ශ්‍රී ලාංකේය නර්තන කලාවේ අස­හාය බැල­රි­නාව වජිරා

Apr 03, 2018 10.37am
feature-top
ජගත් නර්තන කලාව හා සමසුන් ගත හැකි විශිෂ්ට ශ්‍රී ලාංකේය නර්තන කලාවක් බිහි කළ අසහාය කාන්තා චරිතය වජිරා චිත්‍රසේනය.

මීරියම් පීරිස්, චන්ද්‍රලේඛා වැනි නර්තන ශිල්පිනීන් පුරුෂ රංග වස්ත්‍රයෙන් සැරසී, උඩරට නර්තනාංග ඉදිරිපත් කළ අවදියේදී, චිත්‍රසේනයන්ගේ ‘රාවණා’ මුද්‍රා නාට්‍යයෙන් කාන්තා රංග වස්ත්‍රයෙන් සැරසී උඩරට නර්තනයක් ඉදිරිපත් කළ ප්‍රථම නාටිකාංගනාව වජිරා ය. එතැන් සිට පුරා වසර හැටකට අධික කාලයක් ශ්‍රී ලාංකේය මුද්‍රා නාට්‍ය කලාව පෝෂණය කරමින් අපේම යැයි කිව හැකි ස්නිග්ධ මුද්‍රා නාට්‍ය කලාවක් බිහි කිරීමෙහිලා කලාගුරු චිත්‍රසේනයන්ට විස්මිත දායකත්වයක් ලබා දුන්නී ඇයයි.

ශක්ති කර්මවලටත් - යාග ‍හෝම හා දේව තෝත්‍රවලටත් පෙරහැර මංගල්‍යයටත් සීමා වී තිබුණු අපේ නර්තන කලාව විදග්ධ විනෝදාස්වාද මාර්ගයක් බවට පත්කොට ජාත්‍යන්තර තලයට ගෙනයෑමෙහිලා වජිරා චිත්‍රසේන දැක්වූ සහයෝගය ඉතිහාසගතය.

ජන කලාවක් ලෙස බිහිවූ අපේ නර්තනය සියුම් භාව ප්‍රකාශනයෙහි සමත් ස්නිග්ධ කලාවක් බවට පත් කිරීමට චිත්‍රසේන ගත් වෑයමේදී වජිරා, දායක වූයේ හුදෙක් නර්තනයෙන් පමණක් නොවේ. නර්තනයෙහි සමත් රංගන ශිල්පිනීන් පරපුරක් බිහි කිරීමෙන් මා හැඟී මෙහෙවරක් කළාය. ඇය ඊට සවිමත් පදනමක් තනා ගත්තේ, මෙරට පැවැති ආචීර්ණ කල්පික අදහස්වලට නොබියව මුහුණ දෙමින්, මෙරට ප්‍රථම වෘත්තීය නර්තනවේදිනිය බවට පත්වෙමිනි.

අපේ පාරම්පරික නර්තනය හුදු නැටුමක් පමණි. එහි රංගනය හෝ භාව ප්‍රකාශනය කෙරෙහි අවධානය යොමු වූයේ නැත. පුද පූජා විධියකදී, විනෝදාස්වාද මාර්ගයකදී තරම් කලාවේ ස්නිග්ධභාවයක් අපේක්ෂා නොකෙරේ. එබැවින් ම නර්තනය - රංගනය - අභිනය - භාව ප්‍රකාශනය කෙරෙහි ප්‍රමඛස්ථානය දී නූතන ප්‍රේක්ෂකයන් පිනවීම සඳහා වන විදග්ධ නර්තන කලාවක් බිහි කිරීම වෙනුවෙන් කලාගුරු චිත්‍රසේනගේ ප්‍රධානත්වයෙන් චිත්‍රසේන කලායතනය පිහිටුවා එය ශ්‍රී ලංකාවේ නව සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට වජිරා චිත්‍රසේන අද්විතීය මෙහෙවරක් ඉටු කළාය.

වජිරා නර්තනයට පිවිසුණේ 6 හැවිරිදි වියේදී කළුතර බාලිකාවේ සිප්සතර හදාරද්දීය. 1930 දී යොවුන් චිත්‍රසේන සහ චන්ද්‍රලේඛාවන් - කළුතර නගර ශාලාවේදී දැක්වූ දස්කම් දුටු වජිරාගේ මව තම දියණිය නර්තනයට යොමු කිරීමට උනන්දු වීම නිසා, ජගත් කීර්තිමත් ශ්‍රී ලාංකේය බැලරිනාව බවට පත්වීමට වජිරාට පුළුවන් විය.

කොල්ලුපිටියේ චිත්‍රසේන කලායතනය වාසභූමි කරගත් සුනිල් සාන්ත - අමරදේව - සෝමබන්ධු - ඩී.ආර්. පීරිස් - සෝමදාස ඇල්විටිගල - සරච්චන්ද්‍ර - ජෝර්ජ් කීට් - ආනන්ද සමරකෝන් මෙරට නූතන සංස්කෘතිය පෝෂණය කළ දැවැන්තයෝ වූහ. 1949 දී ආනන්ද සමරකෝන් ගැයූ ‘කුමුදිනී’ ගීතයෙන් මුසපත් වූ වජිරා ළමයින් උදෙසා ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා මුද්‍රා නාට්‍යය ලෙස ‘කුමුදිනී’ ඉදිරිපත් කරමින් නර්තන නිර්මාණකරණයේ අත්පොත් තැබුවාය.

චිත්‍රසේනයන්ගේ මාර්ගෝපදේශකත්වයත් පාරම්පරික ගුරුන් ආශ්‍රයෙන් චිරාගත සාම්ප්‍රදායික නර්තනයෙහි නිපුණත්වය ලබා ජගත් කීර්තියට පත් වජිරා, යුරෝපයේ දියුණු බැලේ නර්තන කලාවේ විචාරවත් ආභාසය ලබා ජගත් ප්‍රේක්ෂකයන් පිනවීමට සමත් නිර්මාණයක් ලෙස ‘නල - දමයන්ති’ මුද්‍රා නාටකයේ දිව්‍යමය හංසයාගේ දීර්ඝ නර්තනයේ රංග වින්‍යාසය (ඈත කඳුකර ගීතයට) නිර්මාණය කළාය. චිත්‍රසේනයන්ගේ මාණ්ඩලිකා - කරදිය ආදිය ලාලිත්‍යවත් නර්තනයෙන් පෝෂණය කළ වජිරා ඉනික්බිති නිර්මාණකරණයට පිවිස, ළමා පරපුර වෙනුවෙන් හපනා - ගිනි හොරා - වන මල් - ඇන්ටිගනි වැනි මාහැඟි නිර්මාණ ඔස්සේ සිය නර්තන වින්‍යාස දක්ෂතාව ප්‍රකට කළාය.

චිත්‍රසේන කලායතනයෙන් නර්තනය පමණක් නොව, සංගීතය - රංග වස්ත්‍ර රංගාභරණ - වේදිකා අලංකරණ - ආලෝකකරණාදී සකලාංග පිළිබඳව ලත් පරිචය නිසා නිර්මාණයක පරිසමාප්තිය පිළිබඳ නොමඳ සැලකිල්ලක් දැක්වූ වජිරා, ප්‍රමුඛ නර්තන කණ්ඩායම 1957 දී සෝවියට් දේශයේ ක්‍රෙම්ලීන් රංග පීඨයේදී නිකිතා කෘෂ්ව් ඉදිරියේ රැඟුම් පෑ අතර චෙකොස්ලොවැකියාව - පෝලන්තය - නැගෙනහිර ජර්මනිය - ප්‍රංශය - ඕලන්දය - ස්විට්සර්ලන්තය - සිංගප්පූරුව - ක්වාලාලම්පූර් ඇතුළු දේශ දේශාන්තරවල අපේ අනන්‍යතාව රැගත් විශිෂ්ට නර්තන ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවට ජගත් කීර්තියක් අත්කර දුන්නේය.

පාරම්පරික නර්තන විධි පිළිබඳ ප්‍රවීණත්වයක් ලබා භාරතයට ගිය චිත්‍රසේන භරත - කථකලි - මණිපුර ඇතුළු භාරතීය නර්තන විධි නියාමයන් හදාරා, ශ්‍රී ලංකාවට පැමිණියේ අපේ ජාතික අනන්‍යතාව සලකුණු කළ අපේ ම දියුණු නර්තන කලාවක් බිහි කිරීමේ අධිෂ්ඨානයෙනි.

භාරතීය නාට්‍ය වේදයේ එන‍ ‍ෛකලාසපති ශිව දෙවියන් මෙන් තාණ්ඩව නර්තන කලාවේ අග්‍රගණ්‍ය පෞරුෂය වූ කලාගුරු චිත්‍රසේන ස්වකීය අද්විතීය කලා කෘති ඔස්සේ අපමණ කුසලතා පිරි පාර්වතිය සේ වජිරා නිර්මාණය කළේය. ඇතැම් කලා විචාරකයන් දක්වන්නේ වජිරා වූකලී චිත්‍රසේන විසින් ජාතියට දායාද කරන ලද අනර්ඝ තම නිර්මාණය බවයි.

වජිරා ස්වකීය නර්තන පරිචය නිසා ජාතියේ මහා බැලරිනාව වෙමින්, ප්‍රථම වෘත්තීය නර්තනවේදිනිය වූවා පමණක් නොවේ, ස්වකීය දියණියන් වන උපේඛා හා අංජලිකා ද නර්තන කලාවට දායාද කරමින්, ඔවුන් ගුරුකොට ප්‍රවීණ ශිල්පිනීන් රාශියක් ජාතියට ප්‍රදානය කළාය. දැනුදු වජිරා, චිත්‍රසේන කලායතනයේ උගන්නා බාල ළමාවරුන්ගේ සිට යෞවනියන් දක්වා හැමගේ අභ්‍යාස අධීක්ෂණය කරමින් වෘත්තීය නර්තන ශිල්පිනීන් ජාතියට දායාද කිරීමේ මාහැඟි කාර්යයෙහි නොපසුබස්නා ධෛර්යයෙන් කටයුතු කරමින් සිටින්නීය.

ලොව දියුණු නර්තන විධීන් හදාරමින් අපේ නර්තන කලාව පෝෂණය කළත්, අපේ සාම්ප්‍රදායික උඩරට පහතරට - සබරගමු නර්තන විධීන් ‘සංකර කිරීමට’ ඇය දැඩි අකැමැත්තක් දක්වයි.

කරදියේ ‘සිසී’ ලෙස ද, නල දමයන්ති හී හංසයා ලෙස ද චණ්ඩාලිකා හී ‘මායා’ ලෙස ද පෑ නර්තන ලීලාවද - අංග චලන - අභිනය හා රසභාව ලීලාව ද මෙරට නර්තන ශිල්පිනියක රංග මණ්ඩලයෙහි පෑ අද්විතීය මැවීමක් ලෙස විචාරක මතය විය.

වජිරා චිත්‍රසේනයන් හා විවාහ ප්‍රාප්ත වූයේ වයස 18 දීය. “පුරා හැට වසරකට අධික කාලයක් ඔහුගේ ප්‍රථම ප්‍රේක්ෂකයා ද විචාරකයා ද සහායිකාවද වීමෙන් මා ලත් අත්දැකීම් අති විශාල ය. හුදු නැටුමක් ව තිබුණු අපේ නර්තනය ඔස්සේ භරත මූනින් දැක්වූ නාට්‍යයක් මඟින් කතා පුවතක් කීමේ කලාව මා ප්‍රගුණ කළේ චිත්‍රසේන වෙතිනි. ඒ උගැන්මෙන් පසු මා විශේෂයෙන් ළමයින් උදෙසා කළ නිර්මාණාවලිය මෙරට ප්‍රේක්ෂකයන් විසින් මහත් සම්භාවනාවෙන් පිළිගනු ලැබීම මට මහත් තෘප්තිය”කැයි වජිරා කියා සිටී.

චිත්‍රසේන කලායතනය අදත් සාම්ප්‍රදායික නාට්‍ය කලාවේ ශුද්ධ වූ තත්වය රැ‍කගෙන ලෝකය හමුවේ තැබීමටත්, ලෝක ප්‍රේක්ෂක ජනයා පිනවිය හැකි ජගත් තලයේ මුද්‍රා නාට්‍ය කලාවක් ලෝකය හමුවී තැබීමටත් සමත්වීම මගේ ජීවිතයේ ලත් භාග්‍යයකැයි වජිරා පවසයි.

ඉකුත් මාර්තු 15 වැනිදා සිය 86 වැනි ජන්ම දිනය සැමරූ වජිරා චිත්‍රසේන නර්තන කලාවේ අභිවෘද්ධිය වෙනුවෙන් උපේඛා සහ අංජලිකා දියණියන් ද හේෂ්මා සහ තජිතාංගනී මිණිබිරියන් ද පරිත්‍යාග කරමින් කළ මෙහෙවර අත්‍යුත්කෘෂ්ට නොවේද?

ශ්‍රී ලාංකේය මුද්‍රා නාට්‍ය කලාවේ පෝෂණය පිණිස වජිරා චිත්‍රසේන නෘත්‍යාංගනාවට චිර ජීවනය ලැබේවා! යි ප්‍රාර්ථනා කරමු.

සුඛී දීඝායුකෝ භව!

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »