සුනිල් පෙරේරාගේ ලොකු පුතා සජිත් මේ කියන්නේ මොනවා ගැනද?

Aug 02, 2018 10.38am
feature-top
ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ පුතා කියලා කියද්දී ගයන් පෙරේරාගේ රුව සිහියට ඒම පුදුමයක් නොවෙයි. කාලයක් ඩැඩී සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් බවට පත්ව ඉඳලා, ජනප්‍රිය ගීත කිහිපයක්ම ගී ලොවට තිළිණ කළ ගයාන් සංගීත ක්‍ෂේත්‍රයෙන් මඳකට ඈත්ව මේ වනවිට විදේශගත වෙලයි ඉන්නේ. අපි මේ සංවාදය පවත්වන්නේද සුනිල් පෙරේරාගේ පුතකු සමග වුණත්, ඒ ගයාන් නම් ‍නෙවෙයි. ඔහු ගයාන්ගේ වැඩිමහල් සොහොයුරා වන සජිත් පෙරේරායි. සජිත් කියන්නෙත් ගයාන් වගේම කාලයක් තිස්සේ සංගීත කටයුතුවල නියැළෙමින් තමන්ගේ ගීත කිහිපයක්ම එළිදක්වා තිබෙන ගායක ශිල්පියෙක්. සංගීතයෙන් රටම දන්නා හඳුනන පියකු සහ සොහොයුරෙකු ඉඳිද්දී තමන් සැඟවිලා ඉන්නේ කාගේ බලපෑම නිසාද කියන එක ගැනත් සජිත් මෙම සංවාදයේදී අපිට හෙළි කළා.

සජිත් මේ වෙනකොට ගීත කිහිපයක්ම නිර්මාණය කරලා තියෙනවා. මීට මාස කිහිපයකට කලිනුත් ඔබ හදමත නමින් මියුසික් වීඩියෝවක් එළි දැක්වූවා. ඒ ගීතවලට ලැබෙන ප්‍රතිචාර ගැන ඔබට සතුටු වෙන්න පුළුවන්ද?

සතුටු වෙන්න නම් ඒවාට ප්‍රතිචාර ලැබෙන්න ඕනනේ. හැබැයි ඒවාට කිසිම ප්‍රතිචාරයක් මට ලැබුණේ නැහැ. අන්තිමට හදපු සින්දුව අපේ ගෙදර අයනම් ඇහුවා මගේ යාළුවෝ ඒක බලලා මරු මචං... කියලා කිව්වා. ඒවා තමයි මට ලැබුණු ප්‍රතිචාර.

ඒ ගීතය මේ වෙනකොට යූ ටියුබ් ඔස්සේ රසවිඳින්න පුළුවන්. නමුත් විද්‍යුත් නාලිකාවලට ගීතය දුන්නා නම් මීට වඩා වැඩි පිරිසක් අතරට ඒක ගෙනියන්න තිබුණා නේද?

මාධ්‍යවලට දුන්නා. හැබැයි ඒ එකකින්වත් ඒක ප්‍රචාරය කළේ නැහැ. සින්දුව රිලීස් කරපු වෙලාවේ එක්තරා නාලිකාවක් මගෙන් ඉන්ටර්විව් එකකුත් අරගෙන ඒක ප්‍රචාරය කළා. හැබැයි ඊට පස්සේ ඒ නාලිකාවවත් මගේ සින්දුව ප්‍ලේ කරනවා මට නම් ඇහුණේ නැහැ.

ඔය කියන විදිහට ඔබේ ගීත ජනතාව අතරට ගෙනියන්න වෙනත් ක්‍රමයක් හොයාගන්න වේවි නේද?

 ඔව්. වෙලාවකට මට හිතුණා චැනල් එකකට සල්ලි දීලා හරි සින්දුව ප්‍ලේ කරවා ගත්තා නම් හොඳයි කියලා. බැරිම වුණොත් එහෙමවත් කරලා බලනවා.

ජීප්සීස් නායක සුනිල් පෙරේරාගේ ලොකු පුතා විදිහට හඳුන්වාගෙන ක්‍ෂේත්‍රයට ආවානම් ප්‍රතිචාර මීට වඩා වෙනස් වෙන්න තිබුණා නේද?

තාත්තාගේ පහනෙන් එළිය බලලා වැවක් නැහැනේ. තමන්ට ආත්ම ශක්තියක් තියෙන්න ඕන තනියම නැගිටින්න.

හැබැයි තාත්තාගේ ගීතයක් ගයලා කරළියට ආවා නම් ඊට පස්සේ ඔබට තනියම වුණත් හොඳ ගමනක් යන්න පුළුවන් කියලා දැන්වත් හිතෙන්නේ නැද්ද?

අරයාගේ පුතා, මෙයාගේ දුව කියලා කියාගෙන අම්මලා තාත්තලාගේ සින්දු කියන එක මහ ජඩ වැඩක්. තමන්ගේම දෙයක් නොකර ඒ විදිහට ජනප්‍රියත්වය හදාගන්න හිතනවා නම් මම ඒකට ලැජ්ජා වෙන්න ඕන.

සංගීතයට සම්බන්ධ පවුලක ලොකු පුතා වුණාට, ගයාන් මල්ලිටත් පස්සෙද සජිත්ට සංගීත ලෝකේ දොර ඇරුණේ ?

එහෙම දෙයක් නෑ. ගයානුයි මමයි එකම කා‍ලේ වගේ තමයි මියුසික් කරන්න පටන් ගත්තේ. ඕනනම් මම ගයාන්ට වඩා ටිකක් විතර පරණ ඇති.

ජිප්සීස් සංගීත කණ්ඩායමට එකතු වෙන්න බැරි නම් ගයානුත් කාලයක් නියෝජනය කළ ඩැඩී සංගීත කණ්ඩායමත් එක්ක ගමනක් ගියා නම් ඔබේ ගීතවලට මීට වඩා වටිනාකමක් හිමිවෙන්න තිබුණා නේද?

ඩැඩී බෑන්ඩ් එකට මට අමුතුවෙන් සම්බන්ධ වෙන්න දෙයක් නැහැ. මොකද මම මුලදීම ඩැඩී බෑන්ඩ් එකේ හිටියා. අපි මුලින්ම  2nd Generation' නමින් තමයි බෑන්ඩ් එක පටන් ගත්තේ. එහෙම යනකොට අපට ඉන්දියාවේ ටුවර් එකක් හම්බ වුණා. බෑන්ඩ් එක ඒ ටුවර් එක ගියේ ඩැඩී නමින්. කොහොම හරි ඒකට ගයාන් එකතු වුණාට පස්සේ මාව ඒකෙන් එළෙව්වා වගේ වුණා.

ඒකට හේතුව ?

 ඒ කා‍ලේ මම හරිම කම්මැලියි. අනික ඒ මගේ වයිෆ් එක්ක මම යාළුවෙලා හිටපු කා‍ලේ. ඉතින් ලව් කරකර හිටියා මිස මම ප්‍රැක්ටිස්වලටවත් ගියේ නැහැ. ඉතින් ඒකෙන් බෑන්ඩ් එකේ කොල්ලන්ට මාව එපා වෙලා අයියේ.... උඹ එන්න එපා කියලා කිව්වා.

හැබැයි මේ වෙද්දී ඔබත් සංගීත කණ්ඩායමක නායකයෙක් ?

මේ වෙද්දී මම වෘත්තීය සංගීත ශිල්පියෙක්. Ninety Nine කියන බෑන්ඩ් එක අපි පටන් අරගෙන දැන් මාස හත අටක් වෙනවා. හැබැයි ඒකේ නායකයා විදිහට මාව හඳුන්වාගන්න මම කැමති නැහැ. මොකද අපි හැමෝම ඉන්නේ එකම මට්ටමේ නිසා.

සජිත් පෙරේරා කියන්නේ ගායකයෙක් විතර ‍නෙවෙයි. ගීත රචකයෙක් කියලාත් හඳුන්වා දෙන්න පුළුවන්. ඔබ ලියන ගීතවල ජිප්සීස්ලාගේ ගීතවල ලක්ෂණත් ගැවිලා තියෙන බවත් නොකියා බැහැ?

තාත්තාගේ ෙශෙලියට මම හුඟක් කැමැතියි. ඒ නිසා වෙන්න ඇති තාත්තලා ගායනා කරන සින්දු වගේ ඒවා මගේ අතිනුත් ලියැවෙන්නේ.

සජිත් වගේම, සජිත්ගේ බිරිඳත් සංගීතයට සම්බන්ධ පවුලක කෙනෙක් කියලයි ආරංචිය?

ඇත්ත. ඇය ඩැල්රින් සූබි කියන ගායිකාවගේ දියණියක්.

බිරිඳ ගායනය පැත්තට යොමු වෙලා නැද්ද?

අ‍පොයි නැහැ.

''නයින්ටි නයින් සංගීත කණ්ඩායමත් එක්ක සජිත් මොනවගේ ගමනක්ද යන්න හිතාගෙන ඉන්නේ ?

බෑන්ඩ් එකත් එක්ක එකතු වෙලා තවත් ගීත කිහිපයක්ම නිර්මාණය කරලා තියෙනවා. ඉදිරි කාලයේදී ඒවා එකින් එක රිලීස් කරන්නයි හිතාගෙන ඉන්නේ. කවදාහරි දවසක ඒවාට හොඳ ප්‍රතිචාර ලැබේවි කියන බලා‍පොරොත්තුව ඇතිව වැඩකරගෙන යනවා.


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »