මනුරංගගේ ආදර වෙඩිල්ල රම්බරි වගේ පත්තු වෙයිද?

Nov 23, 2018 09.41am
feature-top
මනුරංග ගීත රචනයෙන් එළියට පැනලා තවත් අලුත් වැඩක් කරලා නේද?

ඔව්, ඔය කියන්නේ මම රචකයා හැටියට කටයුතු කරන 'ආදර වෙඩිල්ල' ගුවන්විදුලි නාට්‍ය ගැනනේ. මම ලියන ආදර වෙඩිල්ල ගුවන්විදුලි නාට්‍යය සිරස එෆ්.එම්. ඔස්සේ සෑම සතියේ දිනකම උදේ 10.00 සිට 12.00 දක්වා ප්‍රචාරය වෙනවා. රේඩියෝ සංඛ්‍යාතයේ නොමියෙන ආදර කතාව කියන ටැග් ලයින් එක යටතේ තමයි මෙය ප්‍රචාරය වෙන්නේ.

ගුවන්විදුලි නාට්‍ය කලාවට මනුරංගව ඇදලා දැම්මේ කවුද?

මම ගී පද රචනය, නිවේදනය කරලා තිබ්බාට ගද්‍ය රචනා පැත්තෙන් මාව කවුරුත් දැනගෙන හිටියේ නෑ. සිරස එෆ්.එම්. ආයතන ප්‍රධානි සජිත් රත්නායක තමයි අලුත් වැඩක් තියෙනවා කියලා මට කතා කළේ. මෙතෙක් තිබුණු කතා ස්වරූපයට වඩා වෙනස් කතාවක් කරන්න අපිට ඕන වුණේ. මේක වෙනස්ම වැඩක් විදියට තමයි කළේ.

මේ නාට්‍යයට එකතු වෙන ශිල්පීන් කවුද?

තුමිඳු ‍ෙදාඩන්තැන්න, හිමාලි සයුරංගි, සරත් කරුණාරත්න තමයි මේ කතාවේ දුෂ්ටයා, වීරයා සහ වීරවරියගේ චරිතවලට හඬ රංගනයේ යෙදෙන්නේ. මීට අමතරව උමයංගනා වික්‍රමසිංහ, නයනා රඹුක්කන, රම්‍යා වනිගසේකර, ඩිලාන් සේනානායක, හර්ෂ ආරියසිංහ, කෝකිල පවන්, බිනොලි නිල්මිණි කෝට්ටේගොඩ ඇතුළු පිරිසක් මෙයට එකතු වෙලා ඉන්නවා. මේ නාට්‍ය ඉදිරිපත් කරන්නේ හර්ෂණී වෙත්තසිංහ. මෙය නිෂ්පාදනය කරන්නේ උදම් ජයංග.

රේඩියෝ නාට්‍ය කලාවට එකතු කරන මේ නාට්‍යයට දායක වෙන ශිල්පීන්ගෙනුත් ලොකු වටිනාකමක් එකතු කරගෙන නේද?

'තුමිඳු' කියන්නේ කූඹියෝ නාට්‍ය හරහා ජනප්‍රිය වුණු කෙනෙක්. ඔහු සම්බන්ධ වෙන පළමුවැනි රේඩියෝ ඩ්‍රාමා එක තමයි මේක. ඒ වගේම ක්ෂේත්‍රය තුළ වැඩ කරන සුවිශේෂී ශිල්පීන් රැසක් මේ වැඩේට එකතු වෙලා ඉන්නවා. මේ නාට්‍යයේ තේමා ගීතය ගායනා කරන්නේ චාමර වීරසිංහ. ඔහු සාමාන්‍ය වැඩකට සම්බන්ධ නොවෙන කෙනෙක්. නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කරන්නේ අශාන් ප්‍රනාන්දු. අපිට එකතු වෙලා වෙනස්ම අත්දැකීමක් ගුවන්විදුලි රසිකයන් අතරට ගේන්න පුළුවන් වුණා.

දැන් යන ගුවන්විදුලි නාට්‍යවලට වඩා 'ආදර වෙඩිල්ල' වෙනස් කියන්නේ කොහොමද?

මේක නිකන්ම නිකන් ආදර කතාවක් නෙවෙයි. මේ යන ක්‍රමවේදය ඇතුළේ වෙනස් ආකාරයක කතාවස්තුවක් දෙන්න තමයි අපි හිතුවේ. මම ගුවන්විදුලි නාට්‍ය රචනයට ආධුනිකයෙක්. ඒ ආධුනික බව තුළ හැම වෙලාවෙම අලුත් දෙයක් බිහිවෙනවා. මම තව කෙනෙක් කරන දෙයක් කරන කෙනෙක් නෙවෙයි. ගීත රචනයේදී වුණත් මම කළේ මට ඕන දේ. රම්බරි ගීතය ජනප්‍රිය වුණෙත් ඒ නිසා. පිටපත් රචනයට තියෙන ආධුනික බවත් එක්ක මට අලුත් රසයක් ගුවන්විදුලි නාට්‍ය කලාවට ගේන්න පුළුවන් වෙලා තියෙනවා.

'ආදර වෙඩිල්ල' කතාවේ මූලික පසුබිම ගොඩනැඟෙන්නේ කොහොමද?

ෂෙහාන් ඉද්දමල්ගොඩ කියන්නේ ලංකාවේ නම් දරපු පොලිස් නිලධාරියෙක්. ඔහු පාතාල විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රකට ජනප්‍රිය චරිතයක්. ඔහුගේ ලොකුම අභිලාෂය තමයි 'රනා' කියන පාතාල නායකයා අල්ලගන්න එක. පහන් රණබාහු කියන්නේ සමාජ සේවකයෙක්. පරිසරවේදියෙක්, තරුණ ව්‍යාපාරිකයෙක් සහ පෙම්වතෙක්. අමා කියන්නේ නුවරින් කොළඹ ආපු බැංකු නිලධාරිනියක්. මේ තුන්දෙනා අතර තමයි කතාව දෝලනය වෙන්නේ.


මනුරංගගේ ගීතවලට නම් ඇගයීම් විවේචන ඕන තරම්නේ. මෙදා පාර අතගහපු වැඩේට මොන වගේ ප්‍රතිචාරද ලැබෙන්නේ?

ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ. 'ආදර වෙඩිල්ල' කියලා එෆ්.බී. පේජ් එකක් තියෙනවා. ඒක හරහා ගොඩක් අය කතාවේ ඊළඟට වෙන්නේ කුමක්ද කියලා විමසන තත්ත්වයට ඇවිත් තියෙනවා. ඒක සතුටට කාරණාවක්. ගීත ඉල්ලීම් වැඩසටහන් ගිය අලුත්ම වෙලාවක නාට්‍යයක් අහන්න දැන් ගුවන්විදුලි රසිකයෝ හුරුවෙලා.

මනුරංග එන ඕනම අභියෝගයක් භාරගන්නවා වගේ?

ඔව්, මම කවදත් අභියෝග භාරගත්ත කෙනෙක්. මම ගීත ලිව්වා, රඟපෑවා, නිවේදන කටයුතු කළා, වැඩසටහන් අධ්‍යක්ෂණය කළා. තව ගොඩක් ක්‍ෂේත්‍ර තියෙනවා. මම කැමැතියි නිකන්ම නිකන් ප්ලග් එකක් නොවී මල්ටි ප්ලග් එකක් වෙන්න.

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

More News »