ඒ බොරු කතා දැකලා මගේ හිත ගොඩක් රිදුණා

May 31, 2018 10.08am
feature-top
සංජීවනී වීරසිංහ ලංකාවේ සිටින ප්‍රවීණතම ගායිකාවක්. රංගන ශිල්පිනියක, නිවේදිකාවක ලෙස ද ඇය රසිකයන්ගේ ආදරයට ගෞරවයට නිබඳ ලක්වන්නියක්. මේ දිනවල කවුරුත් ඇය ගැන කතා බහ කරන්නේ මනාලියක ලෙස සැරසුණු ඇගේ සොඳුරු ජායාරූප එකතුවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නෙතු ගැටෙන නිසයි. මේ පිළිබඳ විවිධ පුවත් පළ වුණා. කොහොම වුණත් සුන්දර මනාලියක ලෙස යළිත් හැඩවෙන්නට සංජීවනී සිතුවේ ඇයි?

මේ ගැන අපි ඇගෙන්ම විමසා බලන්නට කටයුතු කළා.

• විවාහ සංවත්සරය සමරන්න ද ඔබ යළිත් මනාලියක් ලෙස හැඩ වුණේ?

එය බොරු කතාවක්. මම විවාහ වෙලා විසි වසරක් නම් තමයි. අපේ විවාහ සංවත්සරය යෙදෙන්නේ ජනවාරි මාසයේ. හුඟක් ගොසිප් සයිට්වල මම මනාලියක් සේ යළිත් හැඩගැන්වුණු එක ගැන විවිධ කතා ගොතලා තිබෙනවා. ඒ සියල්ල බොරු කතා.

මනාලියක් ලෙස හැඩවෙලා මමත් මගේ දරුවන් දෙදෙනාත් අපේ හිත්වල තිබුණු පුංචි අහිංසක ආසාවක් ඉටුකර ගත්තා පමණයි. ඒ ගැන විවිධ අය විවිධ කතා කියනවා. ඒවා අහන දකින කොට ඇත්තටම මට හරිම ලොකු කනගාටුවක් ඇති වුණා.

• මේ විදිහට හැඩවෙන්න හිතුණේ ඇයි?

යළිත් වරක් මනාලියක් විදිහට හැඩවෙන්නට මට ආරාධනා කළේ මගේ හොඳම යෙහෙළිය නිලක්ෂි. ඇය රූපලාවණ්‍ය ශිල්පිනියක්. ඇයට ලොකු ආසාවක් තිබුණා මාව මනාලියක ලෙස හැඩගන්වන්නට. ඇයම වියදම් කරලා මාවත් මගේ දරු දෙදෙනාත් අලංකාරවත් ලෙස හැඩගැන්වූවා.

මගේ දියණිය ඔසරියෙනුත් පුතා නිලමේ ඇඳුමෙනුත් ඇය සැරැසුවා. ඒ අවස්ථාවේ ලබාගත් ජායාරූප තමයි මේ විදිහට මාධ්‍යවල පළවුණේ. එ්ත් එය මගේ 20 වැනි විවාහ සංවත්සරය කියලා කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී මගේ සැමියා නැතිව දරුවන් සමග සැමරුවා කියලා බොරුවක් මාධ්‍යවල පළකරලා තිබුණා.

මට හිතුණා ඇයි මේ වගේ බොරු ප්‍රවෘත්ති මාධ්‍ය මඟින් පළ කරන්නේ කියලා. කලාකරුවන්ගේ පෞද්ගලිකත්වය රකින එක මාධ්‍යවල වගකීමක්. මම මනාලියක ලෙස හැඩ වුණේ ජායාරූප ලබාගත්තේ මගේ පෞද්ගලික අවශ්‍යතාවකට. මම මනාලියක ලෙස ඔසරියකින් හැඩවෙලා හිටියේ.

මගේ දරුවනුත් ඒ විදිහට හැඩවෙලා හිටියේ. අපි නරක විද­ිහට ඇඳලා පැළදලා හිටියේ නැහැ. එත් සමාජ මාධ්‍ය මඟින් අපෙන් හරියට අහන්නෙවත් නැතිව නොයෙක් දේවල් දාලා තිබුණා. ඒ වා දැක්කම මගේ හිත හරියට රිදුණා. ඕනම දෙයක් දුටු පමණින් ඇත්ත නැත්ත හොයන්නේ බලන්නේ නැතිව මාධ්‍යවල පළ කිරීම හරිම ඛේදවාචකයක්. අනෙක අපි ගොසිප් ආටිස්ට්ලා නෙමෙයි. පොළොවේ පයගහලා ජීවත් වෙන මිනිස්සු.

ඉතාම ප්‍රවේසමෙන් වගේම හෙමින් ගමනකින් වැදගත් විදිහට කලාවේ නිරතවෙන කලාකරුවන්. මම පැය විසිහතර පුරාම මාධ්‍යයේ පෙනී හිටපු කෙනෙක් නෙමෙයි. අනෙක මෙය මගේ පෞද්ගලික දෙයක්. මම වියදම් කරලා පාටියක් ගත්තත් එය මගේ මුදලින්. කාටවත් ඒ ගැන කතා හදන්න අවශ්‍ය නැහැ. අනෙක මේ දේවල් මට වීඩියෝ දමලා සමාජයට පැහැදිළි කරන්නත් අවශ්‍ය නැහැ.

• ඔබ විදෙස් ගත වෙන්නට සුදානම් වන බවක් දැනගන්නට ලැබුණා?

ඔව්. මගේ පවුලේ හැමදෙනාම ඉන්නේ ඇමෙරිකාවේ. මේ වන විට මගේ පුතා ඉන්නෙත් ඇමරිකාවේ.ඔහු එහි වෛද්‍ය විද්‍යාව හදාරනවා. දුවත් ඇමෙරිකාවට යන්නයි සූදානම. ඒ ගණිත අංශයෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරන්නට. ඉතින් පුතා වැකේෂන් එකකට ලංකාවට ආවා. දුවත් යන්න ඉන්න නිසා ඇයත් සමඟ අපිත් එරට පදිංචියට යන්න තීරණය කළා.එයත් එක් හේතුවක් වුණා මේ විදිහට මනාලියක් ලෙස සැරසිලා දුවත් පුතත් සමග ජායාරූප ලබා ගන්නට.එනිසා අපි තුන්දෙනා මේ විදිහට සැරසිලා මතක සැමැරුමක් විදිහට ජායාරූප ගන්න සැලසුම් කළා.

• ඔබ විදෙස් ගත වෙන එක ඔබේ රසිකයන්ට කරන අසාධාරණයක් නෙවෙයිද?

රසිකයන්ට වගේම මම මටම කර ගන්න අසාධාරණයක් නම් තමයි. මගේ රට ලංකාව. මගේ ජීවිතේ හැමදේම මට ලැබුණේ මේ රටෙන්. අපිට ආදරය කරන බොහෝ පිරිසක් ලංකාවේ ඉන්නවා. එ්ත් ජීවිතේ විවිධ කාල එනවා. ඒ හැමදේටම අපි සාර්ථකව මුහුණ දෙන්න ඕන.විවාහ වෙන්න ඕන, දරුවො හදන්න ඕන,ඒ වගකීම් නිසි ලෙස ඉටු කරන්න ඕන. දැන් මේ කාලය අයිති මගේ දරුවන් දෙදෙනාටයි. ඒ දෙදෙනා වෙනුවෙන් අපි අපේ වගකීම් ඉටු කළ යුතුයි. එනිසා දරුවන්ගේ වැඩකටයුතු වෙනුවෙන් අපි දෙදෙනාත් විදෙස් ගතවෙන්න තීරණය කළා.

• ඔබ කලාවෙනුත් මේ සමඟම දුරස්වේවිද?

එහෙම කොහෙත්ම සිදු වෙන්නේ නැහැ. මම විටින් විට ලංකාවට එනවා. 'ෆැමිලි සවාරි' වැඩසටහනට දායක වෙනවා. වසරකට දෙසැරයක් වගේ ලංකාවට එනවා. ඒ අතරතුර මට ගැළපෙන නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව ලැබුණොත් දායක වෙනවා. ඇමෙරිකාවට ගියත් කවදාවත් ලංකාව වගේම මගේ රසික රසිකාවියන් මම අමතක කරන්නේ නැහැ.



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »