මම හැම­දා­මත් පති­රා­ජ­යන්ගේ සිනමාවට ප්‍රිය කර­නවා ජන­ප්‍රිය රංගන ශිල්පී , චිත්‍ර­පට අධ්‍යක්ෂ චන්න පෙරේරා

Nov 02, 2018 11.11am
feature-top
පුංචි තිරයෙන් කලාවට පැමිණ මේ වන විට ටෙලි නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු බවට පත්ව සිටින චන්න පෙරේරා වර්තමානයේ කලාව වෙනුවෙන් යමක් කරන්න උත්සාහ ගන්නා රංගන ශිල්පියකු ලෙස හැඳින්විය හැකියි. තරුණ අධ්‍යක්ෂවරයකු ලෙස සමාජයට දැනෙන යමක් කරන්නට හැමදාමත් උත්සාහ ගන්නා මේ රංගන ශිල්පියා කරන නිර්මාණ තරුණ, ළමා සැම නියෝජනය කෙරෙනවා. ඉතින් හැමදාමත් මාධ්‍ය සමග හිතවත් චන්න මෙවර 'හදට දැනෙන ප්‍රශ්න දහයට' පිළිතුරු දුන්නේ සතුටෙන්.

පාසල් අවධියේ සිටම රංගන ශිල්පියකු වෙන්නද හීන මැව්වේ..?

නැහැ. මගේ මවුපියන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ රැකියාව කළ නිසා අපේ ගෙදර තිබුණේ අධ්‍යාපන පසුබිමක්. පුංචි කාලෙ සිටම මගේ බලාපොරොත්තුවක් තිබුණා ලොකු වුණහම වෛද්‍යවරයෙක් වෙනවා කියා. සා.පෙළ විභාගය අවසන් වී නිවෙසට වෙලා ඉන්න කාලෙ නළුවෙක් වගේ ඔළුව පීරනවා. ඇවිදිනවා. ඒක දකින ඥාතීන් කියන්න ගත්තා මම හරියට නළුවෙක් වගේ කියලා. එවිට තමයි නළුවෙක් වෙන්න ඕන කියන හැඟීම සිතේ ඇතිවුණේ. ඉන්පසුව දොස්තර හීනය පැත්තකට දමා රංගන ශිල්පියෙක් වෙන අධිෂ්ඨානයෙන් වැඩ කළා.

රංගන ශිල්පියකු වීම ගැන තෘප්තිමත්ද?

රංගන ශිල්පියකු වීම ගැන තෘප්තිමත්. වෙනත් වෘත්තියක නියැළුනා නම් චන්න පෙරේරා කියන පුද්ගලයාව මේ රටේ ජනතාව හඳුනන්නෙ නෑ. රංගනය නිසා බොහෝ දේ ලැබුණා. මිනිසුන්ගේ ආදරය සහ ගෞරවය ලැබුණා. කලාකරුවන්ට තිබෙන ආදරය දේශපාලකයන්ට වඩා අහසට පො‍ළොව වගෙයි. ඒ නිසා කලාකරුවකු වීම පෙර පිනකින් ලැබුණු දෙයක්.

ඔබ වඩාත් කැමැත්තෙන් කියවපු මතකයේ රැඳුණු පොත මොකක්ද?

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මළගිය ඇත්තෝ, කෘතිය. මෙහි අන්තර්ගතය ඉතාම ගැඹුරුයි වගේම හදවතට සංවේධීයි. මම හතර පස් වතාවක්ම මේ නවකතාව කියවා රසවිඳ තිබෙනවා. වරක් කියවු විට එහි මතකය මාසයක් පමණ හිතේ රැව් දෙනවා. ඒ වගේම එතුමාගේම ‘මළවුන්ගේ අවුරුදු දා, කෘතියටත් කැමැතියි.

ඔබ කැමැතිම සිනමා පටය..

මම කවදත් ප්‍රිය කරනවා ධර්මසේන පතිරාජයන්ගේ සිනමා කලාවට. එතුමාගේ ‘බඹරු ඇවිත්,, ‘අහස් ගව්ව, චිත්‍රපට දෙකටම ඉතාම කැමැතියි.

කැමතිම රංගන ශිල්පියා, ශිල්පිනිය, ගායකයා සහ ගායිකාව..

රංගන ශිල්පීන් ගැන කතා කරනවානම් ටොම් හෑන්ක්ස් මගේ ප්‍රියතම රංගන ශිල්පියා. මම හිතන්නේ ඔහු රඟපාන සෑම චරිතයක්ම එකිනෙක වෙනස්. ඇවිදින විලාශය, කතාකරන විලාශයේ සිට සියලු දේ වෙනස්. මම හිතන්නේ ඔහුගේ රංගනයෙන් ගත යුතු බොහෝ දේ තිබෙනවා. මෙරිල් ස්ට්‍රිප්ගේ රංගනයටත් කැමතියි. ඇය වාර ගණනාවකදීම ඔස්කාර් සම්මාන හිමි කරගත්තා. ප්‍රියතම ගායකයා මර්වින් පෙරේරා. ඔහු ගායනා කරන 'මා සනසා' ගීතය ඉතාමත් අලංකාරයි.කැමතිම ගායිකාව ලතා වල්පොල. ඇය ගයන 'ආදරයේ රන් විමනේ' ගීතය ඉතාම මිහිරියි.ලයාන්විතයි.

තව කෙනෙකු කරනවාට අකැමැති දෙය..

බොරුව සහ වංචාව. අපේ රටේ මිනිසුන් බොහෝ පිරිසක් බොරුව සහ වංචාවෙන් ජීවත් වෙන්න පුරුදු වෙලා. ඒක නිසා තමයි අපේ රට මේ තරම් නොදියුණු තත්වයට පත්ව සිටින්නේ. නමුත් යුරෝපීය රටවල ජීවත්වන ජනතාව තුළ මේ බොරුව සහ වංචාව නෑ. ඔවුන්ට දෙයක් කරන්න පුළුවන් නම් පුළුවන් බැරිනම් බෑ. ස්ත්‍රි පුරුෂ සබඳතාවලදී වුණත් එකිනෙකාට ගරු කරනවා. එහෙත් අපේ රටේ ඒකට විවිධ උත්තර දෙනවා. ලංකාවේ දේශපාලකයාගේ පටන් පහළ පුද්ගලයා දක්වා මිනිසුන් බොරුව සහ වංචාවට හුරුවෙලා. ඒකෙන් තමයි ජීවිතේ ගැට ගහගන්න උත්සාහ කරන්නේ. එවැනි පුරුදු මිනිසුන් තුළ තිබෙන්න හොඳ නැහැ.

රංගන ශිල්පියකු ලෙස සමාජයට දෙන ආදර්ශය කුමක්ද?

රංගන ශිල්පියකු ලෙසත්, සිනමා අධ්‍යක්ෂවරයකු ලෙසත් මගේ නිර්මාණ වලින් බොහෝවිට කතා කෙරෙන්නේ මානුෂීය හැඟීම්. මම දැනට ටෙලි නාට්‍ය සියයකට වැඩි ප්‍රමාණයක රඟ පා තිබෙනවා. ඒ හැම නිර්මාණයකම දුෂ්ට චරිත නිරූපණය කර නෑ. මම රංගනයට පිවිසෙන විටම සිතාගත් දෙයක් තමයි මිනිසුන් තුළ සුබවාදී චින්තනයක් ඇතිකළ හැකි නිර්මාණවල පමණක් දායක වෙනවා කියන එක. මගේ නිර්මාණ, මම රඟපාන නිර්මාණත් අවසන් වන්නේ සුබවාදී පණිවිඩයක් දෙමින්. බලන්න අපේ ප්‍රවෘත්ති විකාශය කියන්නේ පැය බාගයක් පුරා පෙන්වන මිනිස් ඝාතන සහ මංකොල්ලකෑම් පෙන්වන වැඩසටහනක්. මම හිතන්නෙ මේවා සමාජයට උලුප්පා පෙන්වීමෙන් සමාජයට සිදුවන්නේ යහපතක් නොවයි. එවැනි වැරැදි නොකරන මිනිස්සුත් වැරදි දේට පෙලඹෙනවා. ඒ නිසා අපි නිතරම මිනිසුන්ගේ චින්තනය වෙනස් කරන්න ඕන. ඒ සඳහා අවශ්‍ය නිර්මාණ තමයි අපි ‍ජනතාවට දිය යුත්තේ.

රටේ නායකයා වුණොත් පළමුව කරන්නේ..

රටේ නායකයා වෙන්න නම් තුන් හිතකවත් නැහැ. නමුත් මම ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නම්. මේ රට හදන්න නම් උඩුයටිකුරු කරන්න වෙනවා. විශේෂයෙන් පාසල් ළමයින්ගේ මානසිකත්වය හදා ඔවුන්ගේ චින්තනය දියුණු කළ යුතු වෙනවා. ඒ වගේම හැකියාව පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමවේදයක් රට තුළ ඇති කළ යුතුයි. මේ සියලු දේට ඕනෑම කෙනකුගේ පවුල් පසුබිම වගේම ජීවත් වන පරිසරයත් බලපානවා. ඒ නිසා මිනිසුන්ට සතුටෙන් ජීවත්විය හැකි මානසික වටපිටාවක් ගොඩ නැඟුවොත් එය දරුවන්ගේ චින්තනය උසස් වීමටත් බලපානවා.

වැඩිපුරම සංචාරය කරන්න කැමැති..

අනුරාධපුරය සහ නුවරඑළියේ සංචාරය කරන්න කැමතියි. කොහොමත් සීත දේශගුණයට මම හරිම කැමතියි. ඒ වගේම යුරෝපයේ රටවල් කිහිපයක් තිබෙනවා සංචාරය කරන්න කැමැති.

ජීවිතයේ අමතක නොවන සිදුවීම සහ වැරදුණු තැන්වල ළඟින් සිටියේ කවුරුද..?

මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීම් දෙක ලොකු දුව මලීෂා පෙරේරා දුව සහ පොඩි දුව දුආශා පෙරේරා දියණිය ඉපදුණු දවස්. ජීවිතයේ වැරදුණු තැන්වලදී ළඟින්ම සිටියේ මිතුරන්. ඔවුන් මට සිත් රිදීමක් වුණත් මගේ ළඟින් සිටිමින් මාව ශක්තිමත් කරනවා.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »