" ඒ හැමදේම සුන්දර මතකයන් නිසා ගෙවෙන හැම තත්පරයම සතුටින් ජීවත් වෙනවා..."

Aug 18, 2018 09.57am
feature-top
"එහෙම වුණා කියලා මගේ ආදරය වෙනස් වෙලා නැහැ..."

"ඇත්තටම දැන් පසුතැවීමක් එනවා. මීට කලින් බබාව හදාගත්ත නම් හොඳයි කියලා.."

හිමාලි සිරිවර්ධන කියන්නේ නටන්නම උපන්නියක්. ඇයගේ නර්තන හැකියාව නිසා වගේම රංගන හැකියාව නිසා හිමාලීට ආදරේ කරන අය බොහෝයි. නිර්මාණ එක්ක සාර්ථක වූ හිමාලි දැන් ආදරණිය අම්මා කෙනෙක්. ඇය ඒ ගැන කියන්නේ මෙහෙමයි.

 හිමාලි වෙනදටත් වඩා සතුටින් නේද?
බබා එක්කම කාලය ගත කරන නිසා තමයි සතුටින් ඉන්නේ. ඒ හැමදේම සුන්දර මතකයන් නිසා ගෙවෙන හැම තත්පරයම සතුටින් ජීවත් වෙනවා.

* බබත් එක්ක ගෙවන අලුත් ජීවිතේ මොන වගේද?
හැමදේම අලුත් අත්දැකීමක්. මොකද කිසිම අත්දැකීමක් නැතුව. මුල් දවස්වල ඒ දේවල්වලට පුරුදු වෙන්න අමාරු වුණා. මගේ අම්මයි, අක්කයි සහායට හිටියා. දැන් බබාට මාස දෙකයි. ඒ නිසා ඒ දේවල් දැන් මට පුරුදුයි.

* අම්මා කෙනෙක් වෙනවා කියන්නේ වෙනදාට වඩා වගකීම් වැඩිවෙනවා කියන එක. කොහොමද ඒ වගකීම දැනෙන්නේ?
වෙනදත් මගේ නර්තන කණ්ඩායමත් එක්ක ලොකු වගකීමකින් තමයි ජීවිතේ ගෙවුණේ. මේ වෙනකොට ඊට වඩා වෙනස්ම අත්දැකීමක් තමයි තියෙන්නේ. ඒ දේ වගකීමට වඩා යුතුකමක්. නමුත් ඒ දේ ලොකු රාජකාරියක් කියලා දැනෙන්නෙ නැහැ. ඒ කළයුතු පරිස්සමින් කළ යුතුයි. ඒ සඳහා උපරිම කැපවෙලා මම වැඩ කරනවා. අපි එයාව ලොකු කරලා හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕන. දැන්ම ඉඳන් ඒ සඳහා සූදානමක් තියෙනවා.

* කොහොමද බබා එක්ක දවස ගතවෙන්නේ?
වෙනදා වගේ නම් දවස සැලසුම් කරන්න බැහැ. එයා දවල්ට ඇහැරලා රෑට නිදාගන්නවා. බබත් එක්ක තමයි දවසේ හැම වැඩක්ම සැලසුම් කරන්නේ. දවස ගෙවනවා තේරෙන්නේ නැහැ. එයා එක්කම ඉන්න නිසා.

* හිමාලි මුලින්ම බලා‍පොරොත්තු වුණේ පුතෙක්ද? දුවෙක්ද?
මගේ මහත්තයා නම් ගොඩක් කැමැති වුණේ පුතෙක්ට. මමත් පුතාලට කැමැතියි. හැබැයි මම වැඩිපුරම කැමැති දුවලට. මගේ දේවල් එයාට ඉස්සරහට අරගෙන යන්න පුළුවන්නේ. ලස්සනට අන්දන්න පුළුවන් කියන හැඟීමත් එක්ක තමයි දුවෙකුට මම ආස වුණේ. ස්කෑන් එකේදි පුතෙක් කියලා දැනගත්තාම මහත්තයා ගොඩක් සතුටු වුණා. දුවෙක් නොවුණා කියලා මගේ ආදරය වෙනස් වෙලා නැහැ.

  බබාගේ වැඩ හිමාලි තනියමද කරගන්නේ? කවුද උදව්වට ඉන්නේ?
මාස දෙක තුනක් යනකම් අක්කයි, අම්මයි දෙන්නම ඉන්නවා. ඒ හැමෝම මට ලොකු සහයෝගයක් දෙන නිසා පහසුවෙලා තියෙනවා මගේ වැඩ කරගන්න. රෑටත් බබා ඇහැරලා ඉන්නවා. ඒ වෙලාවට ඒ අය තමයි උදව් කරන්නේ.

* සැමියාගෙන් ලැබෙන්නේ මොන වගේ සහායක්ද?
එයා තවම බයයි බබාව වඩාගන්න, අල්ලන්න. ඒ නිසා බබාව බලාගෙන උදව් කරන්න අමාරුයි. නමුත් බබාගේ අනාගතය පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා.

* දිගටම රංගනයෙන් ඈත්වෙලා ඉන්නවාද?
බොහොම ඉක්මනට රංගන ක්ෂේත්‍රයට එන්නයි හිටියේ. මේ වෙනකොට මම මහත්වෙලා. ඒ නිසා ඇඟ අඩුකර ගන්නත් ඕන. ඒ නිසා දැනට කියන්න බැහැ කවදා ක්ෂේත්‍රයට එකතු වේවිද කියලා. දැන් හරි අමාරුයි පුතාව කොහෙවත් දාලා යන්න. මොකද පුතාව මගේ ළඟින්ම තියාගන්න ඕන කියන දේ තමයි මට හිතෙන්නේ. එයාව දාලා වැඩවලට යන එක මට මානසිකව බලපාවි කියලා හිතෙනවා. මට ආරාධනා කිහිපයක් ලැබුණා. ඒත් ඒ දේ ප්‍රතික්ෂේප කරන්න වුණා. දින වකවානු කියන්න බැහැ කවදා ක්ෂේත්‍රයට ඒවිද කියලා.

* ජීවිතේ ආපස්සට හැරිල බලද්දි මොකද හිතුණේ?
විවාහවෙලා වසර දහයක් ගියාට පස්සේ තමයි අපි දරුවෙක් හදන්න සැලසුම් කළේ. ඒ කා‍ලේ වෙනකම්ම මම රංගනයට, නර්තනයට ඕනවටත් වඩා වෙලාව වෙන් කළා. ඇත්තටම දැන් පසුතැවීමක් එනවා. මීට කලින් බබාව හදාගත්ත නම් හොඳයි කියලා. මගේ කලා ජීවිතය, පුද්ගලික ජීවිතය ගැන පසුතැවිල්ලක් නැහැ. මම සතුටු වෙනවා හැමදේම වෙන්නෙ වෙලාව ආවහම කියනවානේ. ඉතින් ඒ ගැන සතුටුයි.

* ජීවිතේ මගහැරෙන දේවල් ගැන පසුතැවෙනවාද?
නැහැ. වෙන්න තිබ්බ හොඳම දේවල් තමයි වෙලා තියෙන්නේ. අනෙක් අය එක්ක සංසන්දනය කරද්දි මම බොහොම ඉදිරියෙන් ඉන්නවා කියලා හිතෙනවා. ආත්ම ගරුත්වය තියාගෙන රංගන ශිල්පිනියක් ලෙස කොන්ද කෙළින් තියාගෙන මට ඉන්න පුළුවන් තැනක් හදාගෙන තියෙනවා. මට හොඳ නිර්මාණ, සම්මාන ලැබිලා තියෙනවා. හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා. ඒ නිසා මම ලැබිලා  තියෙන දේ ගැන සතුටු වෙනවා.

* නර්තන කණ්ඩායමේ වැඩකටයුතුත් තාවකාලිකව නැවැත්වූවාද?
තාවකාලිකව කියලා හිතාගෙන තමයි නැවැත්වූවේ. මේ වෙනකොට නර්තන කණ්ඩායමක් කරනවා කියන්නේ ලොකු වගකීමක්. මගේ ළමයින්ගේ ආරක්ෂාව ඉඳන් හැම දෙයක්ම බලන්න ඕන. මොකද මගේ ළමයි බලාගන්නවා වගෙයි ඔවුන්ව බලාගත්තේ. තවම නර්තන කණ්ඩායමේ වැඩ කටයුතු කවදා කරයිද කියලා කියන්න බැහැ. මේ වෙනකොට මගේ ලෝකේ වෙලා තියෙන්නේ බබා නිසා තවම කිසි දෙයක් ගැන හරියටම කියන්න බැහැ.

* මොනවද අනාගත සැලසුම්?
පවුල පිළිබඳ ලොකු බලා‍පොරොත්තුවක් තියෙනවා. හොඳ චිත්‍රපටයකට ඉදිරියේදී දායක වෙන්න බලා‍පොරොත්තු වෙනවා.



(under the courtesy of hirutv.lk blog web)

More News »