'වෙස්‌ මූණ ගලවන්න' ලූෂන් සැරසේ...!

Jul 06, 2018 11.08am
feature-top
'තාරාවෝ ඉගිලෙති....' අපේ වේදිකා නාට්‍ය වංශකතාවේ සුවිශේෂී සලකුණක්‌ 1981 ජුලි 24දා ලුම්බිණියෙන් ඇරැඹි 'තාරාවෝ ඉගිලෙති' ලූෂන් බුලත්සිංහල නැමති නාට්‍යකරුවාද අපේ වේදිකාවේ සලකුණක්‌ බවට පත්විය. ලූෂන් දැන් 'වෙස්‌ මූණ ගලවන්න' සූදානම්ය. 2018 ජුලි 24 දා 'තාරාවෝ ඉගිලෙති' මුදා හළ ලූෂන් හරියටම ඊට වසර තිස්‌හතකට පසු එනම් මෙම 12 සහ 13 යන දිනවල ඔහුගේ නවතම ස්‌වතන්ත්‍ර නාට්‍ය නිර්මාණය 'වෙස්‌මූණ ගලවන්න' රංගගත කරයි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට්‌ රඟහලේදීය. 'වෙස්‌මූණ ගලවන්න'ට හේතු වූ කරුණු කාරණා ලූෂන් බුලත්සිංහලයන් විසින් ගෙන හැර පෑවේය. මේ ඔහු ඒ ගැන කියන කතාවය. 
 
 1956 දී මගේ ළමා විය අවසන් විය. මා හැදී වැඩුණු ගම් පියස වූ රත්මලානේ වෙරළාසන්නයේ පිහිටි වෙඩිකන්ද නමින් හැඳින්වුණු ධීවර සහ මුහුදු වැලි ගොඩ දමන මණ්‌ඩිය මගේ ළමා වියේ රජදහන විය. දුප්පත් අපේ පොල්අතු සෙවිලි කළ පැල්පත් අතරින් නැගී සිටි ලොකු බංගලාවක පදිංචිව සිටි දොරේසුන්දරම් මහතා තැපැල් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලයක්‌ දැරූ ගුණ යහපත්, කරුණාවන්ත දෙමළ ජාතිකයෙකි. 
 
 මගේ තාත්තා ඇතුළු ඉංගී්‍රසි නොදන්නා අවට කොයි කවුරුත් ආණ්‌ඩුවෙන් ලැබෙන ලිපියක්‌ හෝ විදුලි පණිවිඩයක්‌ කියවා ගන්නට අවසානයේ ගියේ දොරේසුන්දරම් මහතා ළඟටයි. ඔහුගේ පුත්‍රයා වූ කුමාර් සහ දියණිය වූ රාණි අප ඇසුරු කිරීමට ආසා කළමුත් අප අතරවූ පංති පරතරය එයට ඉඩ නොදුන්නේය. එහෙත් අවුරුද්දට වතාවක්‌ ඒ ගෙදර පැවැත්වෙන මහ දානයට අහල පහල කවුරුත් ගිය විට ඔවුන් සමඟ කතාබහ කරන්නට ඉඩ ලැබුණේය. 
 
 දෙමළ හෝ මුස්‌ලිම් හෝ බර්ගර් කියා ජාති ආගම් භේදයක්‌ නොවූ ඒ කාලයේ තිබුණේ එක්‌තරා විදියක පංති භේදයක්‌ පමණි. ආධාර ලබන බෞද්ධ පාසලක්‌ වූ රත්මලානේ ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ මගේ පන්තියේ ඉගෙනීම ලැබූ අයවලුන් අතර වෙල්ලයියා කියා දෙමළ කොල්ලෙක්‌ ද ලීලා කියා මුස්‌ලිම් කෙල්ලක්‌ ද සිටියහ. ඒත් 1956 න් පසුව සිදුවූ දෙමළ විරෝධී ව්‍යාපාරය නිසා තිබූ සහජීවනය කාබාසිනියා වී ගියේය. දොරේසුන්දරම් පවුල ඇතුළු බොහෝ දෙමළ පවුල් ආ ගිය අතක්‌ නැති විය. 1958 දෙමළ කෝලාහලය වෙද්දී අපිත් රත්මලාන අතහැර විත් සිටියෙමු. 1963 වෙද්දී වැඩිහිටියෙක්‌ ලෙස රජයේ ලිපිකරු සේවයට බැඳෙන විට එහිදී ද බොහෝ යහපත් දෙමළ හා මුස්‌ලිම් නිලධාරීන් මට හමුවිය. පරිපාලන නිලධාරියෙක්‌ වූ කේ. සී. නිත්‍යානන්දන් මහතා මට මතක එවැනි එක්‌ අයෙකි. 


lusan555
 
 මගේ ජීවිතයේ තීරණාත්මක මංසන්ධියකදී මට පිහිට වූ වේලුපිල්ලේ ආරුමුගම් මහතා ඒ අතරින් දෙවැනි වෙන්නේ මගේ මවුපියන්ට පමණි. රජයේ ලිපිකාර සේවයට බැඳෙන විට මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බාහිර සිසුවෙක්‌ ලෙස ලියාපදිංචි වී සිටියෙමි. මට මුල් පත්වීම ලැබුණේ නුවරඑළිය දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම ව්‍යාප්ති කාර්යාලයටයි. පේරාදෙණියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට ස්‌ථාන මාරුවක්‌ ඉල්ලාගෙන ගොස්‌ බොහෝ සිංහල බෞද්ධ නිලධාරීන් ඉදිරියේ මම වැඳ වැටුණෙමි. ඔවුන් මට මාරු වීමක්‌ දුන්නේ පේරාදෙණියට නොව අඹේවෙල සත්ව ගොවිපළටයි. එහිදීත් ස්‌ථාන මාරුවක්‌ ඉල්ලා කළ ඒ අරගලය මම අත් නොහැරියෙමි. එවකට අඹේවෙල ගොවිපළේ කළමනාකාරතුමා වූයේ ඉහත කී වේලුපිල්ලේ ආරුමුගම් මහතායි. ගොවිපළේ එකම ලිපිකරුවා වූ මගේ සේවය ගැන පැහැදී සිටි ආරුමුගම් මහතා මගේ අරගලය හොඳින් දැන සිටියේ, ස්‌ථාන මාරුව සඳහා වූ සියලු ලිපි ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කළේ ඔහු මගින් බැවිනි. දවසක්‌ මගේ ලිපියක්‌ ඉදිරිපත් කරන්නට සටහනක්‌ දැමීමට ඉස්‌සර ඔහු මගෙන් ප්‍රශ්නයක්‌ ඇසුවේය. 
 
 "මොකද ලූෂන්ට මාරුවීමක්‌ දෙන්න බැහැයි කියන හේතුව?"
 
 "මං වෙනුවට අඹේවෙලට එවන්න කෙනෙක්‌ හොයා ගන්න බැරිලු."
 
 "ඒකද ප්‍රශ්නේ?"
 
 ඔහු මගේ ලිපියට දැමූ ඉංගී්‍රසි බසින් වූ සටහනේ අරුත මෙබඳුය.
 
 "මේ තරුණ නිලධාරියාගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන සලකා කරුණාකර වහාම ඔහු පේරාදෙණියට මාරු කරන්න. අඹේවෙල ගොවිපළට ඔහු වෙනුවට ලිපිකරුවෙක්‌ එවීමට අපහසු නම් ඒ රාජකාරි ආවරණය කර ගැනීමට විධි විධාන යෙදීමේ වගකීම මම භාර ගන්නෙමි."
 
 එදා ඔහු කළ ඒ කාරුණික සටහන නොවන්නට ලූෂන් බුලත්සිංහල කෙනෙකු බිහි නොවන්නේය. ඒ ලූෂන්ට බන්දුල ජයවර්ධන කෙනෙක්‌, මහාචාර්ය සරච්චන්ද්‍ර කෙනෙක්‌, විමලධර්ම දියසේන කෙනෙක්‌, එච්. එච්. බණ්‌ඩාර කෙනෙක්‌, වසන්ත කුමාර කෙනෙක්‌, ජී. ඩබ්ලිව්. ජයන්ත කෙනෙක්‌ ඇසුරු කිරීමේ වරම කිසිදා නොලැබෙන්නේය. ඒ ශේ්‍රෂ්ඨ දෙමළ මිනිසා වේලුපිල්ලේ ආරුමුගම් මහතා ප්‍රමුඛ මාගේ ළමා වියේ සිට මට මුණගැසුණු සියලු යහපත් දෙමළ, මුස්‌ලිම් මිනිසුන් සිහිකරමින් මා නිර්මාණය කළ සිහිවටනයයි "වෙස්‌මුහුණ ගලවන්න" නාට්‍යය.
 
 මෙය සැබෑවක්‌ කරගැනීමට මට දැත දිගු කළ යහපත් මිනිසා වෛද්‍ය රංජිත් පතිරණ මහතායි. ඒ මහතාටත්, නාට්‍යය වේදිකාවට ගෙන ඒමට තියා ජීවත් වෙන්නටවත් හරි මඟක්‌ නැතුව සිටියදී මෙය කෙසේ හෝ රංගගත කරන්නැයි මා දිරිමත් කළ කලා අධ්‍යක්‌ෂ උපාලි හේරත් මහතාටත්, ඉන්ටර් ඇක්‌ට්‌ ආර්ට්‌ අධ්‍යක්‌ෂ එම්. සµSර් මහතාටත්, දිලිප් රෝහණ මහතාටත්, සංගීතය නිර්මාණය කළ හර්ෂ බුලත්සිංහලටත්, ශබ්ද හා ආලෝකකරණ අධ්‍යක්‌ෂ වසන්ත කුමාරටත්, නිව්ටන් ගුණසේකරටත්, රාජගිරියේ ශ්‍රී සෝභිත විද්‍යාලයේ විදුහල්පති නිලන්ත වන්නිආරච්චිටත් මේ නිර්මාණය සඳහා කැපවූ ආධුනික නළු නිළි පිරිසටත් මාගේ හෘදයාංගම කෘතඥතාවය පිරිනමමි. 
 
 මේ යුද්ධයේ අවසන් දවස්‌වල කොළඹ නගරයයි. 
 
 කෞතුක භාණ්‌ඩ වෙළෙන්දෙකු වන ගාමිණී කාලවර්ණගේ පුතා සාලිය විනෝදකාමී ත්‍යාගශීලී යහපත් තරුණයෙකි. ඔහු කැරොකි සමාජ ශාලාවක ගායන නර්තන ශිල්පිනියක වූ අශෝකමාලා කෙරේ ප්‍රේමයෙන් පසුවෙයි. එහෙත් අශෝකමාලා එය ප්‍රතික්‌ෂේප කරයි. 
 
 සාලියගේ අතිජාත මිත්‍රයා ඇමැතිවරයකුගේ පුතෙකි. තම මිතුරාට මදිකමක්‌ කළ තරුණිය කෙරේ උරණවී බලහත්කාරයෙන් හෝ ඇය දිනා ගැනීමට උදව් කිරීමට ඇමැති පුතා ඉදිරිපත් වෙයි. 
 
 අශෝකමාලා හා සාලිය හමුවෙති. එහෙත් අශෝකමාලා සාලිය හමුවේ හෙළිදරව් කරන්නේ තමා සිංහල තරුණියක ලෙස වෙස්‌වලාගෙන සිටිනා කොටි සෙබළියක බවයි. කොටි හමුදාවේ අභ්‍යන්තර ගැටලු හා සැහැසිකම් ඉවසා ගන්නට බැරිව ඉන්දියාවට පැන යැමට කළ උත්සාහය අසාර්ථක වී තමන් මෙලෙස අසරණ වී සිටින බවයි. ඇගේ අපේක්‌ෂාව ඔස්‌ටේ්‍රලියාවට හෝ ඉන්දියාවට පැන ගොස්‌ තම කඩාකප්පල් වූ අධ්‍යාපනය යළි ලබා ගැනීම බැවින් මේ රැකියාවේ නිරත වන බවද කියා සිටියි. 
 
 කුඩා කල සිටම සිංහල මිනිසුන් සමඟ ජීවත් වෙමින් හැදී වැඩුණු තමන් කොටි සෙබළියක්‌ වූයේ සිංහල රාජ්‍ය නායකයන් දිගින් දිගටම කරනා අසාධාරණකම් ඉවසා ගත නොහැකි වූ නිසා බවද හෙළිකරනා ඇය සාලියගෙන් අසන්නේ එහෙව් තමා සමඟ ප්‍රේම සම්බන්ධයක්‌ තියා ගන්නට තාමත් කල්පනා කරනවාද කියායි.
 
 මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට ගන්නා උත්සාහය සමඟින් මෙම සංගීතමය නාට්‍යය පෙළ ඉදිරියට දිග හැරේ.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »