ලේසි පහසු ගමනක් නෙමෙයි පසු කළේ- ගොඩක් තැන්වලින් මාව ප‍්‍රතික්ෂේප වුණා

Aug 01, 2018 10.18am
feature-top
රංගන ක්ෂේත‍්‍රයේ මේ දින වල කතා බහට ලක් වෙන චරිතයක් තමයි  රුක්ෂානා දිසානායක කියන්නේ. මේ කතා බහ ඇයගේ කලා ලොවේ තොරතුරු පිළිබඳව.

චරිතයක් බාර ගද්දී රුක්ෂානා හොඳට හිතල ද භාර ගන්නේ?

මෙහෙමයි මට ඕනෑම ටෙලි නාට්‍යකට කතා කළාම පොඩි තැතිගැන්මක් තියෙනවා. ඒ මට ලැබෙන චරිතය කොහොමද කරන්නේ? කොයි විදියට ද චරිතය හදා ගන්නේ කියලා. සමහර වෙලාවට මම ඒ ගැන ඕනෑවටත් වඩා හිතනවා. තව අවුරුදු ගණනාවක් රඟපෑවත් මම හිතන්නේ නෑ ඒක නැති වෙයි කියලා. ඕනෑම රංගන ශිල්පියෙකුට ශිල්පිනියකට ලැබෙන ඕනෑම චරිතයක් අභියෝගයක්.

නමුත් මගේ ප‍්‍රතිපත්තිය තමයි ලැබෙන චරිතයෙ මට කරන්න තියෙන්නේ එක කොටසයි ද ඒක හොඳින්ම කරලා ගෙදර එනවා කියලා.

හාස්‍ය චරිතවලට හොඳ ප‍්‍රතිචාර ලැබෙද්දී මේ යන විදියට ඉදිරියේදී හාස්‍යයටම මුල්තැන දෙයිද?

ඒක දන්නේ නෑ. මට එහෙම චරිත තෝරලා බේරලා කරනවා කියල මතයක් නෑ. එහෙම තෝරලා බේරලා කරන්න තරම් නිර්මාණ මට ලැබෙන්නෙත් නෑ. ලැබෙන අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්නවා කියන තැන මම ඉන්නේ.

එතකොට උලත් එකයි පිළත් එකයි සිනමා නිර්මාණයෙන් පසුව සිනමාවට ආරාධනා නැද්ද?

‘පාටක් නැති ආදරයක්’ කියලා සිනමා නිර්මාණයකට සම්බන්ධ වුණා. නමුත් තවම තිරගත වුණේ නෑ. ඒත් එක්කම ‘දෙවැනි යුද්ධය’ නමින් නිර්මාණයකුත් කළා. ඉදිරියේදී දකින්න ලැබෙයි.

රුක්ෂානාගේ නර්තන පාසලේ වැඩ කොහොමද?

නර්තන පාසලේ වැඩ සුපුරුදු පරිදි කර ගෙන යනවා. ඊට අමතරව මගේ නර්තන කණ්ඩායමේ වැඩවලටත් වැඩි දායකත්වයක් ලබා දීලා තිබෙනවා. මේ ටිකේ වැඩ කිහිපයක් තිබුණ නිසා.

ඒ කියන්නේ නර්තන කණ්ඩායමට හොඳ ඉල්ලූමක් තියෙනවා දැන්?

විවාහ උත්සව සහ විවිධ ප‍්‍රසංගවලට ඉල්ලූමක් තියෙනවා. සාමාන්‍ය වශයෙන් මගේ න්‍යායාත්මක ප‍්‍රායෝගික දැනුමක් සහ වෘත්තිය සුදුසුකමක් තියෙන්නේ නර්තන අංශයෙන්නේ. ඒ නිසා මට හිතෙනවා ඒ පැත්ත දියුණු කරගෙන ඉදිරියට යන එක වටිනවා කියලා.

රුක්ෂානා දිසානායක කියන කෙනා මිනිස්සු කතා බහට ලක්වෙන චරිතයක් වෙලා තියෙනවා. ඒ ගැන සතුටුයිද?

ඇත්තටම මම මේ ආපු ගමන ගොඩක් දුෂ්කරයි. ලේසි පහසු ගමනක් නෙමෙයි පසු කළේ. ගොඩක් තැන් වලින් මාව ප‍්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒ නිසා ටිකින් ටික ආපු මේ ගමනේ වටිනාකම අද වෙද්දි වැඩියි. මොකද මම පොඩි පොඩි චරිත කරලා එක දර්ශනයක පමණක් පෙනී හිටපු නිර්මාණ පවා තියෙනවා. ඒ විදියට කට්ට කාලා ආපු ගමනක් නිසා ඉන්න තැන ගැන ඇත්තටම සතුටුයි. ඉතින් මේ හැමදේටම මගේ අම්මාත් කියන්න බැරි තරම් සහයෝගයක් ලබා දෙනවා. ඒ දේවලූත් මේ ආපු ගමනට ලොකු ශක්තියක් සහ ආලෝකයක් වුණා.


(under the courtesy of hirutv.lk blog web)

More News »