වෘත්තියට වඩා පවුලට මුල් තැන දෙනවා

Dec 05, 2018 09.14am
feature-top
නිදහසේ පියා ඩී.එස්. එක්ක ඔබ පසුගිය දවස්වල ප්‍රේක්‍ෂකයන් අතරට ආවා?

ඔව්, මේ චිත්‍රපටය මට රඟපාන්න ලැබුණු විශේෂ චිත්‍රපටයක්. මොකද මෑතකාලීන ඉතිහාසය නියෝජනය කරපු දේශපාලකයකුගේ චරිතයක් තමයි මට රඟපාන්න ලැබුණේ. ඉතින් මේ චිත්‍රපටය තිරගත වෙලා ප්‍රේක්‍ෂකයන්ට නරඹන්න ලැබීම ගැන මම නළුවෙක් විදියට සතුටු වෙනවා.

ඔබ ලැබෙන ඕනම නිර්මාණයක් භාර ගන්න කෙනෙක් නෙවෙයි නේද?

මම කොහෙත්ම ලැබෙන ඕනම චරිතයක් භාර ගන්න කෙනෙක් නෙවෙයි. මම කාරණා කිහිපයක් ගැන සැලකිලිමත් වෙනවා. උදේ එක චිත්‍රපටයක, හවස තව නාට්‍යයක, හෙට උදේ තවත් එකක රඟපාන්න යන්න මම කැමැති නැහැ. සාමාන්‍යයෙන් මම එක කාලයකට එක චරිතයක් විතරයි භාර ගන්නේ. එතකොට මට ඒ චරිතයත් එක්ක ජීවත් වෙන්න පුළුවන්. එකම කාලයක විවිධ චරිතවල ජීවත් වෙන්න මට අමාරුයි. නමුත් එහෙම පුළුවන් අයත් ඇති.

ලැබෙන ආරාධනයක වෙනත් සාධක ගැන හිතන්නේ නැද්ද?

ඒ චරිතය නිරූපණය කිරීමෙන් මම ජීවත් වෙන සමාජයට වගේම මට මොනවද ලැබෙන්නේ කියලා බලනවා. ඊට අමතරව කවුද අධ්‍යක්‍ෂවරයා, කැමරා ශිල්පියා ඒ වගේම අනෙක් සහාය රංගන ශිල්පීන් ගැන වගේම පිටපත කොහොමද, පිටපත් රචකයා කවුද වගේ ගොඩක් දේවල් බලලා තමයි මම චරිතයක් භාර ගන්නේ. ඔය කියන හැම කාරණාවක්ම බලන නිසා වගේම ඒ සියලු සාධක තියෙන නිර්මාණ අඩු නිසා මම නිර්මාණවල ඉන්න අවස්ථාව අඩුයි.

අලුත් නිර්මාණවලට ආරාධනා ලැබුණද?

පසුගිය කාලයේ ගොඩක් ආරාධනා ලැබුණා. මේ මොහොතෙත් ආරාධනා ලැබෙනවා. නමුත් ඒවා ප්‍රතික්‍ෂේප කළා.

මම මාස දෙකකට විතර කලින් මගේ මිත්‍රයකුගේ චිත්‍රපටයක වැඩකටයුතු අවසන් කළා. ඊට අමතරව සුමිත්‍රා පීරිස් මැතිනියගේ 'වෛෂ්ණාවී' චිත්‍රපටයත් එක්ක වියට්නාම ඪදබඥපදචබඪධදචත ටඪතථ ටඥඵබඪමචත එකට සම්බන්ධ වුණා.

ලැබුණු ආරාධනා ප්‍රතික්‍ෂේප කළේ ඇයි?

මම කලින් කිව්ව කාරණා නිසා වගේම මගේ වෘත්තිය නිසා. හැමවෙලේම මම මගේ වෘත්තියට මූලිකත්වය දෙනවා. මම වෘත්තියෙන් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක්. ඒ වගේම මගේ පවුලට මම මූලිකත්වය දෙනවා.

ඔබේ වෘත්තියත් සමඟ රංගන කටයුතුවල යෙදෙන එක කොයි තරම් දුරට පහසුද?

මම විශ්වවිද්‍යාලයේ කටයුතුවලට හුඟක් මැදිහත් වෙන කෙනෙක්. ඒ නිසා පහසුයි කියන්න බැහැ. මගේ නිර්මාණාත්මක දේවල්වලට විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් වගේම මගේ ඉහළ නිලධාරීන් මට විශාල සහයෝගයක් ලබා දෙනවා. මම උගන්වන්නේ නාට්‍ය කලාව. ඉතින් රඟපෑමට ඒ දේ සම්බන්ධ නිසා ඒකත් සහයෝගයක් වෙනවා.

පසුගිය කාලේ ඔබ ජනප්‍රිය නළු සම්මානයෙනුත් පිදුම් ලැබුවා. කූඹියෝ එක්ක ලබපු ජනප්‍රියත්වයට දැන් මොකද වෙලා තියෙන්නේ?

මම ජනප්‍රිය නළුවා වීම පවත්වාගෙන යන්න උත්සාහ කරන කෙනෙක් නෙවෙයි. ඒ ජනප්‍රියත්වය තවමත් තියෙනවද කියන එකත් මම හොයලා බලලා නැහැ. ඒක මම ඒ තරම් වැදගත් කාරණයක් කියලා සලකන්නේ නැහැ.

දැන් ඔබ පියෙක්. ඒ භූමිකාව ගැනත් කතා කරමු?

ඒ නිසා තමයි මම තෝරා බේරා ගෙන වැඩ කරන්නේ. මගේ වෘත්තියට වැඩියෙන් මගේ පවුලට මම මුල් තැන දෙනවා. මගේ බිරියත් රංගන ශිල්පිනියක්. ඇය පසුගිය දවස්වල අලුත් ටෙලි නාට්‍යයක රූගත කිරීම්වලට ගියා. ඒ දවස්වල පොඩි බබා එක්ක ගෙදර හිටියේ මම. අපි දෙන්නගෙම කටයුතු සමබරව කරගෙන යනවා.

'කූඹියෝ' වගේ ජනප්‍රිය තලයේ නිර්මාණයකට ආයෙත් සම්බන්ධ වෙන්නේ නැද්ද?

ඇත්තටම කූඹියෝ ජනප්‍රිය වෙයි කියලා අපි හිතුවේ නැහැ. අපිට ඕන වුණේ හොඳ නාට්‍යයක් නිර්මාණය කරන්න. ඉදිරියේදී මගේ කාලයත් සමඟ හොඳ නිර්මාණයක් ලැබුණොත් භාර ගන්නවා.

මේ දවස්වල ගුවන්විදුලි නාට්‍යයක හඬකැවීම්වලටත් ඔබ සම්බන්ධ වෙලා ඉන්නවා නේද?

ඔව්, මම මේ දවස්වල සිරස ගුවන්විදුලි නාළිකාවේ 'ආදර වෙඩිල්ල' නාට්‍යයේ හඬකැවීම් ශිල්පියෙක් විදියටත් කටයුතු කරනවා.

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

More News »