මැරෙන්න කලින් අන්තිම කැමැත්ත ගීතයකින් කිව්වා

Jul 05, 2018 10.59am
feature-top
කැබිනට් ඇමැතිවරයෙක් විඳින විදිහේ සියලු සැප සම්පත් මම මගේ මුදල් වියදම් කරලා අත් වින්දා. එහෙම ජීවත් වුණු මට අන්තිමේදී ඉතුරු වුණේ මගේ ගීත ටික විතරයි. මෙහෙම කියන්නේ ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍ර කුමාර් කඳනාරච්චි. මේ කතාව අහන පාඨක ඔබේ හිතේ ඇතැම් විට කුකුසක් ඇති වෙන්නටත් ඉඩ තිබෙනවා කැබිනට් අමාත්‍යවරයකු තරම් සැප සම්පත් විඳින්න මිල මුදල් ගායන ශිල්පියෙකු වන ඔහුට ලැබුණේ කොහොමද කියලා. බොහෝ දෙනා නොදන්නා ඒ කාරණය ගැන ඇත්තම කතාව චන්ද්‍රකුමාර් රිද්මට හෙළි කළා.

ප්‍රවීණ ගායන ශිල්පියෙක් විදියට රටම හඳුනාගෙන සිටින ඔබ ව්‍යාපාරිකයෙක් විදිහට කෙතරම් දුර ගියාද කියන කාරණය අදටත් බොහෝ දෙනා නොදන්නා  රහසක් එහෙම නේද?

ඔව්. මොකද ව්‍යාපාර කටයුතු කරන කාලෙත් මම පැත්තකින් ඉඳගෙන තමයි ඒවාට සම්බන්ධ වුණේ. ඇත්තම කියනවා නම් 60-70 වගේ දශකවලදී මම විනෝදාංශයක් විදිහට තමයි සංගීත කටයුතුවල නියැළුණේ. මම මගේ වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ලංකා ගුවන් සේවයේ කාර්මික ශිල්පියෙක් විදිහටයි. එතැනින් පියාසර ඉංජිනේරුවකු දක්වා ඉහළට මම උසස් වීම් ලැබුවා. ඔය අතරේ 70 දශකයේදී මම ගායනා කළ ගීත රැසක්ම අතිශය ජනප්‍රිය වුණා. 'ඇගෙ සිනහව තහනම්', 'සිතේ සතුට ජීවිතයේ' සහ 'නෙළුම් වි‍ලේ' ඒ අතරින් කිහිපයක්.

විනෝදාංශයට ගීත ගයලා ජනප්‍රිය වුණු ඔබ ව්‍යාපාරිකයෙක් විදිහට හිණිපෙත්තටම නැග්ගේ කොහොමද?

මගේම කියලා ඇඟලුම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරයක් ආරම්භ කළාට පස්සෙයි මට යහමින් සැප සම්පත් ලැබෙන්නට පටන් ගත්තේ. දේශීය වගේම විදේශ වෙළෙඳ‍පොළටත් ‍පෝලෝ නමින් කමිස නිෂ්පාදනය කළේ  මගේ ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන්. ලංකාවේ දහස් ගණනකට මම ඒ හරහා රැකියා ලබා දුන්නා. ව්‍යාපාරය එන්න එන්නම දියුණු වෙද්දී මගේ අතටත් යහමින් මුදල් ලැබෙන්න පටන් ගත්තා. ඒ කා‍ලේ මට කොළඹ හතේ ගෙවල් දෙකකුත් එක්ක තවත් වතු පිටිත් තිබුණා. අර්ජුන් ඇලෝසියස් ඒ කා‍ලේ හිටියෙත් අපේ ගෙදරට අල්ලපු ගෙදර.

හැබැයි කාලයකට පස්සෙ ඒ  හැමදේම අත්හැරලා ඔබට ජීවිතය ගැටගසා ගැනීමට ගීත කලාවේ පිහිට පතන්න සිදුවෙනවා?

හරියට හරි. අවුරුදු 20ක් විතර සාර්ථකව කරගෙන ගිය ව්‍යාපාරය 2000 වසර විතර ආරම්භ වෙද්දී ඇති වෙච්ච ගැටලු කිහිපයක් නිසා කඩාගෙන වැටුණා. මම කවදාවත් හිතුවේ නැහැ  මගේ ව්‍යාපාරයට මේ වගේ ඉරණමක් අත් වෙයි කියලා. ඒත් විශාල ව්‍යාපාරයක් කඩා වැටෙද්දී ගොඩගන්න අමාරුයි. ඒ අවාසනාවන්ත සිදුවීමෙන් පස්සේ, එතෙක් කාලයක් විනෝදාංශයක් විදිහට ගීත ගයපු මම වෘත්තීය ගායකයෙක් බවට පත් වුණා. එච්චර කාලයක් තැටිවල හිර වෙලා තිබුණු ගීත එළියට අරගෙන ජීවිතය ආයෙමත් අලුතෙන් පටන් ගත්තා.

ඒ සිදුවීම ඔබේ සංගීත ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් වුණා කීවොත් නිවැරදි නේද?

ඒක ඇත්ත. ව්‍යාපාර කටයුතු කඩා වැටුණාට පස්සේ මගේ සංගීත ජීවිතයට අලුත් පණක් ලැබුණා. මම දැන් සංගීත ප්‍රසංගවල ගී ගයලා මුදල් හම්බ කරගන්නවා. පසුගිය අවුරුදු මාසේ මට සහභාගි වෙන්නත් බැරි තරමට ප්‍රසංග වලට ආරාධනා ලැබුණා.  එදා මා යටතේ සේවය කළ හුඟදෙනෙක් අද ලොකු ලොකු පුටුවල ඉන්නවා. ඒ ගැන මට හරිම සතුටුයි. නමුත් එදා මගෙන් උදවු උපකාර ලබපු සමහරු මගේ ව්‍යාපාර කඩාගෙන වැටුණාට පස්සේ මා දිහා හැරිලාවත් බැලුවේ නැහැ.

පසුගිය කා‍ලේ ඔබේ හඩින් අලුත් ගීත නිර්මාණ බිහි වුණේ නෑ නේද?

නැත්තේ නැහැ. නමුත් මාධ්‍ය මගින් ප්‍රචාරය වෙන්නේ පැරණි ගීත විතරයි. අලි මිනිස් ගැටුම ගැන, වැස්සෙන් සහ ඉඩෝරයෙන් සත්තුන්ට සිදුවන බලපෑම් ගැන වගේ විවිධ තේමාවන් යටතේ ගීත කිහිපයක්ම මම මෑතකදී නිර්මාණය කළා. ඔය අතරේ විශේෂ ගීතයකුත් තියෙනවා. මගේ අන්තිම කැමැත්ත තමයි ඒ ගීතයෙන් කියැවෙන්නේ. මා මිය ගිය දාට ඒ බව ප්‍රසිද්ධ නොකර එදිනම හැකිතාක් ඉක්මනින් අවසන් කටයුතු කරන්න කියන එක තමයි මම ඒ ගීතයෙන් කියලා තියෙන්නේ. මොකද බැරි වෙලාවේ මාව අත් හැර ගිය අය මා මළදාට ඇවිත් බොරු රඟපෑම් කළ යුතු නැහැ.

සයුරෙන් එතෙර පවත්වන ඒක පුද්ගල ප්‍රසංගයකටත් ඔබ මේ දිනවල සූදානම් වෙනවා නේද?

ඔව්. ලබන අගෝස්තු 12 වැනිදා සවස 6.00ට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර චැන්ඩ්ලර් තියටර්හිදී නෑසෙන ගී ඇගෙ සිනහව තහනම් නමින් මගේ ඒක පුද්ගල ප්‍රසංගයක් පැවැත්වීමට ඉන්ද්‍රජිත් මිරිහාන ප්‍රමුඛ සංවිධායක මඩුල්ල කටයුතු සූදානම් කර තිබෙනවා. මගේ සංගීත දිවියට දිරි දුන් ප්‍රසංග සංවිධායකවරු සහ සංගීත කණ්ඩායම් ඇතුළු හැමදෙනාටම ස්තූතිය පළ කිරීමටත් මම මෙය අවස්ථාවක් කරගන්නවා.


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »