ගැහැනු ළමයින්ව සිප ගන්නවට ඇය කැමැති නැහැ

Jan 01, 2019 10.25am
feature-top
කොහොමද ජීවිතේ?

ජීවිතේ සෑහෙන්න හොඳයි. ඒ වගේම ටිකක් කාර්යබහුලයි. මම ඇඟලුම් ව්‍යාපාරිකයෙක්. ඉතින් මේ උත්සව කාලය නිසාත් කාර්යබහුලයි. ඒ වගේම රූගත කිරීම්වලටත් සහභාගි වෙනවා.

සුමිරාන් ගොඩක් කාලෙකට පස්සේ නේද "නීල පබළු" හරහා ප්‍රේක්‍ෂකයන් අතරට ඇවිත් ඉන්නේ?

ඔව්, මම අවුරුදු හයකට පස්සේ තමයි ආපහු සැරයක් ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වෙන්නේ.

කොහොමද මේ අවස්ථාව ලැබුණේ?

මම රංගනයට වඩා වැඩි තැනක් දීලා තියෙන්නේ නිවේදන කටයුතුවලට. මම නිවේදන කටයුතු සඳහා සිරසට ගියපු අවස්ථාවක චන්දන සූරියබණ්ඩාර මහතා මට යෝජනාවක් කළා "නිවේදන කටයුතුවලට කලින් රංගනයට දායක වෙමුද" කියලා. පසුව ඔහු මාව යොමු කළා ලලිත් මහත්මයාට.

පසුගිය අප්‍රේල් මාසේ තමයි මට ආරාධනාව ලැබුණේ. අප්‍රේල් කියන්නේ සීසන් එක. මගේ ව්‍යාපාර කටයුතු සමඟ මට ඒක භාර ගන්න අපහසු වුණා. ඒ නිසා මම කිව්වා කාර්ය බහුල නිසා වෙන වැඩකදී හමුවෙමු කියලා. ඒත් මට එතුමා කිව්වා "නෑ මට ඔබතුමාවමයි ඕනෑ. ඒ දවස් ටික පහුවෙලා වැඩේ පටන් ගමු" කියලා. එහෙම තමයි නීල පබළු නාට්‍යයට සම්බන්ධ වුණේ.

වැඩිපුර නිර්මාණවල දකින්න නැත්තේ රංගනයට වැඩි කැමැත්තක් නැති නිසාද?

නැහැ. කාර්ය බහුලකම එක හේතුවක්. ඒ වගේම හිතට හරියන නිර්මාණයක් ලැබුණෙත් නැහැ. වැඩිපුරම මගේ බිරියට සහ එයාගේ අම්මට තමයි මාව ආයෙමත් ක්ෂේත්‍රයේ දකින්න ඕනෑ වුණේ. ඒ නිසාමයි ආයෙත් රංගනයට ආවේ.

වැඩ මඟහැරලා නීල පබළු නාට්‍ය භාර ගන්න විශේෂ හේතුවක් තිබුණද?

මේ චරිතය ගැන කිව්වම මට ආසාවක් ඇති වුණා. මොකද අපි දකින සාම්ප්‍රදායික ප්‍රේමවන්තයා නෙමෙයි මේකේ ඉන්නේ. ඒ චරිතයේ දරදඬුකම, සෙල්ලක්කාරකම, දඟකාරකම තියෙනවා වගේම මේක ව්‍යාපාරිකයකුගේ චරිතයක්. මාත් ඇත්තටම ව්‍යාපාරිකයෙක්. ඉතින් භාර ගන්න හිතුණා.

ඒ අවස්ථාව භාරගැනීම ගැන අද සතුටු වෙනවාද?

ලැබුණ අවස්ථාව ඉතාමත්ම හොඳයි. මොකද මේ වෙනකොට මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ලැබෙන ප්‍රතිචාරත් එක්ක ලැබුණු අවස්ථාව ගැන ගොඩක් සතුටුයි.

සුමිරාන්ගේ කලා ජීවිතයේ ආරම්භය ගැන මතක් කරමුද?

මම කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේ. පාසල් කාලයේදීම නිවේදන කටයුතුවලට යොමු වුණා. උසස් පෙළ හදාරලා අවුරුද්දකින් විතර පස්සේ ධ්ඊව් එකේ විකාශය වුණ "සුළඟ වගේ ඇවිදින්" නාට්‍යයේ ප්‍රධාන චරිතය (පවන්ගේ චරිතය) ලැබුණා. ඊට පස්සේ ටෙලි නාට්‍ය දෙකක් විතර කළා.

ඊට පස්සේ මට සෑහීමකට පත් වෙන්න තරම් චරිතයක් ලැබුණෙත් නැහැ. මටත් රංගනයට දායක වෙන්න වුවමනාවක් ආවෙත් නැහැ. සෑහෙන ආරාධනා ආවා මම භාර ගත්තේ නැහැ. අවුරුදු පහක් විතර නිහඬව ඉඳලා තමයි නීල පබළු නාට්‍ය භාර ගත්තේ. නිවේදන කටයුතුවලට නම් ටිකක් සම්බන්ධ වුණා.

ප්‍රධාන චරිතවලින් විතරද නිර්මාණවලට දායක වෙන්න කැමැති?

එහෙම නැහැ. මට එක දවසක් විකාශය වුණත් කමක් නැහැ. හැබැයි මට කරන්න දෙයක් තියෙන්න ඕනෑ වගේම මිනිසුන්ට අගය කිරීමක් කරන්න පුළුවන් වෙන්න ඕනෑ.

තවත් අලුත් නිර්මාණවලට ආරාධනා ලැබුණද?

ඔව් ටෙලි නාට්‍යය දහයකට ‍ෙදාළහකට වගේ ආරාධනා ආවා. සතුටුදායක චරිතත් ලැබුණා. එකපාර ටෙලි නාට්‍ය කිහිපයකම පේන්න ගත්තම අපේ කිසිම අගයක් නැති වෙනවා. මම හිතන්නේ එකපාර එක චරිතයක් කළාම ඇති. දැන් කරන නිර්මාණය ඉවර වුණාට පස්සේ ඊළඟ නිර්මාණයක් ගැන බලනවා. අනිත් එක මම ටිකක් කාර්යබහුල කෙනෙක්.

රංගනයටද? නිවේදනයටද වැඩිපුර කැමැති?

රංගනයට කැමැතියි. ඒත් මම වැඩිපුරම කැමැති සහ ආදරය කරන්නේ සුමිරාන් ගුණසේකර කියන නිවේදකයාට. මොකද සෙනඟක් ඉස්සරහට ගිහින් සජීවීව නිවේදනය කරනවා කියන එකට මම ගොඩක් කැමැතියි. හැබැයි මම කැමැති විදියේ නිර්මාණයක් ලැබුණොත් කොච්චර කාර්යබහුල වුණත් ඒක මම භාර ගන්නවා.

නළුවෙක් නිසා ඇති වුණු හෝ නැති වුණු දේවල් තියෙනවාද?

නළුවෙක් නිසා මට නැති වුණු දෙයක් නැහැ. ඇති වුණු දේවල් නම් තියෙනවා. මට ජනතාවගේ ආදරය ලැබුණා. ඒ හරහා "ඔයා මරු" කියන වචනය ලැබුණා. ඒකට මම හරි ආදරෙයි.

ඔබට ජීවිතයේ සීමා දාන්නේ කවුද?

මගේ ජීවිතයේ සීමා දැම්මේ මගේ අම්මා. අදටත් එහෙමයි. අම්මා කැමැති නැහැ රඟපානකොට ගැහැනු ළමයිගේ අතින් අල්ලන් රඟපානවට, සිප ගන්නවට, බදා ගන්නවට. එදත් එහෙමයි. අදත් එහෙමයි.

බිරිය සුමිරාන්ට සීමා දාන්නේ නැද්ද?

මගේ බිරිය හාත්පසින්ම වෙනස්. ඇය මගේ ආදර ජවනිකා බලලා කියනවා "තව මදි, තව පොඩ්ඩක් ළං වෙලා ඉන්න" වගේ දේවල්. ඇය මට කිසිම නීතියක් දාන්නේ නැහැ. ඇයගෙන් මට පූර්ණ නිදහසක් ලැබෙනවා. මම හිතන්නේ මගේ රංගනය සාර්ථක වෙන්නෙත් ඇය නිසා.

සිනමාවට එන්න කැමැත්තක් නැද්ද?

කැමැතියි. මට ආරාධනා දෙකක් ලැබුණා. නමුත් ඒ නිර්මාණවලට සහ චරිතවලට මම සතුටු නැහැ. ඒ නිසා මම භාර ගත්තේ නැහැ. හොඳ නිර්මාණයක්, හොඳ චරිතයක් ලැබුණොත් බොහොම ඉහළින් භාර ගන්නවා.


නළු භූමිකාව ඇතුළේ සුමිරාන් කියන්නේ ස්ථාවරයක් හදා ගත්ත කෙනෙක්ද?

මම හිතනවා මම එහෙම ඇති කියලා. යම්තාක් දුරකට ස්ථාවරයක් ගොඩනඟාගෙන ඇති. මම කියන්නේ නැහැ මම මාර ලොකු චරිතයක් කියලා. තවම මම මේ රංගන ක්ෂේත්‍රයේ අත දරුවෙක් විතරයි. තාම මම ගොඩනඟා ගෙන ඉන්නේ පොඩි පැල්පතක් විතරයි. ඒත් ඒ පැල්පත ඇතුළේ මම සර්ව සම්පූර්ණයි කියලා හිතනවා.

වැඩිපුරම එකට රංගනයේ යෙදෙන්න කැමැති චරිතයක් ඉන්නවාද?

ඔව්. මම මහේන්ද්‍ර පෙරේරා කියන ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියා සමඟ රඟපාන්න බොහොම කැමැත්තෙන් ඉන්නවා. දවසක හම්බවුණොත් අනිවාර්යයෙන්ම කැමැත්තෙන් රඟපානවා.

ලංකාවේ වෘත්තිය රංගනයෙන් විතරක් ජීවත් වෙන්න අමාරුද?

ලංකාවේ රංගනය කියන වෘත්තියට ලැබෙන තත්ත්වය, මිල මදි. රංගනය විතරක් කරලා ස්ථාවර වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මාර කට්ටක් කන්න ඕනෑ. පිටරටවල වගේ නෙමෙයි. ලංකාවේ බැරිකමක් නැහැ. හැබැයි අනිත් රටවලට වඩා හරි පහත් මට්ටමක ඉන්නේ.

මොනවද ඉදිරි වැඩ කටයුතු?

නීල පබළු නාට්‍යයේ වැඩකටයුතු කරනවා. අනාගතයේ දවසක මගේ පුංචි පවුලට තව කෙනෙක් එන්න ඕනෑ. ඒක තවම තීරණය කරලා නැහැ. අවසාන වශයෙන් සතුටින් ජීවත් වෙන්න තමයි බලාපොරොත්තුව.

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

More News »