දිගටම රඟපාන්න කැමැත්තක් නෑ

Jul 05, 2018 10.22am
feature-top
පියුමි හංසමාලි

මේ දිනවල තිරගත වන "වස්සානේ සඳ" චිත්‍රපටයේ "මිහිරි"ගේ චරිතය රඟපාමින් සිනමාවට පිවිසි පියුමි හංසමාලි, කේරළයේ, භාෂා පහකින් නිපදවෙන චිත්‍රපටයක ප්‍රධාන කාන්තා චරිතයට පණ පෙවීමට වරම් හිමි කරගෙන ඇත. නිරූපිකාවක, ටෙලි නාට්‍ය නිළියක වන ඇය, සමාජ මාධ්‍යජාලා හරහා වැඩිම ජනප්‍රියත්වයක් ලබා සිටින නිළියක ලෙස ද ප්‍රසිද්ධියට පත්ව ඇත.

* "වස්සානේ සඳ" ගැන කතා කරමුද?

ඒක අහම්බෙන් මට ලැබුණ අවස්ථාවක්. චිත්‍රපටයක රඟපාන්න බලාපොරොත්තුවක් මට තිබුණෙ නැහැ. මට චිත්‍රපටවල රඟපාන්න ඇරියුම් බොහෝමයක් ලැබිලා තියෙනවා. ඒත්, මම ඇරියුම් ප්‍රතික්ෂේප කළ කෙනෙක්. මීට වසර පහකට පෙර උදයකාන්ත අයියා, එයාගේ චිත්‍රපටයක රඟපාන්න ඇරියුම් කළා. මේ වතාවේ "වස්සානේ සඳ" චිත්‍රපටයට මට ඇරියුම් කළාම, ඔහු හොඳ සිනමා අධ්‍යක්ෂවරයෙක් නිසා, නැවත ඔහුගේ ඇරියුම ප්‍රතික්ෂේප නොකළ යුතුයි කියලා මට හිතුණා.

* ටෙලි නිළියක වන ඔබ, මෙතෙක් කලක් සිනමාවට ලැබුණු ඇරියුම් ප්‍රතික්ෂේප කරන්න හේතුව මොකක්ද?

රඟපාන්න නොදන්න නිසාත්, චිත්‍රපටයක රඟපානවා කියන එක බැරෑරුම් දෙයක් කියලා හිතුණු නිසාත් තමයි මම ඒ ඇරියුම් බාර ගත්තෙ නැත්තෙ.

* මේ සැකසංකා නිසා "වස්සානේ සඳ ' හි "මිහිරි"ගේ චරිතය ඔබට අමිහිරි අත්දැකීමක් වුණාද?

නැහැ. ඉතාමත් ආදරයෙන්, කැමැත්තෙන් තමයි ඒකෙ රඟපෑවේ. මිහිරිගේ චරිතය රඟපාන එක මට පහසු කටයුත්තක් වුණා. දැන් මගේ රසික රසිකාවියෝ මඟතොට යද්දි මට කතා කරන්නෙ පියුමි කියලා නෙමෙයි, මිහිරි අක්කෙ කියලයි. මිහිරිගේ චරිතය නිසා රසිකයන් මට හරියට ආදරය කරනවා. මිහිරිගේ චරිතය නිසා මෙතෙක් මා කෙරෙහි රසිකයන් තුළ තිබුණ කැමැත්ත තව තවත් වැඩිවෙලා කියලා මට හිතෙනවා.

* ඔබට නිළියක වෙන්න අවස්ථාව ලැබෙන්නෙ කොහොමද?

ඒකත් අහම්බයක්. මම නිරූපිකාවක් විදිහට කටයුතු කළ කෙනෙක්. හැබැයි රඟපාන්න කැමැත්තක් හෝ බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. ඒත්, මම නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කරද්දි මට රඟපාන්න ඇරියුම් ලැබිලා තිබුණා. එක දවසක් ඡායාරූප ගැනීමකදි සාන්ත සොයිසා මහත්මයා මා දැකලා, මට "රිතූ" ටෙලි නාට්‍යයේ "රිතූ"ගේ චරිතය රඟපාන්න කතා කළා. ඒ ප්‍රධාන චරිතය තමයි මා නිළියක් කළේ. මගේ පළමු ටෙලි නාට්‍යයට ම මට හොඳ ප්‍රතිචාර ලැබුණා.

* ඊයේ පෙරේදා පියුමිට විදේශීය නිර්මාණයකටත් ඇරියුමක් ලැබුණා නේද‍?

ඔව්. කේරලයේ නිපදවෙන "ලක්නව්" චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය රඟපාන්න මට අවස්ථාවක් ලැබුණා. ඔවුන් මට පෙර මේ චරිතයට අනර්කලී ආකර්ෂාවත් තෝරගෙන තියෙනවා. ඒත්, ඇය දැන් ශ්‍රී ලංකාවේ පදිංචි නැති වග දැනගෙන, ඉන් පසුවයි මා ගැන සොයා බලලා තියෙන්නෙ. ඔවුන් මා එම චිත්‍රපටයට තෝරගෙන තියෙන්නෙ, මගේ රඟපෑම් දැකලා නෙමෙයි. සමාජ මාධ්‍යජාලා මඟින් මා දැකලයි.

* මේ ලැබුණ අවස්ථාව ඔබට මොන තරම් බලපෑමක් කළාද?

ඒක මට හරි ම වැදගත්. කිසි ම කෙනකුට නොලැබුණු විදිහේ අවස්ථාවක් මට ලැබුණෙ. විශේෂයෙන් ම ජැක්සන් ඇන්තනී මහත්මයා සමඟ ප්‍රධාන චරිතය රඟපාන්න ලැබීමත් මට හරි ම සතුටක්. තිර පිටපතක් හරියට කියෙව්වෙ නැතත්, මම දර්ශන තලයෙදි ඒ කොටස හරියට ම කරනවා. මගේ රංගනය ගැන අධ්‍යක්ෂකවරයා ඇතුළු කණ්ඩායම සෑහීමකට පත්වෙලයි ඉන්නෙ. තවත් සිනමා නිර්මාණවල මට රඟපාන්න ලැබෙයි කියලා, ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා කියලා තියෙනවා.

* බෙහෝ නළු නිළියන් කියන්නෙ, තිර පිටපත නොකියවා, චරිතයක් රඟපාන්න අපහසුයි කියලයි. ඒත්, ඔබ ඉන්නෙ එයින් වෙනස් තැනක?

තිර පිටපත කියවලා, ඒ දෙබස් හිතේ තියාගෙන ඉන්න ගියහම, මම හරියට ආතතියට ලක් වෙනවා. කැමරාව ඉදිරියට ගියහම හරියට රඟපාන්න බැරි වෙනවා. මම කරන්නෙ මගේ කළමනාකරු ඒ ඒ මෙහොතේ කරන්න තියෙන දේ හා දෙබස් මට දැන්වුවාම, දර්ශන තලයට ගිහින් ඒක කරන එකයි. මගේ ඒ විදිහ අධ්‍යක්ෂකවරයා තේරුම් ගත්තා. ඒ නිසා, මට ඒ කාර්ය හොඳින් කරගෙන යන්න පුළුවන් වුණා.

*"ලක්නව්" ළඟදි ම අපේ ප්‍රේක්ෂකයන් අතරට එනවද?

මේ වෙද්දි චිත්‍රපටයේ රූගත කිරීම් කෙරෙමින් පවතිනවා. "ලක්නව්" සිංහල හා තවත් භාෂා කිහිපයකින් ම නිපදවන්න නියමිතයි. ළඟදීම ඒක අපේ රටේ ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබෙයි.

* ඔබ මේ වෙද්දිත් ටෙලි නාට්‍යවලින් ඈත් වෙලාද?

ටෙලි නාට්‍යවලට මම හරි ආසයි. මගේ අම්මා හරියට ටෙලි නාට්‍ය බලන කෙනෙක්. මගේ පුතත් හරි ආසයි මම ටෙලි නාට්‍යවල ඉන්නවා දකින්න. මට ගැළපෙන චරිතයක් ලැබුණොත්, මම බාර අරගෙන කරනවා. මේ දවස්වල ටෙලි නාට්‍ය හා චිත්‍රපට කිසිවක් බාර නොගෙන නිදහසේ ඉන්නවා.

මේ දවස් මම කැප කරලා තියෙන්නේ, කේරල චිත්‍රපටයට. මේ අතරෙ තවත් දේ බාරගෙන, ඒවට දින ලබා දෙන්න ගියහම, මම අපහසුවට පත් වෙනවා. ඒ හැරුණහම, ඉදිරියේ දී මගේ ව්‍යාපාරයක් කරන්න හිතාගෙන ඉන්න නිසා, මම වැඩිය රඟපාන්න බාර අරගන්නෙ නැහැ.

* ඔබගේ ව්‍යාපාරය කලාව හා බැඳුණ දෙයක්ද?

රූපලාවන්‍ය ආයතනයක් පවත්වාගෙන යෑමටයි මගේ අදහස තියෙන්නෙ.

* ඔබ රංගනය, වෘත්තිය කර නොගත් නිළියක්ද?

මගේ රැකියාව රඟපාන එක නෙමෙයි. ළඟදිම විවාහ වෙන්නත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ නිසා, රංගනයේ ම රැඳී ඉන්න මගේ බලාපොරොත්තුවක් නැහැ.

* නිරූපණ ශිල්පීන්ට රඟපාන්න බැහැ කියන අදහස ගැන මොනවද කියන්න පුළුවන්?

නිරූපණ ශිල්පීන් කියන්නෙ හැම දෙයකට ම දක්ෂතා ඇති අය. උදාහරණයක් ගත්තොත්, නදීකා පෙරේරා කියන්නෙ නිරූපිකාවක්. හැබැයි ඇය සිරස නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහටත් ඉන්නවා. ඇගේ පෞර්ෂත්වය හරිම අගෙයි. මම හිතන්නෙ නිරූපණ ශිල්පියෙකුට හැම දෙයක් ම කරන්න පුළුවන්. එහෙම බැරි අයත් ඇති.

* නිරූපණ ශිල්පිනියක, ටෙලි නිළියක ලෙසින් විතරක් නෙමෙයි, සමාජ මාධ්‍ය ජාලාවල පියුමි හරි ම ජනප්‍රිය කෙනෙක් නේද?

ඔව්. සමාජ මාධ්‍ය ජාලාවල බොහෝ පිරිසක් මගේ මිතුරු ලැයිස්තුවේ ඉන්නවා. ඔවුන් මගේ දේ නරඹනවා. ප්‍රතිචාර දක්වනවා.

* මේ ජනප්‍රියත්වය සමහර අවස්ථාවල සීමා බිඳ දමමින්, පුද්ගලික ජීවිතයටත් බලපෑම් කරනවා නේද?

මම කිසි දෙයක් මට වදයක් හෝ හිරිහැරයක් ලෙස ගන්නෙ නැහැ. අනුන්ගෙ දේ හොයන්නත් මිනිස්සු ඉන්නවා. මං හිතන්නෙ මං ගැන මට වඩා බොහෝ අය දන්නවා. ශ්‍රී ලංකාවෙ මිනිස්සු හරි ම ආසයි පියුමි හංසමාලිගේ විස්තර දැනගන්න. මම ඒ නිසා කෙහොමත් ජනප්‍රියයිනෙ. ඒ නිසා, චිත්‍රපට බොහොමයක රඟපාලා ජනප්‍රිය වෙන්න මට ඕන නැහැ.

* ළඟදී බිරියක වෙන්න පෙරුම් පුරන ඔබගේ පෙම්වතා හමු වෙන්නෙ කලාවෙන් ම ද?

ක්ෂේත්‍රයේ නළුවො, නිරූපණ ශිල්පීන් මගේ පෞද්ගලික ජීවිතයට ගෑවිලාවත් නැහැ. නිරූපණ ක්ෂේත්‍රයේ අය සහ නළුවො මගේ හොඳ ම මිතුරො මිසක්, ඒ අය අතරින් මගේ පෙම්වතා තෝර ගන්න මගේ අදහසක් නැහැ. මෙතෙක් කාලයකට ක්ෂේත්‍රයේ කෙනෙක් මගේ පෙම්වතා වෙලා නැහැ. ඔහු කලාවට සම්බන්ධ කෙනෙක් නෙමෙයි.

* නවකයෙක් විදිහට ක්ෂේත්‍රයේ සෙසු කලාකරුවන්ගෙන් ඔබට ලැබෙන උදවු මොනවද?

මූණට හොඳට කතා කරලා අදහස් දක්වනවා. ඒත්, බොහෝ දෙනා ඇතුළාන්තයෙන් හරි ම කුහකයි. බොහෝ අය අලුත් අය එනවට කැමැති නැහැනේ . එහෙම ආවහම එයාලගෙ තැන නැති වෙනවනෙ. ඒ අයගෙන් ලැබෙන ප්‍රතිචාරවලින් ගන්නෙ මොනවද? ඉවත් කරන්නෙ මොනවද? කියලා මම දන්නවා.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »