මිය යාමට පෙර රෝයි ද සිල්වා ගෙන් අන්තිම කැමති පත්‍රයක්

Jul 12, 2018 11.54am
feature-top
සිනමාව වෙනුවෙන් ජීවිතයම කැපකළ කලාකරුවන් අතර ඔහු සුවිශේෂී චරිතයක්. කඩවසම් නව යෞවනයෙකු විදියට සිංහල සිනමාවේ තරුවක් බවට පත් වූ ඔහු නළුවකු සේම අධ්‍යක්ෂවරයකු විදියටත් සිනමාව වෙනුවෙන් කළ මෙහෙවර අති විශාලයි. රෝයි ද සිල්වා නම් වූ ඒ සොඳුරු මිනිසා පසුගියදා ජීවිතයෙන් සමුගත්තේ ලක්ෂ සංඛ්‍යාත සිනමා රසිකයන්ගේ දැස් කඳුළින් තෙත් කරමින්.

“ලකී සෙවන් ස්ටාර්”ගේ පැමිණීම

වර්ෂ 1937 අගෝස්තු 30 වැනිදා මෙලොව එළිය දුටු රෝයි ද සිල්වා සිනමාවට පිවිසුණේ 1964 දී දමිළ ජාතික අධ්‍යක්ෂවරයකුවන නීල කණ්ඨන් අධ්‍යක්ෂණය කළ සුජාගේ රහස චිත්‍රපටයෙන්. එවකට දමිළ සිනමාවේ අතිශය ජනප්‍රිය නළුවෙකු වූ ජයශංකර්ගේ පෙනුමට සමාන පෙනුමකින් යුතුවීම රෝයිට එලෙස සිනමාවේ දොරටු විවර වන්නට හේතු වුණා. සුජාගේ රහස තිරගත වීමත් සමග රෝයිව හඳුන්වනු ලැබුවේ ලකී සෙවන් ස්ටාර් නමිනුයි. ඊට හේතුවූයේ ඔහු එක රැයින් ජනප්‍රිය නළුවන්ගේ ලැයිස්තුවට එක්වීමයි. පළමු චිත්‍රපටයෙන්ම ජනප්‍රිය තරුවක් බවට පත් වුණත් රෝයිට ඊට පෙර නළුකමට පිවිසෙන්නට බොහෝ දුෂ්කර ක්‍රියා ඒ සඳහා කරන්නට සිදු වුණා. විවිධාකාර සම්මුඛ පරීක්ෂණයන් රැසකට ඔහු සහභාගි වී තිබුණා. එක් අවස්ථාවක, එවකට සිට ප්‍රවීණ අධ්‍යක්ෂවරයකු චිත්‍රපටයක මංගල උත්සවයක දර්ශනයක් සඳහා පෙනී සිටීමට රෝයිට ආරාධනා කළා.

මම නිකම් පෙනී සිටින සමූහ දර්ශනවලට එන්නේ නැහැ. මම එනවා නම් එන්නේ ප්‍රධාන චරිතයකින් ඒ ආරාධනාව ගැන රෝයි සෘජුවම තමන්ගේ අදහස ප්‍රකාශ කළේ ඔහු තුළ වූ ආත්ම විශ්වාසය හා අධිෂ්ඨානය නිසාමයි. ඒ අධිෂ්ඨානය සඵල කරගනිමින් නළුකමට පිවිසි එක රැයින් ජනප්‍රිය නළුවෙකු වූ මේ කඩවසම් තරුණයා සුදු දුව, සැනලිසිලි සුවය, සැඟවුණ මැණික, රුහුණු කුමාරි, සුමුදු භාර්යා, ගීතා, සමනල කුමරියෝ. ඇතුළු චිත්‍රපට රැසකින් බොක්ස් ඔෆීස් වාර්තා  පිහිටවූ නළුවකු බවට පත් වුණා.

ජීවිතය වෙනස් කළ සාස්තරය

හතර පෙරළිය රෝයිගේ ජීවිතයේ තවත් පෙරළියක්  ඇතිකළ චිත්‍රපටයක්. රෝයි එහි ප්‍රධාන චරිතය රඟපාද්දී දිනක් චිත්‍රපටයේ සමූහ දර්ශනයකට ගැහැනු ළමුන් පිරිසක් පැමිණියා. එතැන සිටි ගැහැනු ළමුන් එවකට සිනමාවේ සිහින කුමරු වූ රෝයිව වටකර ගනිද්දී එතැන සිටි ගැහැනු ළමයකු පමණක් ඔහුව තඹේකටවත් ගණන් නොගෙන පසෙකට වී සිටියා. ලස්සන දැසක් හා දිගු කෙස් වැටියක් ඇති මේ ආඩම්බරකාර කෙල්ල කවුද..? කියලා රෝයි උනන්දු වුණේ ඒ මොහොතේ  ඉඳන්මයි. ඇය නවක නිළියක් වූ සුමනා අමරසිංහයි. පසුදිනයේ සුමනා තම උපන්දිනය වෙනුවෙන් කේක් රැගෙන විත් රෝයි අසලට පැමිණියා.

ඔතනින් තියන්න රෝයි ආඩම්බරයෙන් එසේ පැවැසුවත් ඔහුගේ හිතේ ඒ වනවිටත් මේ සොඳුරු යුවතිය පිළිබඳ විශේෂ ඇල්මක් ඇතිවී තිබුණා. තවත් දවසක රූගත කිරීම් අතර මැද විරාමයකදී රෝයි එතැන සිටි අයට සාස්තර කියන්නට පටන් ගත්තා එතැනට ආ සුමනා අයියේ මටත් සාස්තරයක් කියන්න කියා ඇගේ අත දිගු කළා. ඒ මොහොතේ ඇගේ සුරත ගත් රෝයි නංගි ඔයා දවසක මේ රටේ ජනප්‍රිය නිළියක් වෙනවා. ඔයා බඳින්නේ සිනමාවේ ජනප්‍රියම කෙනෙක්ව ආදී වශයෙන් තමන්ගේ හිතේ තිබුණු සියලු දේවල් පැවැසුවා. ඒ විදියට ඇරඹි රෝයි සුමනා ආදර අන්දරය පසුකාලීනව සිනමාවේ පරමාදර්ශී අඹු සැමි යුවළක් බිහි කළා. ජනප්‍රිය කලාකරුවන්ගේ විවාහ ජීවිත බිඳ වැටීම්, නොයෙක් කටකතාවලට ලක්වීම් ආදිය සුලබ වුණත් රෝයි මිය යන තුරුම සුමනා තමන්ගේ ආදරය වගේම නමත් රැකගත් ආදරණීය යුවළක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.

ශීලා, සූකිරි කෙල්ල ඇතුළු චිත්‍රපට රැසක එක්ව රඟපෑ රෝයි - සුමනා සිනමාවේ ජනප්‍රියම පෙම් යුවළක් බවට පත් වුණා.

නළු කමින් අධ්‍යක්ෂණයට

නවකයින්ගේ ආගමනයත් සමග පැරණි නළු නිළියන් පසුපසට තල්ලු වී යාම අපේ සිනමාවට වගේම ලෝක සිනමාවටත් ‍පොදුයි. විජය කුමාරතුංග සිනමාවට පිවිසීමත් සමග ඔහු ජනප්‍රියත්වයේ ඉහළමට යද්දී රෝයි අධ්‍යක්ෂණයට පිවිසුණේය. තමන් නළුකම තුළම රැඳී සිටිය යුතු නැතැයි සිතමිනුයි. 1977 දී ටොම් පචය අධ්‍යක්ෂණය කරමින් අධ්‍යක්ෂණයට පිවිසි රෝයි, විජය හා සුමනා යොදගෙන කඩවුණු ‍පොරොන්දුව නව චිත්‍රපටයක් නිර්මාණය කළා.

කාමරැල්ලට  අභියෝගයක්

අනූව දශකයේ කාමරැල්ල සිනමාව තුළ හඹායද්දී පවු‍ලේ සැමට එකට සිට චිත්‍රපට නැරඹීමෙන් දුරස්වන්නට අපේ ප්‍රේක්ෂකයන්ට සිදු වුණා. එකල යළි පවු‍ලේ චිත්‍රපට නිර්මාණය කරමින් ප්‍රේක්ෂකයා නැවතත් සිනමාහල් කරා රැගෙන ඒමේ පුරෝගාමියා වුණේ රෝයි ද සිල්වායි. චෙරියෝ ඩොක්ටර්, චෙරියෝ සාජන්ට්, රඹා සහ මධු, ඹ්ජ් 94, දවල් මිගෙල් රෑ දනියෙල් 1,2,3 චිත්‍රපට ඇතුළු සිනමාපට රැසක් අධ්‍යක්ෂණය කළ රෝයි නවක ශිල්පීන් රැසකට සිනමාවේ දොරටු විවර කළ අධ්‍යක්ෂවරයෙක්. වාණිජ සිනමාවේ වාර්තා තැබූ චිත්‍රපට රැසක් නිර්මාණය කළ රෝයි ඇන්ටන් චෙකොප්ගේ ග්‍රෑන්ඩ් කොපර්ස් කෙටි කථාව ඇසුරින් කළ. තණගිරවි චිත්‍රපටය හා If a Matter of time ඉංග්‍රීසි චිත්‍රපටය  ඔහුගේ නිර්මාණ අතර සුවිශේෂයි. නිර්මාණකරුවකු ලෙස සිනමාවට අපමණ මෙහෙවරක් ඉටු කළ අතරම රෝයි - සුමනා යුවළ චිත්‍රපට සංස්ථාව බිහි කිරීම සඳහාද ඉමහත් කැපවීමෙන් කටයුතු කළ  කලා කරුවන් අතර පෙරමුණේ සිටින දෙපළක්.

සිනමාව වෙනුවෙන් සිය ජීවිතයම කැපකළ මේ සොදුරු කලාකරුවාට ඒ වෙනුවෙන් ඇගයීම් ලැබුණේ ඉතා අල්පවයි. 2008 සුමති සම්මාන උළෙ‍ලේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යූ.ඩබ්. සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලැබිම රෝයිගේ ජීවිතයේ සුවිශේෂ අවස්ථාවක්. කොහොම නමුත් රෝයි ද සිල්වා යනු ඇගයීම් ලැබූවත් නොලැබූවත් නිරන්තරව මුවග සිනාවක් රඳවාගෙන කලාලොවේ සියල්ලන් සමගම සුහදශීලිව සිටි කලා කරුවෙක්.

රෝයිගේ ජීවිත කතාව  ‍පොතක් ලෙස එළියට

මා විසින් රචිත අඩසියවසක සදාදාර රෝයි කෘතිය එළිදක්වන්නට දිනය යොදාගෙන තිබුණේ ඔහුගේ උපන්දිනය යෙදෙන අගෝස්තු 30 වැනිදාටයි.. රෝයි ද සිල්වා නමැති සොඳුරු කලාකරුවා සමීපව ඇසුරු කරන්නට මට ඉඩ ලැබුණේ මම මේ ‍පොත ලියන්නට යෙදුණු කාලයේදියි. නිබඳව ජීවිතයට ආදරය කළත් ඔහු තමන්ගේ මරණය සම්බන්ධව ඉල්ලීම් කීපයක් කර තිබුණා. මියගිය දිනක තමාගේ සිරුර ලාබ පෙට්ටියක බහාලන ලෙසත්, දින ගණනාවක් තබා නොගන්නා ලෙසත් ඔහු ඉල්ලා සිටියා. ඒ වගේම සිනමාව තුළින් ජනතාව සතුටු කළ තමන්ගේ සිනාමුසු ඡායාරූපයක් මිනී පෙට්ටිය අසලින් තබන ලෙසත්, තම සිරුර ජනතාවට දැකගන්නට ඉඩ හැරීම අවශ්‍ය නැති බවත් රෝයි පැවැසුවා. ඔහුගේ නිසල දේහය සැතපූ පෙට්ටිය වසා තැබුවේ ඒ නිසයි. නමුත් රෝයිගේ ඉල්ලීම පරිදි  එය බාල පෙට්ටියක නම් තැන්පත් කෙරුණේ නැහැ. රෝයි ද සිල්වා ඉතාමත්  පිළිවෙළට හැඩට වැඩට සිටි කෙනෙකු පෙට්ටිය වසන්නට පෙර සුමනා ඔහුගේ හිස නිසි ආකාරයට පීරා ඇතිද කියන ආකාරය ගැන පවා සැලකිලිමත් වුණා. ‍පොත එළිදැක්වීමේ උළෙල උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට සිතාගෙන සිටියත් ඔහු ජීවතුන් අතර නැති නිසා චාම් උත්සවයක් ලෙස, කලින් යොදගත් දිනම ඔහුගේ චරිතාපදානය එළිදක්වන්ට කටයුතු යොදනවා.


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »