නිලුක්ෂි වැඩිපුර පේන්න නැති හේතුව

Aug 10, 2018 11.54am
feature-top
නිලුක්ෂි මේ දවස්වල නිර්මාණ දෙකකින් පේන්න ඉන්නවා..?

ඔව්. ඒ තාත්තා සහ විසූවියස් කඳුපාමුල කියන නාට්‍ය දෙකෙන්. ඒ නාට්‍ය කොටස් හතළිහේ පනහේ නාට්‍ය. ඒ නිර්මාණ දෙක තමයි මේ දවස්වල විකාශය වෙන්නේ. මුල ඉඳන්ම මම හිරවෙලා වැඩ ගොඩක් කළ කෙනෙක් නෙවෙයි. ඉතිං මේ නිර්මාණ ටික කරගෙන ඉන්නවා.

ඒ කියන්නේ මේ දවස්වල රංගනයට නිවාඩු දීලද..?

මේ දවස් ටිකේ රංගන වැඩකටයුතුවලට සම්බන්ධ වෙන්නේ නැහැ. මෙගා නාට්‍යවලට මම විරෝධී නැහැ. නමුත් අඩු කොටස් සංඛ්‍යාවක නාට්‍ය කරද්දී ඒකෙන් ලැබෙන අත්දැකීම වෙනස්. එක දෙයකට ලොකු කාලයක් හිරවෙලා ඉන්න අවශ්‍යත් නැහැ. ඒ වගේම ඒ වගේ නිර්මාණයකට එකතු වෙලා වැඩ කරන එක ගැනත් මම තෘප්තිමත්. ඒ නිසා හිමින් සැරේ වැඩ ටිකක් කරගෙන යනවා. තවත් අලුත් වැඩකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒකත් හොඳ ලස්සන වැඩක්. එහි රූගත කිරීම් මේ අවුරුද්දේ අන්තිම විතර පටන් ගනීවි.

නිලුක්ෂි අඩුවෙන් වැඩවලට සම්බන්ධ වෙන්නේ නිර්මාණවලට ආරාධනා අඩු වීමේ ගැටලුවක් නිසාද..?

බොරු කියන්න ඕනේ නෑනේ. වැඩවලට කතා කරනවා කියලා මට දිනපතා වැඩවලට කතා කරන්නේ නැහැ. මට එහෙම ලොකු ඉල්ලුමකුත් නැහැ. නමුත් මාව අවශ්‍ය නිර්මාණවලට මට කතා කරනවා. මගේ රැකියාව රංගනය. අපි හරි අමාරුවෙන් හදාගත්ත නමක් තියෙනවා. අපි අඩියෙන් අඩිය මේ තැනට ආවේ. අපේ හැකියාවට හරි මිලක් නොලැබෙද්දි කලකිරීමක් ඇතිවෙනවා. නියම මිලක් නොලැබුණු සමහර නිර්මාණ ප්‍රතික්ෂේප කරන්න සිදුවුණු අවස්ථාත් තියෙනවා.

නිලුක්ෂි තමන්ගේ වටිනාකම ගැන ගොඩක් හිතනවා වගේ..?

මම මගේ මුදල මත්තෙම ඉන්න කෙනෙක් නෙවෙයි. යම් නිර්මාණයක ගුණාත්මක බව ඉහළ නම් මම ගෙවන මිල ගැන නොහිතපු අවස්ථා තියෙනවා. නමුත් සමහර නිර්මාණවලට අපි හිතන්නෙවත් නැති අඩු මුදලට වැඩ කරන්න කතා කරද්දි දුක හිතෙනවා. අපි මුල් කාලෙවත් වැඩ කළේ නැති මුදලට දැන් කතා කරද්දි කොහොමද ඒ වැඩ භාරගන්නේ. කලකිරීම් එක්ක වැඩ කරන්න වෙලා තියෙන්නේ.

නිලුක්ෂි ජනප්‍රිය තලයේ රංගන ශිල්පිනියක්ද..?

මම ජනප්‍රිය තලයේ ඉහළ තැනක ඉන්න කෙනෙක් නෙවෙයි. මම හරි හිමින් ගමනක් යන කෙනෙක්. මම කාලයක් නිර්මාණ නොකර හිටියත් මිනිසුන්ට මාව මතකයි. හැබැයි ක්ෂේත්‍රයේ අයට අපිව මතකද කියලා ප්‍රශ්නයක් නම් තියෙනවා. ප්‍රේක්ෂකයන් දිනාගත්ත අහිංසක සතුටක් මට තියෙනවා. තාමත් බස් එකේ යද්දි වුණත් මගේ අතින් අල්ලලා කතා කරන ප්‍රේක්ෂකයන් ඉන්නවා.

මේ දවස්වල සම්බන්ධ වෙන නිර්මාණවලිනුත් නිලුක්ෂි ප්‍රේක්ෂක ආදරය දිනාගෙන නේද ඉන්නේ..?

ඔව්. මුලින්ම මම "තාත්තා" ටෙලි නාට්‍ය ගැන කියන්න ඕන. ඒ නාට්‍යයේ දර්ශන කිහිපයකට විතරයි මට සම්බන්ධ වෙන්න තිබුණේ. ලලිත් රත්නායක මහත්මයාට මම ස්තූතිවන්ත වෙනවා මේ නිර්මාණයට මාව සම්බන්ධ කරගැනීම ගැන. හිතුවේවත් නැති තරම් ප්‍රතිචාර ලැබෙනවා. දර්ශන දෙක, තුනක හිටියත් ඒ චරිතය ගැන බොහෝ අය කතා කරනවා. ප්‍රවීණයන් පවා මට කතා කරලා ඒ චරිතය ගැන අහනවා. මට ඒ චරිතය නිරූපණය කරද්දී දසුන් මල්ලිගෙන් ලොකු සහයක් ලැබුණා. ඒකත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. විසූවියස් කඳු පාමුල ටෙලි නාට්‍යයේ "මලිති" කියන චරිතයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒකත් සංවේදී ඒ වගේම ලස්සන කතාවක්.

නිලුක්ෂි ප්‍රධාන චරිතම හොයාගෙන යන කෙනෙක් නෙවෙයිද..?

නැහැ. මට ලැබෙන චරිතය ප්‍රධානද සහාය චරිතයක්ද කියලා මම හිතන්නේ නැහැ. මට ලැබෙන චරිතයේ යමක් කරන්න තියෙනවා නම් ඒ ලැබෙන චරිතය ගැන මම සතුටු නම් මම ඒ චරිතය භාරගන්නවා. මම "තාත්තා" ටෙලි නාට්‍ය වුණත් භාර ගත්තේ එය ගුණාත්මක බවින් ඉහළ නිර්මාණයක් නිසා.

නිලුක්ෂිට නිතර නිතර තිරයේ පේන්න ඉඳලා විශේෂ අවස්ථාවල පෙනී ඉඳලා ජනප්‍රිය නිළියක් වෙන්න අවශ්‍ය නැද්ද..?

අනේ නැහැ. මට එහෙම ජනප්‍රිය වීමේ වුවමනාවක් නැහැ. ගෙදර අයත් සමහර වෙලාවට මගෙන් අහනවා "ඔයා නිළියක්ද" කියලා. මට ලැබෙන වැඩසටහන් වුණත් භාරගන්නේ දෙපාරක් තුන් පාරක් හිතලා. මම මේ ක්ෂේත්‍රයට ගරු කරනවා. දක්ෂතාවට, වාසනාවට අහම්බෙන් මම මේ ක්ෂේත්‍රයට ආවා. මගෙ වයස පොඩි වුණාට මම ගැඹුරින් ජීවිතය දකිනවා. බොරු ආටෝපවලට මම කැමැති නැහැ. මම නිහඬව, නිශ්ශබ්දව ඉන්න කැමැති කෙනෙක්.

සැමියා නිලුක්ෂිව පාලනය කරන්නේ නැද්ද..?

නැහැ. එයා දන්නවා මම කරන්නේ හරි දේ කියලා. මම විවාහ වෙලා අවුරුදු අටකට වැඩියි. මේ වෙනකල් මම භාරගත්ත කිසිම දෙයකට එයා අකුල් හෙළලා නෑ. මම කවුද කියලා එයා දන්නවා. සැමියටවත් දරුවටවත් මම වැරැද්දක් කරන්නේ නෑ. මගේ ඇඳුම පැලඳුම ගැනවත් එයා බලපෑම් කරන්නේ නෑ. මේක මගේ විදිය. ඒ විදියට එයා කැමැතියි. අපි අවංකව ජීවත් වෙනවා නම් සීමා දාලා හදන්න අවශ්‍ය නැහැ. පවුල් ජීවිතේ ප්‍රශ්න ඇතිවෙන්නෙත් නැහැ.

අම්මා කියන භූමිකාව නියෝජනය කරන නිසා නිලුක්ෂිගේ තෝරාගැනීම් වැඩි ඇති නේද..?

මම නිර්මාණ හිතලා භාරගන්නෙත් දුව නිසා. මම නිළියක් වුණාට මම මගේ දුවගේ අම්මා. මම දුව වගේම මගේ නංගිලා තුන්දෙනා ගැනත් හිතන්න ඕන. මම ඉන්න විදිය එයාලට වැදගත්. ඒ නිසා මම හැමදේම හිතලා වැඩ කරන්නේ. මගේ අම්මා මාව හැදුවා වගේ මම මගේ දුවව හදනවා. මම හොඳ අම්මා කෙනෙක් විදියට එයාට වගකීම් ඉෂ්ට කරනවා.

නිලුක්ෂි පුංචි තිරයේ විතරද පේන්න ඉන්න කැමැති..?

මම පුංචි තිරයට වගේම වේදිකාවටත්, සිනමාවටත් කැමැතියි. වේදිකාව මට එක තැනකදි ගිලිහුණා. ලූෂන් බුලත්සිංහල මහත්තයා එතුමගේ රතු හැට්ටකාරි දෙවැනි නිෂ්පාදනයට ආරාධනා කළත් රැකියාවේ අපහසුතා නිසා ඒ ආරාධනාව භාරගන්න ලැබුණේ නැහැ. ඊට පස්සේ නම් වේදිකා නිර්මාණයකට ආරාධනා ලැබුණෙත් නැහැ. සිනමා නිර්මාණයකටත් ආරාධනා ලැබුණා. ඒ නිර්මාණයත් කරන්න අපහසුකම් තිබ්බා. ඇඳුම් පැලඳුම්, මගේ ප්‍රතිපත්ති එක්ක සමහර නිර්මාණ මගෙන් ගිලිහෙනවා.

සැලෝන් එකකුත් පටන් ගත්තනේ. ඒ අනෙක් නිළියෝ වගේ රැල්ලට යන්න ඕන නිසාද..?

රැල්ලට යන්න ඕන වුණා නම් මම මීට කලින් සැලෝන් එකක් පටන් ගන්නේ. මම හොඳට ඉගෙනගෙන තමයි සැලෝන් එක දැම්මේ. කෙනෙක්ව ලස්සන කරන්න ලැබීම එක්තරා විදියක භාග්‍යයක්. ඉතිං මේ දවස්වල සැලෝන් එකේ වැඩවලටත් වටිනාකමක් දෙනවා. ඒ ක්ෂේත්‍රය ගැන ඉදිරියටත් ඉගෙන ගන්නවා.


උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

More News »