නෙ. හැමදාම පෙම්වතාගේ චරිතය කළාට පස්සෙ සදාකාලික පෙම්වතෙක් වෙනවා. කොමඩි චරිතම කළොත් සදාකාලික කොමඩියක් වෙනවා. එහෙම වෙන්න ඕනෙ නැහැ. විවිධ චරිත තමන්ට පුළුවන් ආකාරයට කරන්න ඕනෙ. එහෙම කළොත් විතරයි හැම පැත්තටම දක්ෂයි කියලා ප්‍රේක්ෂකයන්ට පෙන්නන්න අවස්ථාව ලැබෙන්නෙ.

නළුවෙක් විදියට සිතිජට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් ඉතාම හොඳයි. මගේ නිවේදන කටයුතු බලපු ඇක්ටින් බලපු ගොඩක් අය මට ෆේස්බුක් එකෙන් මැසේජ් කරලා ප්‍රතිචාර දක්වනවා. සමහර ඒවාට රිප්ලයි කරනවා. සමහර ඒවාටනම් රිප්ලයි කරන්න බැරි වෙනවා.

කාර්යබහුල ජීවිතයක් ඇතුළේ විවේකයක් ලැබුණම සිතිජ මොකද කරන්නෙ?

වෙලාව ලැබුණොත් මම මගේ යාළුවො එක්ක ඇවිදින්න යනවා. ඒක මරු.

පුංචි තිරයේ මේ තරම් අවස්ථා ලැබුණු සිතිජට සිනමාවේ අවස්ථා ලැබෙන්නේ නැද්ද?

චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ නිර්මාණ ගැන ඉදිරියේදී බලමු.

ලබන වසරේත් සිතිජට වැඩවලින් ජය වෙයිද?

ලබන අවුරුද්දෙ ජනවාරිවල අලුත් වැඩක ෂූටින් පටන් ගන්නවා. ඒක චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් අධ්‍යක්ෂණය කරන ටෙලි නාට්‍යයක්. ඊට අමතරව ටෙලි නාට්‍ය පහකට විතර කතා කරලා තියෙනවා. කරපු ටෙලි නාට්‍ය කිහිපයකුත් විකාශනය වෙන්න තියෙනවා.

මේ වැඩත් එක්ක ලබන අවුරුද්දේ කාර්යබහුල වෙයි.

සිතිජට ආදරය කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් යමක් කියන්නත් ඇති?

මම නිවේදන කටයුතු කරන කාලෙ ඉඳන් අද වෙනකම් මට ආදරය කරන ප්‍රේක්ෂකයො මාත් එක්ක හිටියා. ඉදිරියටත් ඒ වගේම ඉන්න. මගේ රංගනයේ හෝ මගේ නිවේදන කටයුතුවල හරි මොකක් හරි වැරැද්දක් දැක්කොත් ඒක කියන්න. මොකද අපිට වඩා අපි කරන දේවල් පේන්නෙ ප්‍රේක්ෂකයන්ට. මම ආසයි වැරැදි හදාගෙන ඉදිරියටම යන්න.

ඔබේ ගමන එන්න උදවු කරපු අයවත් මතක් කරමු?

මගේ අම්මා, තාත්තා, අයියා නැත්නම් මට මෙච්චර දුරක් එන්න ලැබෙන්නෙ නැහැ. මම ගුරුහරුකම් ලබාගත්ත ගුරුවරු, අධ්‍යක්ෂවරු සහ මාත් එක්ක මේ මොහොතේ ඉන්න යහළුවන් මාත් එක්ක වැඩ කරන කලාකරුවො මතක් කරන්නම ඕන.

සිතිජ දැන් පෙම්වතෙක්ද?

පෙම්වතෙක් වෙලා හිටියා. ඇය ක්ෂේත්‍රයේම කෙනෙක්. දැන් ඒ සබඳතාවට තිත තියලා ඉවරයි.

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

More News »